
ක්ෂිතිජයෙන් එහා ජීවිත සොයා යන ට්‍රෝලර් චාරිකාවේ මහ වැසි කුණාටු අතරින් අද අපි යාත්‍රා කරමු. මහ මුහුදේ කුණාටුවක් යනු බිහිසුණු අත්දැකීමක් බව වෙරළ පැමිණ රැල්ල පාගා නැති අයෙක් වුව හොඳින් දනී. නව ලෝකය සොයා යාත්‍රා කළ දේශ ගවේෂකයන්ගේ නැව් කුණාටුවලට හසුවී බිඳී ගිය කතාන්දර ලෙස කවුරුත් අසා ඇත.
මොහොතකට ඔබට මවා ගත හැකි නම් එවන් නැවක් සුණුවිසුණු කළ හැකි චණ්ඩ මාරුතයක චිත්ත රූපයක් පුංචි ට්‍රෝලර්යක් ඊට හසුවී නම් කුමක් සිදුවෙනු ඇද්ද? අද කතාව මහ මුහුදේ වැස්ස පිළිබඳවය.
හුරුපුරුදු ලෙස මේ වැස්ස ගැන කතාන්දර අප හමුවේ තබන්නේ ද අනුර මහතාය. ඔහුට අනුව මහා සාගරයේදී වැස්ස විටක ප්‍රයෝජනවත් වෙයි. තවත් විටක බාධාවකි. වැස්ස චණ්ඩව ජීවිතය උදුරා ගන්නට සැරසෙන අවස්ථා ද තිබේ. වැස්ස ගැන කතාව එවන් බිහිසුණු අත්දැකීමකින්ම අරඹමු.
මේ කතාව ඔහු කිසි දා තම පවුලේ උදවියට කියා නැත. අප දිගින් දිගටම ඇසූ නිසාවෙන් එම කතාවේ ඉතා සැකෙවින් ඔහු අප හමුවේ තබයි. ඊට හේතු ඇත.
“මගේ බෝට්ටුව ගිලෙන්න තරම් ගිහින් තියනවා. අවුරුදු හත අටකට කලින් වගේ. මේ ගොල්ලෝ දන්නේ නෑ අදටත්. අපි ඒ හරියට කියන්නේ දූපත් දියඹ කියලා ඉන්දියන් මුහුදු සීමාවේ. ඉස්සරහට යන්න බැරි තරම් ඉයත්තුව සැරයි. යන්න බැරිකමට බෝට්ටු නවත්තගත්තා සී ඇන්කරය දාලා"
ඉයත්තු යනු වර්ෂා කාලයේදී මුහුදේ කුණාටු රළ චණ්ඩ වන ස්වභාවය හැඳින්වීමට මුහුදුකරයේ භාවිත වන වදනකි. ඉයත්තුව ගසන කාලයට ධීවරයෝ මුහුදු නොයති. අනුර මහතා මුහුණු දුන් චණ්ඩ මාරුතය ඔහු හඳුන්වන්නේ ඉයත්තුව ලෙසය. සී ඇන්කරය යනු නැංගුරමකි. දැන් එම නැංගුරම් දමා විසල් රළ ගෙඩි මැද බෝට්ටු පැද්දෙයි. මේ කුණාටු තවත් චණ්ඩ වන සෙයකි.
“සී ඇන්කරේ දැම්මත් මාරියාව ගහනවා බෝට්ටුවට. හරි අමාරුයි. හතර පස් දෙනා එක්ක එකතුවෙලා වතුර හිස් කරා"
මේ කතාව ඔහු කියන්නේ සැකෙවිණි. එහෙත් ඒ මොහොත අප සිතේ මැවෙයි. උදම් වූ රළ ට්‍රෝලර්ය ආක්‍රමණය කරන විට ජීවිතය වෙනුවෙන් මේ පිරිස එකම අරගලයක් දියත් කරන්නට ඇත. හනි හනිකට වතුර හිස් කරන පිරිස අතර සියල්ල මෙහෙයවා ජීවිත රැක ගැනීමේ වගකීම රැඳී තිබුණේ අනුර මහතාගේ දෙවුර මතය.
