2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

සතුන් වත්තේ හැදෙන අලුත් රෝහල

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 153

දෙහිවල ජාතික සත්වෝද්‍යානය නැරඹීමට අද වනවිට දිනකට දෙස් විදෙස් සංචාරකයෝ බොහෝ පිරිසක් පැමිණෙති. පසුගිය අගෝස්තු පාසල් නිවාඩු මස තුළ එසේ ඉතා විශාල සංචාරක පිරිසක් සත්වෝද්‍යානයට පැමිණියහ. 1936 වසරේදී ඇරඹුණු සත්වෝද්‍යානය, ආරම්භයේදී එතරම් සැලකිය යුතු නවීකරණයක් සිදුව නොතිබුණි. මේ නිසාම පසුගිය කාලවකවානුවලදී වරින්වර සත්වෝද්‍යානයේ ජීවත් වූ ඉතා දුර්ලභ ගණයේ සත්තු මියගියහ. එපමණක් නොව, එකල සතුන්ගේ කූඩු සහ එම සතුන් ජීවත් වන පරිසරයද ඉතා පැරැණි තත්ත්වයෙන් පැවතිණි. ඇතැම් ප්‍රදේශවලට යාමට නොහැකි ලෙස තද දුගඳක් එකල පැතිර තිබිණි. මේ නිසාම ඇතැම් කාලවලදී සතුන්ගේ කූඩු පවා හිස්වූ අතර දේශීය සහ විදේශීය සංචාරකයන්ගේ අඩුවක්ද දක්නට ලැබිණි.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සතුන් වෙනුවෙන් නවීකරණය වූ සත්ත්ව රෝහලක් එකල තිබුණේ ද නැත. පැරණි ක්‍රම සහ උපාංගවලින් සතුන්ට ප්‍රතිකාර කෙරිණි. ඇතැම් සතුන්ගේ කූඩුවල ඉඩකඩ පවා සීමාවිය.

නමුත් අද වනවිට දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ නවීන පහසුකම්වලින් සමන්විත සත්ව රෝහලක් ඉදිවෙමින් පවතී. මේ වසර අවසානය වනවිට එහි සියලු වැඩ කටයුතු නිමකිරීමට සූදානම්ව පවතී. අද වනවිට එදාටත් වඩා දෙහිවල සත්ත්වෝද්‍යානය වැඩිදියුණු කළ පහසුකම්වලින් සමන්විත, නවීකරණය වෙමින් පවතින සත්ත්වෝද්‍යානයක් ලෙස හැඳින්විය හැක.

සතුන්ගේ සෞඛ්‍යයට ඔවුන් ජීවත් වන පරිසරය ද ඍජුවම බලපායි. සතුන්ගේ මානසිකත්වය රඳා පවත්වාගෙන යාමට එම වටපිටාව හේතු වේ. මේ නිසාම සතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වීමට ඔවුන් ජීවත් වන පරිසරයද වෙනස් විය යුතුය.

“මීට වසර තුන හතරක කාලයකට උඩදී පටන් මෙම සත්ත්වෝද්‍යානය ශීඝ්‍ර ලෙස පරිවර්තනයකට ලක්වෙලා තියෙනවා. පරණ සත්ත්ව කූඩු අලුතින් හදන්නත්, කූඩුවේ ඉන්න සතුන් ප්‍රමාණය වැඩි නම් සතුන් වෙනත් කූඩුවලට යොමුකරන්නත් අපි ක්‍රියා කරලා තියෙනවා. මෙමගින් ඒ සත්ත්ව ඝනත්වය අපි නිවැරදි කරනවා.”

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ සත්ත්ව සෞඛ්‍ය හා පෝෂණ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන රාජපක්ෂ දේශයට එසේ පැවසීය.

