
උතුරේ හින්දු ජනතාව ගවයා සලකන්නේ දේවත්වයෙනි. මේ වනවිට ගව ඝාතනයට එරෙහිව දැඩි විරෝධතාවක් හඬ නගමින් කියා සිටින්නේ ගව ඝාතන වහාම නවතන ලෙසටය. විශේෂයෙන් උතුරු ප්‍රදේශයේ පිහිටි දමිළ ව්‍යාපාරිකයන්ගේ කිසිදු ආපනශාලාවක මේ වනවිට ගවමස් ආහාරයට ගැනීමට නොහැකි වාතාවරණයක් උද්ගතව ඇත.
එවැනි වාතාවරණයක් මධ්‍යයේ පසුගියදා යාපනය දිස්ත්‍රික්කයෙන් අපූරු සිදුවීමක් වාර්තා විය. ඒ මුස්ලිම් ව්‍යාපාරිකයකු විසින් ඔහුට හිමි ගවයකු ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමක් හේතුවෙනි. එම ව්‍යාපාරිකයා විසින් ඉදිරිපත් කර තිබූ ගවයාට යාපනයේ වැසියන් නම දමා තිබුණේ ලස්සන ගවයා යනුවෙනි. එය සත්‍යයකි. ඇතැම් වැසියන් මේ ගවයාට පැවසුවේ මේ ගවයාට ගවයකුගේ සේම අලියකුගෙ සහ එළුවෙකුගේ ලක්ෂණ පිහිටා ඇති බවටය.
කෙසේ වෙතත් ගවයා හිමි පුද්ගලයා විසින් ගවයා සතියේ දින පහක්ම එක් අයකුගෙන් ගවයා බැලීමට රුපියල් 100ක මුදලකට ටිකට් පතක් නිකුත් කරමින් ප්‍රදර්ශනය කොට අවසානයේ වෙන්දේසි කිරීමක් සිදු කිරීමට පියවර ගෙන තිබුණි. නමුත් ගවයා බැලීමට පැමිණි බොහෝ පිරිසක් ගවයා බලා දුක්මුසු මුහුණින් ගියහ. එයට හේතුව වූවේ ගවයා අවසානයේ වැඩිම ඉල්ලුමක් ඇති මස්කඩ කාරයෙකුට විකුණන බවට ජනතාවට කන වැදීමත් සමගය.

මෙම පුවත වාර්තා වීමත් සමඟ යාපනයේ පිහිටි සත්ව හිංසා පදනම, සත්වවේදීන්ගේ සංගමය හා ශිව සේනා සංවිධානය විසින් දැඩි විරෝධතාවක් එල්ල කළේ අදාළ ගවයා විකිණීමෙන් වළකින ලෙසටය. අදාළ විරෝධතාවයත් සමඟ ගවයා හිමි පුද්ගලයා විසින් අදාළ ප්‍රදර්ශනය නවතා දැමීමට පියවර ගෙන ඇති අතරම ගවයා නැවත රැගෙන ගොස් ඇත.
නමුත් විරෝධතාවයේ නිරත වූ සංවිධාන පෙන්වා දෙන්නේ අදාළ ගවයා මුලින් ප්‍රදර්ශනය කර තිබූ අවස්ථාවේ බොහෝ පිරිස් විසින් එම ගවයා මිලදී ගැනීමට සැරසී සිටි හෙයින් ගවයා හොර රහසේම මස් පිණිස විකිණීමට සැලසුමක් ඇති බවටය.
ලස්සන ගවයාගේ කතාව කෙසේ වුවද තවත් පිරිසක් විසින් දේවත්වයෙන් අදහන සතෙකුට මෙවැනි ඉරණමක් සිදු විය නොවිය යුතු බවටත් ඉතා ඉක්මනින් ගව ඝාතනයට එරෙහිව බලධාරීන් කටයුතු කළ යුතු බවටත් යාපනයේ බහුතර මතය වී ඇත.
♦ වන්නි රොමේෂ් මධුෂංඛ