
උතුරු පළාත් සභාව හැරුණුවිට මෑත වකවානුව තුළ රටේ වැඩිම කතාබහට ලක්වූ පළාත් සභාව බස්නාහිර පළාත් සභාවය. සැප පුටු හා පුදුම දොරේ කතාවට තටු ලැබීමත් සමඟම නව පළාත් සභා ගොඩනැගිල්ල පිළිබඳ ආන්දෝලනාත්මක කතා පුවත් වරින්වර මැවෙන්නට වූයේ එකදිගටය.
පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතාගේ ගණන් හිලව්වලට අනුව සභා ශාලාව සඳහා ඇණවුම් කළ සැප පුටුවක මිල රුපියල් 6,50,000 සිට රැපියල් 6,44,000 කට පහළ බැස ඇත. සභාවේ පිවිසුම් දොර රැපියල් කෝටි එකහමාරක් නොව රැපියල් 84,00000කි. කෙසේ වුවද මෙම පුටුවක ඇත්ත වටිනාකම රුපියල් 8,44,000ක් බවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා හෙළිකළේ පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
රැපියල් කෝටි 700ක වියදමක් දරා ඉදිකරන ලද බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිල්ලේ මදය නැති බවට පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා කරන චෝදනාව ඊළඟට මතු වී ඇති බරපතළම කතාවය. ගොඩනැගිල්ලේ මිලදී ගැනීම් හා ටෙන්ඩර් පටිපාටිය සම්බන්ධ ගනුදෙනුවල ගැටලු ගණනාවක් ඇතැයිද ඔහු හෙළි කළේ ඉකුත්දා පැවති සභා රැස්වීමේදීය.
මෙම ගොඩනැගිල්ලේ වියදම් පිළිබඳව සම්පූර්ණ විගණනයක් කරන ලෙසට විගණකාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත්, ඒ සමඟම පළාත් සභාව හරහා සිදුවුණු කොන්ත්‍රාත් ගිවිසුම් පිළිබඳ පරීක්ෂණයක් බලාපොරොත්තු වන බවටත්, මන්ත්‍රීවරයා දැනටමත් දැනුම් දී ඇත්තේ නිකමට නොවේ. සැප පුටු සිද්ධියෙන් පසු මෙම දූෂිත ගනුදෙනුවලින් ගැලවිලා යන්න ඉඩ තියන්නම හොඳ නැතැයි මන්ත්‍රීවරයා කියන්නේ එනිසාය.
මහල් 15කින් සමන්විත මෙම නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් පෞද්ගලික සමාගමකට භාරදී ඇති බවද දැනටමත් ඇස්තමේන්තුගත මුදල වන රුපියල් 702,9480832.49 කින් රුපියල් 585,4270165.89ක් වියදම් කර අවසන් බවද සඳහන්ය. ලක්ෂ්මන් නිපුණආරච්චි මන්ත්‍රීවරයා මේ පිළිබඳව සභාවෙන් ඇසූ ප්‍රශ්නයකට අනුව තවත් අභ්‍යන්තර වැඩ කොටස් රාශියක්ද උපකරණ හා භාණ්ඩ සැපයුමද සිදුවී නැතැයි හෙළිවී ඇත.
සභා ගර්භයේ පුටු, මේස ඇතුළු දැව භාණ්ඩ ගොඩනැගිල්ලේ කළමනාකරණ පද්ධතිය, රථවාහන කළමනාකරණ පද්ධතියට කමිටු කාමර, ඕඩියෝ උපකරණ සියලුම ශ්‍රේණීන් සඳහා වන අල්මාරි, පුටු, මේස, ඔර්ලෝසු පද්ධතිය, සභා ගර්භයේ සීනු පද්ධතිය ඇතුළු සේවාවන් ගණනාවක් මේ අතරය. ශබ්ද විකාශන යන්ත්‍ර හා කැමරා පද්ධතිය සඳහා මිල ගණන් කැඳවා ඇතැයිද සඳහන්ය.
මන්ත්‍රීවරයා සඳහන් කරන අන්දමට අසා ඇති ප්‍රශ්නයකදී හෙළිවී ඇත්තේ රුපියල් මිලියන 72කට අඩු මිල ගණන් ටෙන්ඩරයක් තිබියදී රුපියල් මිලියන 109කට එම ටෙන්ඩරය භාරදී ඇති බවය. මෙහිදී ආයතන 3කින් මිල ගණන් කැඳවා ඇති බවද එම පිළිතුරේ දැක්වේ. අඩු මිල ගණන් ටෙන්ඩරය තවමත් විවෘත කර නොමැති බවට මන්ත්‍රීවරයා කරන චෝදනාව බැහැර කළ හැකිද? එදා සැප පුටු ප්‍රශ්නයේදී මහ ඇමැතිවරයා කළ කී දේත්, පසුව කළ කී දේත් ගැන සිතන විට මේවාට ඉදිරියේදී එවැනිම උත්තර ලැබෙනු නැතැයි සිතිය හැක්කේ කාටද?