කොළඹට ආසන්න ජනාකීර්ණ නගරයක් වූ දෙහිවල ප්‍රදේශයේ පවතින මෙම සත්ත්වෝද්‍යානයේ විශාල ඉඩකඩක් නොමැත. නමුත් තිබෙන ඉඩකඩ ඇතුළත කූඩු නැවත නවීකරණය කර, ඇතැම් සතුන්ගේ කූඩු දෙක තුන එකට එක්කොට ඔවුන්ව අවශ්‍ය කරන ඉඩකඩ වෙන්කිරීමට කටයුතු කෙරේ. එකල සත්ව කූඩු ලෙස හැඳින්වුවත් අද ඒවා හඳුන්වනු ලබන්නේ ‘සත්ත්ව අරණ’ නමිනි. එමගින් සතුන්ට නිදහසේ ජීවත් වීමට අවශ්‍ය වටපිටාවක් නිර්මාණය වෙමින් පවතී. ඔවුන්ට පිරිසුදු ජලය පානයට අවශ්‍ය ලෙස පොකුණක් තටාක පරිසරයට ගැලපෙන ආකාරයෙන් නිර්මාණය වේ. එමගින් ඇතැම් කුඩා සතුන්ට ස්නානයට පහසුකම් සැලසේ. මෙය සතුන්ගේ සෞඛ්‍යයට ඉතා හිතකර වේ. සතුන්ගේ සමාජ ජීවිතය ගත කරන්නට ද එම නිදහසෙන් ඉඩ සැලසේ. මෙය ‘අරණ’ ලෙසින් පරිවර්තනය වෙද්දී මෙමගින් සතුන්ගේ සෞඛ්‍ය නඩත්තු කිරීමට පහසුකම් සැලසේ.

වර්තමානයේදී සත්ව රෝහල ද නවීකරණය වෙමින් පවතී. හොඳ සැලසුමක් ඇති නවීන පහසුකම්වලින් සමන්විත උපකරණ ද මෙහි අන්තර්ගත වේ.

මෙම සත්ත්ව රෝහලෙහි ළාබාල සතුන් ඇතිදැඩි කිරීමේ අංශයක් පවතී. මෙය සතුන්ගේ ‘නර්සරිය’ ලෙස හැඳින්වේ. මව්කුසින් ඉපදුණු කුඩා පැටවා මව්සතා ප්‍රතික්ෂේප කරද්දී එම පැටවා මාස ගණනාවක් ඇතිදැඩි වනු ලබන්නේ මෙම ‘නර්සරිය’ ඇතුළේය. ඇතැම් මව්සත්තු ඉපදුණු කුඩා පැටියාට හානි කරති. එවැනි අවස්ථාවලදී පැටියාට පිහිටවන්නේ නර්සරියයි. එම කොටසේදී පැටවාට කෘත්‍රීම කිරි ලබාදෙනු ලබන්නේ සත්ත්ව රෝහලේ කාර්ය මණ්ඩලය විසිනි. සත්වෝද්‍යානයේ ඉපදුණු පැටවුන් පමණක් නොව වනාන්තරයේ ඉපදී අතරමං වුණු කුඩා දුර්ලභ ගණයේ සතුන්ට හව්හරණ ලබාදෙන්නේ ද නර්සරිය මගිනි. මව්සතා කිරි ලබාදුන්න ද ඇතැම් කුඩා පැටවුන්ට කිරි බීමේ හැකියාව නොපැවතීමට ඉඩ තිබේ. එවිට පැටවාට රැකවරණය සහ පෝෂණය ලබාදෙන්නේ මෙම නර්සරිය මගිනි.

මේ අතර නවීන පහසුකම්වලින් යුත් රසායනාගාරයක්ද ඉදිවෙමින් පවතී. අද වනවිටද එවැනි නවීන ක්‍රම සහ උපකරණ මඟින් සතුන්ගේ ලෙඩරෝග සම්බන්ධව සොයා බැලීමක් සිදුවේ. මේ අතර සතුන් වෙනුවෙන්ම නිෂ්පාදිත අල්ට්‍රාසටුඩ් යන්ත්‍රය, ඊ.සී.පී. යන්ත්‍රය වැනි නවීන තාක්ෂණයෙන් යුත් උපකරණ සමන්විත වේ.

