
මුහුණු පොත මෙන්ම සමාජ ජාල හරහා කාලයෙන් කාලයට විවිධ පුවත් මැවෙනා බව අප කවුරුත් දන්නා කරුණකි. කාලයක් අයිස් බකට් අභියෝගය ලොව පුරා සමාජ ජාලා ඔස්සේ වේගයෙන් පැතිර ගියේය. එහිදී ලෝක ප්‍රසිද්ධ බොහෝ චරිත පවා අයිස් බකට් අභියෝගය බාරගෙන තවත් අයෙකුට අභියෝග කළහ. මාස ගණනක් මුළුල්ලේ එය රැල්ලක් ලෙස ඇදී ගියේය. පසුගිය කාලයේ මුහුණු පොතෙහි පරණ ෆොටෝ උඩට පැමිණීම ද රැල්ලක් ලෙස සටහන් විය. සමාජ ජාල තුළ මෙවැනි සිදුවීම් දැකීම සුලභ සිදුවීමකි. මේ දිනවල මේ රටේ සමාජ ජාලා තුළ ඉතා සීඝ්රයෙන් වර්ධනය වන රැල්ලක් ගැන අද වනවිට මුළු රටම කතා කිරීමට පටන්ගෙන ඇත. ඒ අන් කවරක්වත් නොව පිදුරංගල සිට සීගිරිය දෙස බලා අඩ නිරුවතින් ඡායාරූප ගෙන ඒවා සමාජ ජාලාගත කිරීමය. රැල්ලට ගිය මෙම අභියෝගය මේ වනවිට පොලිස් පොතේ සටහන් වූ පැමිණිල්ලක් තරමට ව්‍යාප්ත වී තිබේ.
කෙනෙකුට මහපාරේ අඩ නිරුවතින් ගමන් කළ හැකිද? එසේ සිදුකොට එය මගේ නිදහස යැයි තර්ක කළ හැකිද? නීතිය ඉදිරිපිටද, සදාචාරය ඉදිරිපිටද එවැන්නකට ඉඩක් නැත. එබඳු විෂමාචාරයක යෙදෙන තැනැත්තාට සිදුවන්නේ නීතියෙන් දඬුවම් විඳීමටය. නැතහොත් අවට සමාජයෙන් දඬුවම් විඳීමටය. ශිෂ්ට සමාජයක් නිර්මාණය වී ඇත්තේ සාරධර්ම හා සාදුධර්ම පදනම් කරගෙනය. ඒ තුළ පිළිගත් සම්මුති, ප්රඥප්ති හා සම්ප්‍රදායන් පවතී. ඒවාට අනුගතව ජීවත්වීම ශිෂ්ට සම්පන්න පුරවැසියකුගේ වගකීම බව කිව යුතුය. එහෙත් නූතන සමාජයේ ඇතැම් තරැණ කොටස් සදාචාරය හා නීතිය මායිම් නොකරන අවස්ථා බොහෝමයක් ඇත.
පිදුරංගල ඓතිහාසික පර්වත මුදුනට ගිය තරුණ පිරිසක් එම පර්වත මුදුනේ සිට අඩ නිරුවතින් ඡායාරූප ගෙන ඒවා සමාජ ජාල වෙත මුදාහැර තිබීම දැන් රට පුරා ප්‍රසිද්ධය. එම පින්තූර රටපුරාත්, ලෝකය පුරාත් හුවමාරුවෙයි. මෙය දකින විදේශිකයකු අපේ පූජනීය ස්ථාන කෙරෙහි ඇති කරගන්නා ආකල්ප කුමක්දැයි සිතාගැනීමත් අපහසුය. එලෙසම ස්වදේශික ජනයා පූජනීය ස්ථානවලට දක්වන සැලකිල්ල ගැන වැරදි වැටහීමක් ඇතිකරගනු ඇත.
පිදුරංගල පිහිටා ඇත්තේ ලෝක උරැමයක් වූ සීගිරිය ආසන්නයේය. එය බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස දීර්ඝ කාලයක සිට සම්භාවනාවට පාත්‍ර වී ඇත. සීගිරි කාශ්‍යප රජු සිය රාජධානිය වටා මෙබඳු සිද්ධස්ථාන රැසක් ඇතිකොට ඒවා භික්ෂූන් වහන්සේලාට පූජා කළ බව ඉතිහාසයේ සඳහන්ය. එම ඓතිහාසික වටිනාකම නිසා අදටත් දෙස් විදෙස් සංචාරකයන් බොහෝ දෙනකු පිදුරංගල කරා ඇදී එති. එසේ පැමිණි විදෙස් තරුණියන් කිහිප දෙනකු පර්වත මුදුනේ අඩ නිරුවත් ඡායාරෑප ගෙන සමාජ ජාලා තුළ ප්‍රචාරය කර තිබිණි. එය ඉතා සීඝ්රයෙන් හුවමාරු වූ බැවින් මෙයට පුළුල් ප්‍රචාරයක් ලැබිණි. තරැණ පිරිස් දිගින් දිගටම මෙය ආදර්ශයට ගතහොත් සිදුවන්නේ බලවත් විනාශයකි.
මෙම අඩ නිරුවත් ඡායාරූප මුහුණු පොතේ පළවීමත් සමඟ ශ්‍රී ලාංකික තරැණ පිරිසක්ද ඒ ආකාරයෙන් අන්තර්ජාලයට මුදා හැරීම ගැන බොහෝ දෙනෙකු කතා කරන්නේ බලවත් අසතුටකිනි. මෙම අඩ නිරැවත් ඡායාරෑප ගෙන අන්තර්ජාලයට මුදාහැරි තරැණයන් අතර කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ විදුහලක ආදි ශිෂ්‍යයකු සිටින බවද හෙළි වී ඇතැයි පොලිසිය පවසති.
