
ටිකට් ටිකට් ටිකට් ඔය යන අය හැමෝම ටිකට් අරං යන්න..... තර්ඩ් ක්ලාස් ටිකට් අරං සෙකන්ඩ් ක්ලාස් එහෙම යන්න එපා.... කෝ කෝ ටිකට් ගත්තද පෙන්නන්න ටිකට් පෙන්නන්න... කෝ ඔය මහත්තයා සීසන්ද? ටිකට් පෙන්නන්න? කරුණාකරලා ඔය නෝනා මහත්තුරැ ටිකට් අරගෙන යන්න...
අපි නම් කවදාවත් හොරට යන්නේ නෑ. ඒ වුණාට මේකේ හොරට ටිකට් අරන් විකුණන උන් කොච්චර ඉන්නවද?
ඔව් උන් සුද්දන්ට විතරයි විකුණන්නේ? ගිය සතියේ නිවාඩුවට මම අපේ ෆැමිලි එක එක්ක බදුලු යන්න ආවා. එක්ස්ප්‍රස් එකේ කවුන්ටරෙන් ඇහුවම එක්ස්ප්‍රස් ටිකට් ඉවරයිලු. හැබැයි අපිට පිටිපස්සේ හිටපු සුද්දෝ දෙන්නා එළියට ගිහින් ටිකට් දෙකක් අරං ආවා... මම උන්ගෙන් ඇහුවම ටිකට් ගත්තේ කොහෙන්ද කියලා උන් කියනවා එළියෙන් ගත්තේ වැඩි ගාණට කියලා.
ඕව නම් මොනවද? හවසට මරදානෙන් අදින ට්‍රේන් එකේ ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑනේ. ඒ වුණාට කොටුවෙන් මාතරට යන්න නගින සමහරැ වාඩිවෙලා යනවා. කවුරුහරි එකෙක් මරදානේ ඉඳලා කොටුවට ඇවිල්ලා අර කොටුවෙන් නගින එකාට සීට් එක දීලා රුපියල් පනහක් සීයක් කඩන් යනවා.
මැදිවියේ යැයි සිතිය හැකි පුද්ගලයන් දෙදෙනකු උස් හඬින් කළ මෙම කථාබහ කන වැකුණු ලියුම්කරු ඒ පිළිබඳව සොයාබැලීමට උනන්දු විය.
දින ගණනක් පුරාවටම කොටුව දුම්රිය ස්ථානය අවට සොයා බැලීමක් සිදුකළද ටිකට් වැඩි මිලට විකුණන එවැනි අයකු සොයා ගැනීම ලියුම්කරැට මහත් අපහසු කාරණයක් විය.
රටේ සිදුවන ඕනෑම මගෝඩියක සුලමුල දන්නා ත්‍රිරෝද රථ රියදුරෙකු සමඟ ලියුම්කරැ කථාවට වැටුණේ එවැනි කෙනකු පිළිබඳ තොරතුරක් සොයා ගැනීමේ අටියෙනි.
අයියේ, බදුලු බණ්ඩාරවෙල යන ට්‍රේන් එකේ ටිකට් එකක් සෙට් කරගන්න දන්න කෙනෙක් නැද්ද?
පොරක් නම් ඉන්නවා මල්ලි. හැබැයි ඌ කථාකරන්න කැමති වෙයිද දන්නේ නෑ... බලමුකෝ..., මට කෝකටත් මල්ලිගේ නම්බර් එක දීලා යන්නකෝ. ඌ කතාකරන්න කැමති වුණොත් මම මල්ලිට කෝල් එකක් දීලා බලන්නම්කෝ...
මල්ලි, මම එදා ස්ටේෂන් එක ළඟදි හම්බවුණේ අර රතුපාට වීල් එකේ, ඒ අය්යා කථා කරන්නේ. අර පොරට ටෝක් කරන්න ඕන නම් දැන්ම එන්න ස්ටේෂන් එක ළඟට. නැත්තම් ඌ කොහේ මිසින් වෙයිද දන්නේ නෑ. සතියකට පමණ පසු ලියුම්කරු ඇමතූ ඔහු පැවසීය.
