2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

පරණ ඩයල්

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 132

ඉස්සර ගම්වල ජනතාව නගරවලට ගියේ ඉතාම කලාතුරකින්. පිරිමි අය මාසෙකට දෙකකට වරක් කිට්ටුම ටවුමට ගියා. ඒත් ගෙදරට කොටුවෙලා හිටපු බවලත් අයට නම් ඒ වාසනාවවත් උරුම වුණේ නැහැ. ඉතින් ඒගොල්ලන්ට ඕනෑ කරන මාල, වළලු, කූරු, කරාබු, කොණ්ඩා කටු, රෙදි ජාති, මහපු ඇඳුම්, සබන්, පියර වගේ බොහොම දේවල් ගමට ගෙනාවෙ තොරොම්බොල් වෙළෙන්දයි. කාන්තාවන්ගෙ අඩුපාඩු වගේම දරුවන්ගේ සෙල්ලම් බඩු, සපත්තු, ඇඳුම් වගේ දේවලුත් පිරිමින්ගෙ අමුඩ ලේන්සුවෙ ඉඳල සරොම්, තුවා, බැනියම් වාගෙ ඇඳුම් ජාතිත් ගමට ලැබුණේ තොරොම්බොල් මුදලාලි මාර්ගයෙන් තමයි.

මේ බඩු ජාති ගොඩම තියාගෙන ආවෙ තොරොම්බොල් පෙට්ටියේ. තොරොම්බොල් පෙට්ටිය කියන්නෙ අඹලෑලි වාගේ සැහැල්ලු ලී වලින් හදපු සාමාන්‍ය ප්‍රමාණේ පෙට්ටියක්. මේකෙ මේ බඩු ගොන්නම අහුරලා තිබ්බේ පිටතට හොඳට පේන විදියට. ඇතුළේ තිබුණු හැම බඩුවකින්ම වාගේ එකක් පිට ඉන්න අයට හොඳට පේන හැටියට ප්‍රදර්ශනය කරලා තිබ්බා. මේ තොරොම්බොල් පෙට්ටිය ඔළුව උඩ තියාගෙන ‘තොරොම්බොල් තොරොම්බොල්... ලාබ කළා - ලාබ කළා’ කියලා මහ හයියෙන් කෑගහමින් ගමේ අඩිපාරවල්වල, කුඹුරේ නියරවල් දිගේ, වෙල් ඉපනැලි අස්සෙන් තොරොම්බොල් මුදලාලි මුළු ගම් පියසම සිසාරා හක්කලම් කළා. එයා එන සද්දෙට ඒ එන්නෙ තොරොම්බොල් මුදලාලි බව ගම්මු හඳුනාගත්තා. ගමේ සිංහල මිනිස්සුන්ට බිස්නස් එක කළත් මෙයා සිංහලයෙක් නොවෙයි. මුස්ලිම් ජාතිකයෙක්. ගමේ අයට ඒ කාලෙ ජාති භේදයක් තිබුණේ නැහැ. තමන්ට ඕනෑ දේවල් අරගෙන තමන් ළඟටම ආපු මේ මුදලාලි ගමේ හැමෝගෙම කිට්ටු මිත්‍රයෙක් වුණා. මුස්ලිම් මුදලාලි පලය කාට්ටු සරමක් ඇඳලා අත්කොට කමිසයකින් උඩුකය වසාගෙන මුස්ලිම් තොප්පියක් දාල තමා හිටියේ. ගම්මු තමුන්ගෙ ගෙදර දිහා බලමින් තොරොම්බොල් බඩු පෙට්ටිය ඔළුව උඩ තියාගෙන එන මනුස්සයා ඉස්සරහට ගිහිල්ලා නැවැත්තුවෙ ‘කෝ බලන්ඩ මුදලාලි මොනවද තියෙන්නෙ’ කියලා අහමිනුයි. ඉතින් මුදලාලි තොරොම්බොල් පෙට්ටිය පාර අයිනෙ තියලා ඕනෑ කෙනෙකුට ඒකෙ තිබුණ බඩු අතට අරගෙන අතගාලා, ඔබලා, ළං කරලා ඕනෑ හැටියට බලන්ඩ ඉඩ දුන්නා. එහෙම නැතුව දැන් ඉන්න සාප්පුකාරයො වගේ ‘ඕවා වැඩිය අල්ලන්න එපා කුණු ගෑවෙයි. ගන්නවා නම් ගන්නවා අපිට තව වැඩ තියෙනවා’ වගේ ගෙම්බර් කතා කිව්වෙ නැහැ. එක බඩුව පස් හය පාර අතගාලා, ඔබලා ඒක නොගත්තත් දොස් කිව්වෙ නැහැ.