දීමන්ත සපුමල් නමින් පිදුරංගල සිදුවූ අඩ නිරැවත් ඡායාරූප ගැන මුහුණු පොතෙහි මෙලෙසින් සටහන් කර තිබුණේ මෙසේය.

මුලින්ම මම සෑම ශ්‍රි ලාංකික බෞද්ධයකුගෙන්ම සමාව ඇයැද සිටිනවා. මගේ අතින් මේ වුණේ නොකළ යුත්තක් බව මට දැන් තේරෙනවා. ඒත් දැන් පරක්කු වැඩියි කියලා මම දන්නවා. ෆොටෝ එක එඩිට් කරලා වුණත් ඒකත් වැරුද්දක් බව මට දැන් තේරෙනවා. මම ඒ වෙනුවෙන් හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. මාත් මගේ යාළුවොත් මේ සිද්ධිය නිසා මුළු ජීවිත කාලයම වන්දි ගෙවයි. ඒක තමයි වෙන්න ඕන දේ කියලාත් මම දන්නවා. මම නිසා මගේ පාසල් මෑණියන්ට බැණපු හැමෝටම කියන්න කැමතියි මගේ පාසල් මෑණියන් ලංකාවේ හොඳම පාසල් මෑණියන් බව. තව මගේ මව්පියන්ට නොයෙක් ආකාරයේ දේවල් කියලා බැණපු හැමෝටම කියන්නේ ඒක ඔය කට්ටියන්ටත් විඳින්න වුණ දවසක තේරෙයි එක් දරාගන්න ගොඩක් අමාරැ බව. මොකද අපි හැමෝම මිනිස්සු. අපි හැමෝම අතින් වැරදි වෙනවා. එහෙම නොවෙනවා නම් ගොඩක් හොඳයි. මම කළේ වැරැද්දක් බව හොඳටම දන්නවා. ඒත් මව්පියන්ට බණින්න තරම් එය සදාචාරය සංස්කෘතිය ගැන කියපු කට්ටිය සංස්කෘතිය ගොඩක් ආරක්ෂා වෙන විදියට කතා කරලා තිබුණ බව මට විතරක් නෙවේ මේවා දැකපු හැමෝටම තේරෙනව ඇති කියලා මම හිතනවා. අවසාන වශයෙන් මම ආයෙත් සමාව ඉල්ලනවා. හැබැයි මේ අපේ ෆොටෝස් අතරේ තව අයගේ ෆොටෝස් තියෙනවා. මම මේ පහළින් දීලා තියෙන්නෙ ඒ වගේ එකක්. ඒවා ගැනත් මේ විදියට හොයා බලා කටයුතු කරයි කියලා මම විශ්වාස කරනවා. ඕගොල්ලො හැමෝටම තෙරැවන් සරණයි. සමහරවිට මම මේ සමාව ගත්ත එක විහිළුවකට අරගෙන මට හා මගේ මව්පියන්ට නොයෙක් දේවල් කියයි. මම කරපු ඒ වැරුද්දට සමාව ඉල්ලනවා.

පොලීසිය පවසන ආකාරයට පිදුරංගල රජමහා විහාරස්ථ පිදුරංගල පර්වතේ සිට සීගිරිය දෙසට නිරුවත් ඡායාරූප ගෙන මුලින්ම සමාජ ජාලා වෙත නිකුත් කර ඇත්තේ විදේශීය කතක් හා තරුණ පිරිසක් විසිනි.
කාශ්‍යප රජතුමා සීගිරියේ සිට දිනකට දෙවතාවක් බුදුන් පිදූ බව ජනවහරේ කියැවෙයි. එවැනි පූජනීය ස්ථානයක මේ ආකාරයට නිරැවත් හැසිරීම් ඉතාමත් අශෝභන හා නින්දිත බව පිදුරංගල රජමහා විහාරාධිපති ආචාර්ය දාහියගම ආනන්ද හිමියෝ පවසති.
1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන වැළැක්වීමේ සංශෝධන පනත හා පොලිස් ආඥා පනතට අනුව මෙම පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කළ හැකි අතර අදාළ සිදුවීමට සම්බන්ධ ගලේවෙල ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකු හා කුරැණෑගල ප්‍රදේශයේ තරුණයකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.
පිදුරංගල සිද්ධස්ථානයේ සිට අඩ නිරුවත් ඡායාරූප ගත් මෙම තරුණයන්ගේ මානසික මට්ටම මෙන්ම අරමුණද විමර්ශනයට ලක්කළ යුතුය. සිද්ධිය කුමක් වුවත් සිද්ධස්ථානයක සිට ඇඳුම් ගැලවීම ආතල් එකක් වශයෙන් සැලකීමෙන් පෙනී යන්නේ ඔවුන් අපේ උරුමය හා පූජනීයත්වය තුට්ටුවකට මායිම් නොකරන බවය. එය යහපත් දෙයක් නොවේ. රටක අනාගතය බාරගැනීමට සිටින තරුණ පරපුර විවේකී මානසිකත්වයක් ඇති පිරිසක් නම් අනාගතයේ රටට අත්වන ඉරණම ඉන් උපකල්පය කරගත හැකිය.
හසිත් අංජන