චණ්ඩව හමන සුළඟ, වේගයෙන් පැද්දෙන යාත්‍රාව, අනුකම්පා විරහිත රළ පහරවල්, සාගරය වසා ඇති ගණ අදුර මැද ජීවිතය වෙනුවෙන් සටන් කරන මිනිස්සුන් කිහිපදෙනක් අප සිතේ මැවෙයි.
“අන්තිමට බෝට්ටු ගිලෙන්න තරම් ගියා. අපි හතර පස් දෙනා වතුර හිස් කරා. කොහොමහරි බෝට්ටුව ගොඩ ගත්තා. බෝට්ටුවක් ගිලෙන්නේ කරුමෙටම තමයි. බෝට්ටු එහෙම ගිලෙන්නේ නෑ ලේසියෙන්"
අප තවත් තතු විත්ති දැන ගැනීමට නොතිත් ආශාවෙන් සිටි කතාව ඔහු සැකෙවින් ඔහු එසේ නිම කරයි. ඊට හේතු ඇති බව අප පෙර කීවෙමු.
“කොච්චර ඔය වගේ දේවල් වෙලා තියනවා ද? අපිට විතරක් නෙවේ. අනිත් අයටත් ඔය වගේ දේවල් වෙලා තියනවා. ඒත් ඒවා ගෙදරට කියන්නේ නෑ. ගෙවල්වල මිනිස්සු බය වෙනවනේ. අපි හැමෝම මොන ප්‍රශ්නේ ආවත් ශේප් කරගෙන යනවා"
බෝට්ටුවේ වතුර හිස් කර තමන් ඇතුළු පිරිස ජීවිතය බේරාගත් පුවත ඔහු අපට එලෙස සිහි ගන්නවයි. එදා සිදු වූ බොහෝ දේ අදටත් දන්නේ ඔවුන් කිහිප දෙනා පමණි. මේ කතාව ඉතා බිහිසුණු අත්දැකීමක් බව අපට පැහැදිලිය. නමුත් එය රස කර දීර්ඝව ඔහු අපිට නොකියන්නේ තවත් මුහුදු රස්සාව කරන ධීවරයෙක් ලෙස ඔහු තම පවුල මෙන්ම රස්සා ද රැකගත යුතු නිසාවෙනි. එසේ හෙයින් අප ද ඒ කතාව නවතා වැස්ස ගැන තවත් තතු ඔහුගෙන් විමසුවෙමු.
රාත්‍රියේ වර්ෂාව මුහුදු ජීවිතයේ පීඩාකාරී අත්දැකීමක් බව ඔහු පවසයි. දහවල් කාලයේ දැමූ දැල් මත්ස්‍ය අස්වැන්න ගොඩ ගැනීම අරඹන්නේ පාන්දර දෙකට පමණ බව හේතු සහිතව පෙරදී අප ඔබට පහදා ඇත. මහා සාගරයේ රාත්‍රී වැස්ස විරල නොවූවකි. ඒ නිසාම පන්න කරන දිනක පාන්දර ඇද හැලෙන වර්ෂාව හමුවේ අනේක විද පීඩාවන්ට ට්‍රෝලර් මිතුරෝ මුහුණ දෙති. එහෙත් ඔවුහු එක පියවරක් හෝ වැස්ස හේතුවෙන් පසුපසට නොයති. ඊට හේතුව සැතපුම් දහස් ගණනක් ගෙවා ආ මේ ගමනේ සියලු බලාපොරොත්තුවේ රාත්‍රිය මෙය වන නිසා වෙනි.