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ ජීවත් වන සතුන්ගේ ලෙඩරෝග පිළිබඳ සොයා බැලීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. සතකු අසනීප බව දැනගැනීමට ක්‍රම කිහිපයක් පවතී. පළමු ක්‍රමය වන්නේ සතුන් ඉතා ඕනෑකමින් නිරීක්ෂණය කිරීමයි. ඒ සඳහා නිරතුරුවම සතුන් දෙස අවධානය යොමුකළ යුතු වේ. එය ඒ ඒ සත්ත්වයා බාරව සිටින සත්ත්ව භාරකරුවාට අයත් රාජකාරියකි. දිනපතාම සතුන්ගේ ‘අරණ’ සුද්ධ පවිත්‍ර කිරීම, ආහාර ජලය ලබාදීම, එම රාජකාරියේ කොටසකි. එමගින් දිනපතාම භාරකරැවාට සතුන්ගේ චර්යාව දැකගත හැක. එමෙන්ම එම කොටස බාරව සිටින පශු වෛද්‍යවරයා ද නිතරම ඒ සතුන් පිළිබඳව අවධානය යොමුකරයි.

මෙම නිරීක්ෂණ මඟින් සත්ත්වයාගේ හැසිරීමේ වෙනස්කම් මඟින් සතුන්ට ඇතිවන රෝග තත්ත්වයන් පිළිබඳව සොයා බැලිය හැක. අත්දැකීම් බහුල පශු වෛද්‍යවරුන්ට එම සත්ත්වයාගේ හැසිරීම මගින් මේ පිළිබඳව නිගමනයකට එළඹිය හැක. වෙනදාට එම සත්ත්වයා ගන්නා ලද ආහාර සහ ජලය සමඟ, මේ වනවිට ගනු ලබන ආහාරවල අඩුවක් පැවතීම, මළපහ කිරිමේ අපහසුතාවයක් පැවතීම, නිතරම නිදාගෙන සිටී නම් හෝ නොනිදා සිටීම වැනි සාමාන්‍ය රටාවේ වෙනස්කමක් දක්නට ඇත්නම් බොහෝවිට එම සතාට කුමන හෝ රෝග තත්ත්වයක් පවතින බව නිගමනය කළ හැක.

මීට අමතරව මාස තුනකට හෝ මාස හයකට වතාවක් අහඹු පරීක්ෂාද සිදුකෙරේ. එවැනි අවස්ථාවලදී රුධිර සාම්පල් පරීක්ෂාව, මළපහ පරීක්ෂාව මගින් වෙනස්කම් හඳුනාගත හැක. මෙය බොහෝවිට සිදුකරනු ලබන්නේ සැකසහිත සතුන්ට හෝ නිතරම පරීක්ෂා නොකරන සතුන් සඳහාය. එවැනි සතුන්ගේ සෞඛ්‍ය පිළිබඳව සත්ව රෝහල දැඩි අවධානයක පසුවේ.

මීට අමතරව සත්ත්වෝද්‍යානය තුළ බෝවන වෛරස රෝග ද ඉඳහිට පැතිර යයි. එවැනි අවස්ථාවලදී පළමුව බෝවීම වළක්වාගැනීමට අදාළ රෝග සතා හෝ සතුන් වෙන්කිරීමක් සිදුවේ. එවැනි විශාල පහසුකමක් සත්ත්වෝද්‍යානය තුළ නොමැති වුවත් තිබෙන සීමිත ඉඩකඩේ එම සැලැස්ම ක්‍රියාත්මක කෙරේ. ඉදිරියේදී ඉදිවෙමින් පවතින සත්ව රෝහල තුළ ඒ සඳහාම වෙන්වුණු කොටසක් නිර්මාණය කරමින් පවතී. ඒ සඳහා විසබීජ පැතිර නොයන ආරක්ෂාකාරී පියවරක්ද අනුගමනය කෙරේ. අදටත් ඒ සඳහා රෝහල අසල පොළොවේ යොදා තිබෙන විසබීජ නාශක ‘ෆුට්බාත්’ එකක් දැකගත හැක. මෙම ක්‍රමය භාවිත කිරීමෙන් බෝවන රෝගයට ලක්වූ සතාව වෙන්කර තබාගැනේ. ඇතැම් සතුන්ගේ මානසික ආතතිය ද දැකගත හැක. එවැනි දේ පශු වෛද්‍ය නිලධාරීන්ට නිගමනය කළ හැක.