ආණ්ඩුකාරවරයාගේ වාර්තාවෙන් අද වනවිට පුටු ප්‍රශ්නය ලොප් වී අවසන්ය. එහෙත්, පළාත් සභා ගොඩනැගිල්ලේ පිට ඔපේ හැටියට ඇතුළත ඇත්තේ හපයක් බවට ජවිපෙ චෝදනා කරන්නේ ඇයි? දොරේ සද්දෙත්, බෙරේ සද්දෙත් ජවිපෙය හොඳට හඳුනන බවට නිපුණආරච්චි මහතා පවසන්නේ කුමක් නිසාදැයි දෙවරක් සිතිය යුත්තක්ද නොවේ. මේ පිළිබඳ පූර්විකාවට සම්බන්ධ වූ නිපුණආරච්චි මන්ත්‍රීවරයා තවත් අනාවරණයක් කරන්නේ මෙලෙසිනි.
නව ගොඩනැගිල්ලේ 13 වෙනි මහලේ තමයි සභා ශාලාව ස්ථාපනය කර තිබුණේ. විදුලි සෝපානය ක්‍රියාත්මක වුණෙත් ඒ අනුවයි. පසුගිය 13 වෙනිදා හිටිහැටියේම විදුලි සෝපානයේ අංක වෙනස් කරලා. අංක 1 මහල වෙනුවට එය පාකින් යනුවෙන් පී අකුර යොදලා. මේකේ රහස හෙළිවුණේ පසුවයි.
සභා ශාලාවට අංක 13 මහල වෙන්කිරීම අසුබ බවට සලකලා විදුලි සෝපානයට අංක 12 ඇතුළත් කර තිබෙනවා. සභා ශාලාවට පසුගිය කාලය පුරාම එල්ල වූ චෝදනා 13 අපලය කියලයි මේ වගකිවයුත්තන් විශ්වාස කරන්නේ.
මේ විදියට විදුලි සෝපානයේ අංක වෙනස් කිරීම නිසා ඒ ඒ මහල්වල සේවය කරන සේවක සේවිකාවන් බරපතළ අර්බුදයකට ලක්වුණා. මහල මාරුවීමෙන් ඔවුන්ට පඩිපෙළ දිගේ ඉහළට හා පහළට යාමට සිදුවුණා.
මෙම සභා ගොඩනැගිල්ල වෙන්කළ ඇස්තමේන්තු මුදලින් තවත් ඉතිරි වී තිබෙන්නේ තවත් රුපියල් මිලියන 1200කටත් අඩු මුදලකි. පාර්ලිමේන්තු මේනියාවට ගොඩනැගූ බව කියන මෙම ගොඩනැගිල්ලම සුදු අලියෙක් බවට ජවිපෙ චෝදනා කරන්නේ සියලු විස්තර ලබාගෙන විගණකාධිපතිවරයාට පැමිණිලි කිරීමේ අදහසිනි.
ජාතික විගණන පනතට අනුව මෙම පැමිණිල්ල ගැන ළඟදීම විගණනයක් සිදුකිරීමට ඔවුහු සූදානම් වෙති. මේ ගැන පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මහතා දක්වන්නේ මෙවන් අදහසකි.
&පළාත් සභා නව ගොඩනැගිල්ලේ වැඩ විශාල ප්‍රමාණයක් අවසන්. පෞද්ගලික ප්‍රසිද්ධ සමාගමක් විසින් මෙහි සියලුම ඉදිකිරීම් හා සවිකිරීම් කරනවා. මහල් 15කින් සමන්විත මෙම ගොඩනැගිල්ලේ %බේස්මන්ට්^ එක තට්ටු 3යි. ප්‍රධාන ලේකම් කාර්යාලය අංක 4 මහලේත්, සභා ලේකම් කාර්යාලය අංක 11 මහලේත්, සභා ශාලාව අංක 12 මහලේත් ස්ථානගත කර තිබෙනවා. අංක 13 මහල විවෘත පරිශ්‍රයක් ලෙසයි පවත්වාගෙන යන්නේ. විදුලි සෝපානය පසුගිය සතිය වනතුරැ හරිහැටි ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ මහල් කීපයක වැඩ අවසන් නොවූ නිසයි. ඒ නිසා මහල් කීපයකටම විදුලි සෝපානය ගියේ නැහැ. දැන් එම සියලුම මහල් නිවැරදිව අංක කර තිබෙනවා. අංක 13 සභා ශාලාවක් පිහිටුවා නැහැ. 13 ප්‍රශ්නයකුත් නැහැ. ලබන සතිය වනවිට සභා ලේකම් කාර්යාලය අංක 11 ස්ථානගත කරනවා. ලබන මාසය තුළ අංක 12 සභා ශාලාවේ රුස්වීම් ආරම්භ වෙනවා. කියන තරම් යකා කළු නැහැ.*
ජයන්ත සමරකෝන්