“අපි සෑහෙන්න දුක්බර ජිවිත ගතකරනවා මුහුද සැර වුණාම. වැස්සම සෑහෙන්න දුකයි. පාන්දර දෙකට එළියට ගියාම මිනිස්සු සෑහෙන්න තෙමෙනවා. වැඩක්පලක් කරගන්න විදිහක් නෑ. ඒත් නොකර බෑ. පාන්දර දෙකේ ඉඳන් වරුසාවට තෙමීගෙන වැඩ කරනවා. මාළු ටික අයිස් කරනවා. කවුරුත් ඒ වැඩ අමාරැයි බෑ කියන්නේ නෑ. ඒත් ලේසී නෑ"
මහ මුහුදේදී වැස්ස ගෙනෙන දුක සැබවින්ම ලෙහෙසි පහසු නැත. සීතල පාන්දර වැස්සේ තෙමි තෙමී මාළු අයිස් කරනවා යන හැඟීම දියඹ නොදුටු අපට නම් කිසිදා සිතාගත නොහැක්කකි.
සාමාන්‍යයෙන් මුහුද රළුවන කූඩා කුණාටු අභියෝගක් ලෙස තමන් ඇතුළු ධීවරයන් භාර නොගන්නා බව අනුර මහතා අපට කියයි.
“බෝට්ටු දුවවන්න බැරි හුළඟක් ආවම අපි සී ඇන්කරේ දානවා. ඒක මුහුදට දැම්මම කුඩයක් වගේ දිග හැරෙනවා. ඒකට පැරිෂූට් එක කියලත් කියනවා. බෝට්ටු ඇතුළේ ඇඳන්වලට වෙලා බෝට්ටු දුවවන්න පුළුවන් වෙනකල් ඉන්නවා. ගොඩක් පැද්දෙනවා ඒත් අවුලක් නෑ"
කාලාන්තරයක් මුහුදු රස්සාව කරන ඔවුහු වර්ෂා ද, කුණාටු වැනි අභියෝග ද ජය ගන්න හුරු වී සිටිති. කෑම බීම මෙන්ම කිසිවකින් වැසි මැද වුවද අඩු පාඩු වීමට ඉඩ නොතබන බව අනුර මහතා අපට කියයි.

වැස්ස නිසා සතුටක් දැනෙන අවස්ථාවක් ට්‍රෝලර් ජීවිතයේදී උදාවේ. ඒ බවද අපට කීවේ අනුර මහතාය. මුහුදු ගමනේදී ස්නානය කෙරෙන්නේ ලුණු වතුරෙනි. ගොඩින් ගෙනයන ජලය ටැංකිවල වතුර ඇතත් ඒවා ඇත්තේ බීමටය. ලුණු වතුරෙන් නාගෙන අන්තිමට හොඳ වතුර කෝප්පය දෙකක් දා ගැනීම ඔවුන්ගේ සිරිතය. පීඩාකාරී නොවන වැස්සක් ඇද හැලෙන විට හොඳට නා ගෙන පිරිසිදු වන්නට ට්‍රෝලර් මිතුරන්ට හැකිවෙයි. මේ ගමනේදී වැස්ස නිසා සතුටක් දැනෙන්නේ එලෙසිනි.
ට්‍රොලර් ජීවිතය කතාවේ වැසි කුණාටු සියල්ල තුළින් අපි අපූරු රසයක් අත්වින්ද ද ඒ සියල්ල මුහුදු මිනිසුන්ට අභියෝගකි. ඔවුන් එවන් මහා වැසි, චණ්ඩ මාරුත වැනි අභියෝග ජය ගන්නේ සිය අඹුදරැවන් වෙනුවෙන්ය. අවසානයේ මේ සියල්ලෙන්ම පැහැදිලි වන එක කරුණකි. ඒ නම් මුහුදු මිනිසුන්ගේ හදවතේ ගොඩබිමේ වෙසෙන තම ආදරණියන් වෙනුවෙන් ගොඩනැගෙන සෙනෙහස මේ මහා සාගරයට ද වඩා විසල් බවය.
►චමිඳු නිසල් ද සිල්වා