2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

දියණිය ක්‍රීඩා උළෙලේ : පියා ලොරියට බිලි

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 268

තම පියාගේ අකල් වියෝව දරාගත නොහැකිව කුඩා දැරියන් දෙදෙනකු නැගූ විලාපය පසුගියදා පොළොන්නරුවේ වැලිකන්ද, මහින්දාගම සිසාරා දෝංකාර දුන්නේය.

මවු සෙනෙහස අහිමිව තාත්තාගේ පමණක් රැකවරණය ලබමින් සිටි ඒ දැරියන් දෙදෙනා අවුරුදු 13 සහ 09 යන වයස්වලය. 

48 හැවිරිදි විතානගේ නිමල්සිරි මහතා මේ දරුවන් ජීවත්කරවූයේ එදිනෙදා කුලී වැඩක නිරතව ලැබුණු සුළු ආදායමකිනි. 

ඉකුත් සිකුරාදා (14) දිනයේ ඔහු සිය දවසේ මෙහෙවර නිමවා යළි නිවෙස බලා එමින් සිටියදී මඳක් රෑ බෝවී තිබුණි.
පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ කඩවත්මඩුව හංදියේ සිට තමන් වෙසෙන ගම්පියස වන අසේලපුර, මහින්දාගමට යන්නට නිමල්සිරි පාර හරහා මාරුවී තිබේ. ඒ අවස්ථාවේදී ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලොරියකට යට වී ඇත්තේ අනපේක්ෂිත අන්දමිනි.

මඩකලපුව, වාලච්චේන ප්‍රදේශයේ සිට මාලු තොගයක් ද රැගෙන අධික වේගයෙන් පැමිණි ලොරියේ ගැටුණු ඒ දරැවන්ගේ තාත්තා අනතුර සිදුවූ ස්ථානයේදීම සදහටම දෙනෙත් පියාගෙන තිබුණේ නොහික්මුණු රියදුරාගේ වරදින් බව පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී හෙළිවිය.

තම පියාගේ අකල් වියෝව මේ දරු දෙදෙනාට තවමත් සිහිනයක් බඳුය. අඳුර වැටෙන විට ගෙදරට එන තාත්තා යළි කිසිදාකත් නොඑන බව මේ දරුවෝ දනිති. දැන් පෙර මඟ බලා සිටින්නේ කවුරුත් එනතෙක් දැයි සිතෙන ලපටි සිත්වලට දැනෙන දුක, වේදනාව කොපමණදැයි කිව නොහැක. දරුවන් රැක්මට තවත් බොහෝ කාලයක් ජීවත්ව සිටිය යුතු “තාත්තා” ජීවිත ගමන නිමා කර ඇත්තේ කිසිවකුත් නොසිතූ මොහොතකය.

දැනට ඔවුනට අැවැසි රැකවරණය ලබා දෙන්නට සිටිනුයේ තාත්තාගේ මව ආත්තම්මාය. ඇයට ඒ වගකීම කොපමණ කාලයක් දරා සිටින්නට හැකියාව ඇත්ද යන්න තීන්දු කරනුයේ කාලය විසින් බැව් අපට ඒත්තු ගිය කාරණයකි. මක්නිසාද යත් ඇය ද වයෝවෘද්ධ මාතාවක් නිසාවෙනි.

මේ දැරිවියන් දෙදෙනා ඉගෙනුම ලබන්නේ කඩවතමඩුව ධර්මපාල කනිෂ්ඨ විද්‍යාලයේය. ඔවුන්ගෙන් අක්කා 09 වැනි ශ්‍රේණියේය. ඇය ඉගෙනුමට මෙන්ම නැටුමට, ගැයුමට මෙන්ම චිත්‍ර ඇඳීමට ද එකසේ හපන්කම් දක්වන බව අපට දැනගන්නට ලැබුණි. පාසලේ නර්තන කණ්ඩායමේ සාමාජිකාවක් වන මේ දියණිය සිය හපන්කම් තුළින් පළාත් සහ ජාතික මට්ටමේ තරගවලට ඉදිරිපත්ව තම පාසලට කීර්තියක් අත්කරදී තිබෙන දීප්තිමත් සිසුවියක බවද විද්‍යාලයේ විදුහල්පති ඉන්දික අසේල කෝදාගොඩ මහතා අප සමඟ පැවසීය.