මව්සතා විසින් ප්‍රතික්ෂේප කරනු ලබන කුඩා පැටවු ලෙස වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ ව්‍යාඝ්‍ර පැටවුන් සහ සිංහ පැටවුන්ය. මෙවැනි පැටවුන්ට අම්මලාගේ රැකවරණය බොහෝදුරට අඩුය. එයට ප්‍රධාන හේතුව වන්නේ මෙවැනි සතුන් පරම්පරා ගණනාවක්ම ජීවත් වන්නේ සත්ත්වෝද්‍යානය තුළ වීමය. එවිට ස්වභාවයෙන්ම ගැහැනු සතාගේ මව්ගුණය නැතිවී යයි. එමගින් තම පැටවුන්ට කිරි දී රැකබලාගැනීම අමතක වේ. මේ නිසා සත්ත්වෝද්‍යානයේ ඉපදුණු එවැනි ව්‍යාඝ්‍ර සහ සිංහ පැටවුන් මවගෙන් ප්‍රතික්ෂේප වී බොහෝවිට රැකවරණය ලබන්නේ සත්ව රෝහල තුළය.

සිංහ, ව්‍යාඝ්‍ර වැනි දරුණු සතුන්ට ප්‍රතිකාර කිරීමේ ඉතා සාර්ථක ක්‍රමද සත්ත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරුන් සතුව පවතී. පළමුව සතාගේ සිහිය නැති නොකර ඔවුන්ගේ අරණ අසලම සාදා ඇති කොටසට සතාව ගාල්කොට රෝදයක් මගින් එම කොටසේ අවශ්‍ය ප්‍රමාණයට ඉඩ අඩුකිරීමක් කරයි. එමගින් සතාව පරීක්ෂා කිරීම, එන්නත් කිරීම, රුධිර සහ මුත්‍රා සාම්පලයක් ගැනීම, ඖෂධ දැමීම වැනි අවශ්‍ය කටයුතු සිදුකිරීමේ හැකියාව ඇතිවෙයි. සෑම දරුණු සතකුගේම අරණ අසල මෙවැනි නවීන කොටසක් පවතී.

සත්ත්වෝද්‍යානයේ ඉතා දරුණු උරග වර්ගයක්ද ජීවත්වෙයි. මෙවැනි දරුණු ගණයේ උරගයන්ට ප්‍රතිකාර ලබාදෙන ක්‍රම කිහිපයකි. දරුණු නොවන උරගයන් අත්වලින් අල්ලා ප්‍රතිකාර කරන අතර ඊට අමතරව ඒ සඳහාම වෙන්වුණු උපකරණ කට්ටලයක්ද රෝහල සතුව පවතී. එවැනි ක්‍රම මගින්ද පාලනය කරගත නොහැකි නම් උරගයන් නිර්වින්දනය කොට අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙයි.

ඇතැම් දුෂ්කර අවස්ථාවලදී මෙතෙක් පවතින ඉඩ ප්‍රමාණය හා පහසුකම් යටතේ සතුන්ට සැත්කම් පවා සිදුකරයි. ඇතැම් අවස්ථාවලදී ඒ ආසන්නයේ ඇති පෞද්ගලික සත්ත්ව රෝහල්වල උපකාර ද ගනු ලබයි. මෙවිට එම සතාව එම රෝහලට රුගෙන ගොස් ප්‍රතිකාර කොට නැවත සත්වෝද්‍යානයට ගෙන ආ අවස්ථාද පවතී. නමුත් ඉදිරියේදී සත්ව රෝහල තුළදී සැත්කම් කළ හැකි නවීන පහසුකම්වලින් සමන්විත ශල්‍යාගාරයක්ද ඉදිවෙමින් පවතී.

පක්ෂීන්ගෙන් සහ වෙනත් සතුන්ගේ බිත්තර රැකීම සඳහා බිත්තර රකින යන්ත්‍රයක්ද අද වනවිට රෝහල සතුව පවතී.