තොරොම්බොල් මුදලාලිගෙන් හෙට්ටු කරලා බඩු ගන්න ගම්මු පුරැදුවෙලා හිටියා. ඒගොල්ලො කවදාවත් මුදලාලි කියන ගාණට බඩු ගත්තෙ නැහැ. ‘ගණන් වැඩියි මුදලාලි තව ටිකක් අඩු කොරන්න බැරිද? අපේ අතේ එච්චර කාසි පනං නැහැ’ වගේ ආලවට්ටං දාලා අඩු ගාණට බඩු ගන්න බවලත් උදවිය බොහොම දස්ස වුණා. ඒත් මුදලාලි බඩුවේ ගාණ එකට එකක් අඩු කළත් එයාට ඒකෙන් සෑහෙන ලාභයක් ලැබෙන වග ගමේ ඈයෝ දැනගෙන හිටියේ නැහැ. මුදලාලි එක බඩුවක් ඉල්ලන මිලට දීලා ඒකෙන් පාඩුවක් වෙනව නම් තවත් බඩුවක් වැඩි ගාණට විකුණලා ඒ අලාභය පියවාගත්තා.

ගෑනු පාරට එනකොට ළමයි ළපටින් අම්මලා එක්ක පාරට දුවනවා. තොරොම්බොල් පෙට්ටියේ තියෙන සෙල්ලම් බඩු දැකලා පොඩි එවුන් පිස්සු වැටෙනවා. මුදලාලි නලා පිඹලා බෝනික්කො ශබ්ද කරලා, කුරුල්ලො කෑගස්සල කෝච්චිවල සිග්නල් දාලා, කාර් දුවෝල කොල්ලො කෙල්ලන්ගෙ පිස්සුව ඩබල් කරනවා. ඒ වගෙ වෙලාවට කෑගහන පොඩි එවුන් නලවගන්න කියන ගාණකට සෙල්ලම් බඩු අරං දෙන්න අම්මලට සිද්ධවෙනවා.

තොරොම්බොල් මුදලාලි ගමට නිතරම එන හින්දා ගමේ අයත් එක්ක එයාගෙ සම්බන්දෙ බොහොම කිට්ටුවෙනවා. සුමානෙකට දෙකකට දවසක් ගමට ඒම වැරදෙන්නෙම නැහැ. එයා ගමට එන දවසක් තියෙනවා. ඒ සඳුදා - සිකුරාදා වෙන්න පුළුවන්. ගමේ අනිත් පැත්තට එන්නෙ තවත් දවස්වල. සමහර වෙලාවට එක ගමකට නොවෙයි ගම් දෙක තුනකට එක මුදලාලි කෙනෙක් එනවා. ගමේ ගෙවල් එක්ක තිබ්බ ඇයි හොඳයිකම වැඩිවුණාම ණයට බඩු දෙන්නත් මුදලාලි අකැමැති වුණේ නැහැ. ගෙදර මනුස්සයට කීයක් හරි අතට ලැබෙන දවස් දැනගත්ත මුදලාලි ඒ දවස්වල ඒ ගෙවල්වලට ගියා. පාරේ ගිහිල්ල බඩු විකුණලා ඇයි හොඳයිකම් ඇතිකරගත්තට පස්සෙ ගමේ ගෙවල්වලට ගොඩවෙලා බිස්නස් කරන්නත් එයා පුරුදු වුණා.

‘ආ.. කවුද ගෙදර.....’

මෙහෙම කියාගෙන මුදලාලි ගේ ඇතුළට යන්ඩත් පුරුදු වුණා. එහෙම බිස්නස්වලට ගෙවල්වලට ගොඩවෙච්ච මුදලාලි ගමේ බවලත් ඇත්තො එක්කලා අයුතු සම්බන්ධතා ඇතිකරගත් කතාත් ඒ කාලෙ ගමේ පැතුරුණා. එහෙම බවලත්තුන්ට සුවඳ ගහන පියෝර පෙට්ටි, සෙන් කුප්පි නොමිලේ දෙන්නත් සමහර මුදලාලිටලා ලෝබ වුණේ නැහැ.

‘ආ පස්සෙ ෂල්ලි ගන්ඩ බැරියැ’

මෙහෙම කිව්වා.

තොරොම්බොල් රස්සාව දියුණු වුණාට පස්සෙ ගමේ කොහේ හරි ඉඩං කෑල්ලක කඩ කෑල්ලක් අටවගෙන ස්ථිර මුදලාලි කෙනෙක් බවට පත්වෙච්ච අවස්ථාත් තිබුණා. ඊට පස්සෙ ගමෙන් ඉඩම් කඩම් සල්ලිවලට ගන්නත්, ඒ ගමෙන්ම පෙළවහක් කරගන්නත් දස්ස වෙච්ච තොරොම්බොල් මුදලාලිලාත් හිටියා.

►යසවර්ධන