"ලොක්කා මේ තමයි පොර. මචං මම කිව්වෙ ඩයල් එකක් ගැන ඒ මල්ලි තමයි මේ ඉන්නේ. අවුලක් නෑ කතාකරපං." ලියුම්කරුට ඔහු හඳුන්වා දුන් ත්‍රිරෝද රථ රියදුරා ඔහුට ලැබුන හයර් එකක් සමඟින් ඉගිල ගියේය.
බොසා මට ලොක්කා කිව්වා ඔයා ගැන. විස්තරයක් කියන්නම් ඒකේ අවුලක් නෑ. හැබැයි ඉතිං මගේ විස්තර මොනවත් ලියන්න බෑ.
කොහෙන්ද ඔයාට මේ ටිකට් එන්නේ?
මට ටිකට් එන්නෙත් හැමෝටම ටිකට් එන තැනින් තමයි.
ඒ වුණාට ඔයා විකුණන ගාන වැඩියිනේ?
මේකත් එක බිස්නස් එකක්නේ. අතට කීයක් හරි සම්තිං එකක් එන විදියට එපැයි වැඩක් කරන්න. එහෙම නැත්තම් අතිං කයිට් කරන් වැඩක් කරන්න ඕන් නැහැනේ. අනික මම ළඟ ඔය සෙකන්ඩ් ක්ලාස්, තර්ඩ් ක්ලාස් ටිකට් නෑ. ඔක්කොම තියෙන්නේ ෆර්ස්ට් ක්ලාස් ටිකට්. අනික ගාණක් අතට එන්නේ ඒවගෙන්නේ ලොක්කා.
දැන් කොහොමද ඔච්චර ටිකට් ගන්නේ?
මෙහෙමනේ අපි දන්නවනේ ට්‍රේන් එක අදින්නේ කීයටද? කොච්චර අය මේකට සෙට් වෙනවද? කියලා. අපි උදෙන්ම ගිහින් ටිකට් ගන්නවා. ඒවා තමයි මේ විදියට හෙමීට ලයින් එකක් ගහලා දෙන්නේ.
ඉතිං ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද?
ඇයි එහෙම ප්‍රශ්නයක් වෙන්නේ. අපිත් සල්ලි දීලනේ ලොක්කා ටිකට් ගන්නේ. එහෙම ගන්න ටිකට් තමයි අපි ටිකට් ගන්න බැරිවෙන අයට දෙන්නේ.....
ඉතිං ගාණ වැඩියෙන්නේ විකුණන්නේ?
අන්න ඒක නිසා තමයි අපි සුද්දන්ටම වැඩියෙන් මේවා දෙන්න ට්‍රයි කරන්නේ.
ඒ මොකද ඒ?
මෙහෙමනේ සුද්දෝ හරි කැමතිනේ ඔය පළාත්වල ඇවිදින්න යන්න. අනික ඉතිං වාහනයක් අරං යනවට වඩා මෙහෙම ට්‍රේන් එකේ ඒසී එකේ යන එක ගාණත් අඩුයිනේ ලොක්කා... අන්න ඒ අය තමයි අපි ලයින් කරන්නේ. ටිකට් ඉවරයි කියපු ගමන් උන්ගේ මූණූ ඇඹුල් වෙනවා. ඒ වෙලාවට එතන ඇහැගහගෙන ඉන්න අපේ පොරක් ටෝක් කරලා මේකට සෙට් කරල දෙනවා. පොඩි සම්තිං එකක් තියාගෙන තමයි අපි මේක කරන්නේ...
පිටරට අයට විතරයිද ටිකට් දෙන්නේ?
නෑ අපේ අයටත් දෙනවා. කැමති අය ඕන තරම් ඉන්නවා. කවුද මල්ලි ෆැමිලි එකේ සෙට් එක එක්ක ඒසී කරපු පෙට්ටියක යන්න අකමැති වෙන්නේ?