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ ජීවත් වන සතුන්ගේ පෝෂණය වෙනුවෙන් කාර්ය මණ්ඩලය බොහෝ වෙහෙසක් දරති. සත්ත්ව වර්ග තුන්සියයක් පමණ ජීවත් වන අතර ඒ විවිධ සත්ව විශේෂයන්ට ආහාර සැපයීමද සුවිශේෂී වේ. ඇතැම් සත්තු එළවළු පළතුරැ ආහාරයට ගනිති. ඇතැමුන් තණකොළද, මස් මාළු කන සතුන්ද, කොළ වර්ග, ධාන්‍ය වර්ග වෙන් වෙන්ව ආහාරයට ගන්නා සතුන් වශයෙන්ද වර්ග කෙරේ. මීට අමතරව පණ ඇති සතුන් පමණක් ආහාරයට ගන්නා සත්තු ද සත්ත්වෝද්‍යානයේ ජීවත් වෙති. ඔවුන් මියගිය සතුන් ආහාරයට ගන්නේ නැත. පිඹුරා වැනි දරුණු ගණයේ සතුන්ට ආහාරයට දෙනු ලබන්නේ පණ ඇති ඉතා කුඩා කුකුළු පැටවුන්ය. මෙය ඉතා සංකීර්ණ කාර්යයකි. නමුත් සත්ත්වෝද්‍යානයේ පෝෂණ අංශය ඉතා පරිස්සමට එම කටයුත්ත සිදුකරති. සත්වෝද්‍යානයේ ජීවත් වන සතුන්ට ලබාදෙන ආහාරපාන සියල්ලම පිසිනු ලබන්නේ මුළුතැන්ගෙය තුළය. ඒ සඳහා ප්‍රධාන අරක්කැමියකුගෙන් යුත් අරක්කැමි කණ්ඩායමකින් සමන්විත වෙනමම කාර්ය මණ්ඩලයක් සිටිති. ඒ සියල්ල සොයා බලනු ලබන්නේ පශු වෛද්‍ය හා පෝෂණ නිලධාරීන් තුන් දෙනකුගෙන් යුත් තවත් කණ්ඩායමක් විසිනි. ඔවුහු දිනපතා මේ පිළිබඳව අධීක්ෂණය කරති.

මේ සඳහා දිනපතා සැපයුම්කරුවන්ගෙන් ආහාර ලබාගනු ලැබේ. ඒ සියල්ලම පරීක්ෂා කරනු ලබයි. පිරිසුදු, නරක් නොවුණු හොඳ තත්ත්වයේ ආහාර ගැනීම ඉතා වැදගත් වේ. ඒ ලබාගන්නා ලද ආහාර ඒ අදාළ සත්ත්වයා අනුව සකස් කරගත යුතු වේ. ඇතැම් සතුන්ට විශාල මස් කැබලි ලබාදිය යුතු අතර තවත් සත්තු කුඩා මස් කැබලි ආහාරයට ගනිති.

ඇතැම් පක්ෂීන්ට විශාල මාළු ගිලීමේ හැකියාවක් නොමැත. මේ සියල්ල පිළිබඳව දිනපතා සොයා බැලිය යුතුය. බොහෝ සතුන්ට උදේ සහ හවස ආහාර සැපයේ. ඇතැමුන්ට ලබාදෙන්නේ උදේ ආහාරය පමණි. පිඹුරා වැනි සතුන්ට ආහාර ලබාදෙනු ලබන්නේ සති දෙකකට වරකි. එම ආහාරය එම සති දෙක පුරාවට ඉතාමත් සෑහේ.

ව්‍යාඝ්‍රයා සහ සිංහයා වැනි සතුන්ට දින හතෙන් ආහාර ලබාදෙනු ලබන්නේ දින හයකි.  සතුන්ගේ ස්වභාවය අනුව එය වෙනස් වේ.

කෙසේ වුවත් නරඹන්නන් සිතන පරිදි මේ සතුන් නඩත්තු කිරීම, රැකබලාගැනීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. නමුත් පශු වෛද්‍ය නිලධාරීන් ඇතුළු කණ්ඩායම සෑම විටම සතුන්ගේ සෞඛ්‍ය පිළිබඳව සොයා බලා කටයුතු කරති.

ඉදිරියේදී සත්ත්ව රෝහල තුළින් මීටත් වඩා සේවාවක් ලබාදිය හැකි බව ඔවුන්ගේ අදහසයි. එවිට දුර්ලභ ගණයේ සතුන්ගේ ආයුෂවල කාලය වැඩිවීමටද බොහෝ ඉඩකඩ තිබේ.

විශේෂ ස්තූතිය
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා මල්සිංහ මහත්මිය, සත්ව සෞඛ්‍ය හා පෝෂණ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන රාජපක්ෂ මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට.

දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ -  සුමුදු හේවාපතිරණ