“මේ දරුවෝ දෙන්නම ඉගෙනගන්නේ අපේ පාසැලේ 09 වැනි සහ 04 වැනි ශ්‍රේණිවල. ඒ අය ඉගෙනගැනීමට දක්ෂයි. 9 වැනි ශ්‍රේණියේ ඉගෙනගන්නා දරුවා පාසැලේ නර්තන කණ්ඩායමේත් ඉන්නවා. පළාත්, ජාතික මට්ටමේ තරගවලට ඉදිරිපත් වෙලා නර්තන අංශයෙන් ජයග්‍රහණ හිමිකරගෙනත් තිබෙනවා. ඒ වගේම ඒ දියණිය චිත්‍ර ඇඳීමට ගායනයටත් දක්ෂයි. මේ තාත්තා හදිසි අනතුරට ලක්වුණු දවසේත් ඒ දියණිය ඇඹිලිපිටියේ මහවැලි ක්‍රීඩාංගණයේ පැවැත්වූ 30 වැනි මහවැලි ක්‍රීඩා උළෙලේ සංස්කෘතික අංගයක් සඳහා සහභාගී වීමට ගිහිල්ලා හිටියේ. 

ඇය අපේ පාසලට වගේම මහවැලි බී කලාපයටත් පොළොන්නරුව දිස්ත්‍රික්කයටත් තමන් තුළ තිබෙන කුසලතා තුළින් ඉහළ අගයක් ලබා දෙන සිසුවියක්. තාත්තාගේ හදිසි අභාවය නිසා ඇතිවිය හැකි පවුලේ ආර්ථික පසුබෑම තුළ මේ දරුවන්ගේ පාසැල් අධ්‍යාපනයට යම්කිසි බාධකයක් ඇතිවෙනවා නම් ඊට පිළියම් යෙදීම ඉතාමත්ම කාලෝචිත, දූරදර්ශී ක්‍රියාවක් ලෙස මා දකිනවා.

ඔවුනගේ මිත්තණිය වන වැලිකන්ද අසේලපුර, මහින්දාගම, අංක 178 ලිපිනයේ පදිංචි කේ. ඩී. ඒ. ධර්මවතී (68) මහත්මිය මුණගැසී කළ කතාබහේදී හැඟී ගියේ එවැනි දිරියක් ශක්තියක් ඔවුන් වෙනුවෙන් අවශ්‍ය බවයි.

“මගේ දරුවෝ පස්දෙනයි. වැඩිමහල් පුතාගේ දරුවෝ තමයි මේ. මගේ ලොකු පුතා මේ දරුවන්ගේ හැම යුතුකමක්ම කළා. දරුවන්ට කවලා, පොවලා ඇඳුම් අන්දවලා ඉස්කෝලෙට යවලා තමයි එයා මොන වැඩේට වුණත් ගියේ. කොහේවත් පිට පළාතකට ඈතකට වැඩකට ගියේ නෑ දරුවෝ තනියම දාලා යන්න බැරි නිසා. හදිසියේ හරි රෑ බෝවෙලා එන ගමනක් යනවා නම් මේ දරුවෝ දෙන්නා අපේ ගෙදර නතර කරලා යන්නේ. මේ සිද්ධිය වුණු දවසේත් ලොකු දුව ඇඹිලිපිටියේ මහවැලි ක්‍රීඩාවලට ගිහිල්ලා. පොඩි දුව අපේ ගෙදර හිටියේ. මම දැන් ඉතින් මේ දරුවන්ව බලාගන්නවා. මට පුළුවන් විදිහට අනෙක් අඩුපාඩු සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මේ දරුවෝ දෙන්නා වෙනුවෙන් කවුරුත් හරි උදව් උපකාර කරනවා නම් ඒක ලොකු දෙයක්”

I කරුණාරත්න ගමගේ

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:05