හැමදාම මේක කරනවද?
ඔව්. හැමදාම වැඩිය සෙට් වෙන්නේ නෑ. වීකෙන්ඩ් එකේ තමයි ලයින් වෙන්නේ. දැන් ඉතිං කාලයක් කරලා අපි දන්නවා මේක වෙන්නේ කොහොමද කියලා.
එතකොට මොකක්ද මේ මරදානෙන් නැගලා කොටුවෙන් බැහැල යනව කියල කියන්නේ?
ඒක මෙහෙමනේ බොසා වැඩිහරියක් ඔය මාතර පැත්තට යන සෙට් ඉන්නවනේ... සිකුරාදා දවස්වලට එහෙම ඔය ගමේ යන අය එහෙම වැඩියිනේ.
ඉතිං....?
අපි ඉතිං ඔය කවුරු හරි මහත්තයෙක් එහෙම කිව්වම ටික් ගාල නැගල සීට් එකක් එහෙම අල්ලගෙන ඉඳලා දෙනවා. ඒවට නම් සල්ලි ගන්නේ නෑ. අඳුරන මහත්තුරැන්ට තමයි කරල දෙන්නේ. ඒ අයගෙනුත් අපිට ඒ කන්තෝරැවලට ගියාම වැඩ ටික කරගන්න පුළුවන්නේ ටික් ගාල එතකොට... හැබැයි අපේ තව ලයින් එකක් තියනවා?
මොකක්ද?
ඔය වීකෙන්ඩ් එකේ අනුරාධපුරේ වගේ වන්දනාවේ යන ෆැමිලි එහෙම සෙට් වෙනවනේ ඒ අයට අපි සීට් බුක් කරල දෙනවා.
ඒ කොහොමද ඒ?
මෙහෙමනේ, අපේ කන්ටෑක් තියෙන අය අපිට කියනවා මෙහෙම කට්ටියක් ඉන්නවා සීට් එකක් අල්ලලා දෙන්නකො කියලා. එතකොට අපි ටිකට් අරං ඔය ඇතුළේ ඉන්න කෙනෙක්ගෙන් සපෝර්ට් එකක් අරං කරල දෙනවා. ඒවගෙන් රුපියල් පන්සීයක් වගේ තමයි ලයින් වෙන්නේ ඉතිං.
ඒ කියන්නේ කා ළඟ නැතත් ඔයාල ළඟ ටිකට් තියෙනවා එහෙමද?
දැනට නම් එහෙමයි. අපිත් ටිකට් සල්ලි දීලා තමයි ගන්නේ. ඒවා තමයි අපිත් ලයින් එකක් ගහලා දෙන්නේ ලොක්කා.... එහෙනම් මේ විස්තර ටික ඇතිනේ ලොක්කා අපි කැපුණා. ලියුම්කරුට එලෙස පැවසූ ඔහු එතැනින් ක්ෂණිකව අතුරුදන් විය.
දුවිලි තට්ටු මැද සල්ලි පැළකර අස්වැද්දීමට තරම් ඔවුහු රැසියෝ වෙති. ජනතාව මෙවැනි පුද්ගලයන්ට අසුවන අවස්ථා ඕනෑතරම් තිබුණද තමන්ගේ පහසුව තකා මෙවැනි දේ හෙළි කිරීමට ඔවුන් මැලිවන්නේ ඒ සම්බන්ධව හෙළි කිරීමෙන් කිසිදු පලක් නොමැති බව දන්නා බැවිනි.
මහනුවර බලා ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය තවත් සුළු මොහොතකින් පළමුවැනි වේදිකාවට පැමිණෙනවා ඇත. දුම්රිය පොළෙන් පිටව යන ලියුම්කරැට නිවේදනය සඳහන් කරනා අයුරැ හීනියට ඇසිණ.
හසිත් අංජන