
නොබෝදා ප‍්‍රකාශයට පත් කළ පොලී අනුපාත අනුව වසර දහයක ස්ථාවර තැන්පත් වෙනුවෙන් සියයට විස්සක පොලියක් ගෙවීමට ඇතැම් වාණිජ බැංකු සූදානම්ය. තවත් බැංකු වසරකට සියයට 12.5 හා එය ඉක්මවන පොලී අනුපාත ප‍්‍රකාශයට පත් කරමින් සිටී. බාල වයස්කාර ගිණුම් අලුතින් අරඹන අවස්ථාවලට වැඩි පොලියක් ගෙවීමට නැඹුරු කර තිබේ. පොලියට අමතරව නොයෙක් වරප‍්‍රසාද පෙන්වන අතර වැඩිපුර ධනය ඇති සෑම පුද්ගලයකුම තැන්පත්වලට පොළඹවාගනිමින් සිටින බව පැහැදිලිය. මෙම ස්වභාවය මෑතක සිට පවතින පරිභෝජනය අඩුකරන ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියට වක‍්‍ර වාසි අත්පත් කරයි. පරිභෝජනය වැඩිවන විට රට තුළට භාණ්ඩ ආනයනය පාලනය අපහසු වන අතර එය තව තවත් විනිමය ප‍්‍රශ්න ඇතිකරන්නකි. පොලිය වැඩිවන විට ධනය තැන්පත් කර වැඩි පොලියක් අපේක්ෂා කරන පුරවැසියන්ගේ පරිභෝජන හැකියාව පහත වැටේ. එය ආනයන සීමාකිරීමකි.
ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අලුත් වාර්තාව අනුව රජයේ ආදායමේ ප‍්‍රතිශතයක් වශයෙන් සියයට 97ක් ණය පොලිය හා වාරික ගෙවීමට වැය කළ යුතුව ඇත. රජයේ ආදායමේ ප‍්‍රතිශතයක් වශයෙන් ගණන් බැලුවහොත් සියයට හතළිස් හතක කොටසක් වැටුප් හා විශ‍්‍රාම දීමනා වෙනුවෙන් වෙන්කරන්නට සිදුවී ඇත. රජයේ ආදායම සීමාසහිත අවස්ථාවක සියයකින් අනූ හතක් හා හතළිස් හතක් වශයෙන් සියයට එකසිය හතළිස් තුනක පමණ ප‍්‍රමාණයක් මෙකී අංශ දෙක වෙනුවෙන් පමණක් වුවමනා වී තිබේ. රට සංවර්ධනය කරන්නේ කෙසේද? අධ්‍යාපන, ප‍්‍රවාහන, සෞඛ්‍ය වැනි අවශ්‍යතා වෙනුවෙන් ධනය ලැබෙන්නේ කොතැනින්ද? ණය ගැනීම හැර විකල්පයක් නැත.
2019 අවුරුද්ද තීරණාත්මක වසරකි. මෙතෙක් පැවැති තද ආර්ථික රාමුව අතහැර සහන ප‍්‍රකාශයට පත් නොකළහොත් තවත් අප‍්‍රසාදයට පත්වීම වැළැක්විය නොහැකිය. නමුත් එවැනි ලිහිල් ස්වභාවයක් උදෙසා ශක්තිමත් ආර්ථිකයක් රටට නැත. 2018 වසරේ මුල් මාස හතර තුළ රජයේ ආදායම රුපියල් මිලියන 622,712 කි. වියදම රුපියල් මිලියන 873,350ක් බව මුදල් අමාත්‍යාංශ අර්ධ වාර්ෂික ප‍්‍රගති වාර්තාව පෙන්වයි. හිඟය රුපියල් මිලියන 63,587ක් වන අතර කලින් අවුරුද්දේ මේ හා සමාන කාලයේ තිබුණු හිඟය එනම් රුපියල් මිලියන 37,050 ඉක්මවා යන තත්ත්වයකි. හිඟය පියැවීම වෙනුවෙන් මුදල් සොයන්නේ කෙසේද? 2018 වසරේ මුල් කාර්තුව එපමණ නරක තත්ත්වයක පවතින පසුබිමක 2019 අයවැය පියැවීමට විශාල වශයෙන් දේශීය ණය ගැනීමට සිදුවීම වැළැක්විය නොහැකිය. වාණිජ බැංකු සූදානම අදට අවශ්‍ය පමණක් නොව ඉදිරි වසර දෙක තුන සඳහා ද අවශ්‍ය පමණට වන මුදල් රජයට ණය වශයෙන් සම්පාදනය සඳහා ගනුදෙනුකරුවන්ගෙන් එකතු කරගැනීමය. වාණිජ බැංකු භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගෙන රජයට ණය සපයනු ඇති අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඒවායේ ඵලදා අනුපාත වැඩිවීමට ඉඩ තිබේ. අධික ණය සැපයීමේ තරගයක් නිර්මාණය වුවහොත් පමණක් ඒවායේ ඵලදා අනුපාත අඩුවී රටට වාසිදායක පරිසරයක් නිර්මාණය වීමට ද බැරි නැත.
පොලී අනුපාත නංවන වාණිජ බැංකු එම මුදල් අලුත් ව්‍යාපාර හා කර්මාන්තවලට නිකුත් කළ යුතුය. ආර්ථිකය සක්‍රීය වීම එයින් ඇරඹේ. නමුත් ව්‍යවසායවලට ණය සැපයීම ඉහළම පොලී මට්ටමක පැවැතීම නුසුදුසුය. ඉහළ පොලියක වනවිට ව්‍යාපාර හෝ කර්මාන්තවල පිරිවැය වියදම පාලනය කරගත නොහැකිය. නිෂ්පාදන හෝ සේවා මිල වැඩිවීම සාමාන්‍යයෙන් සිදුවෙයි. එය වෙළෙඳපොළ ප‍්‍රශ්නයක් බවට පත්වෙයි. සමාන නිෂ්පාදන වෙනත් රටකින් ආනයනය කරන විට මෙරට ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන ප‍්‍රතික්ෂේප වෙයි. වැඩි මිල ගෙවන්නට පාරිභෝගිකයන් සූදානම් නැත. අඩු පොලී අනුපාත පැවැතීම ආර්ථිකය සක‍්‍රීය කරන අතර වෙළෙඳපොළ ප‍්‍රවණතා යහපත් කරයි. වසර දහයකට සියයට විස්සක පොලියක් ගෙවා තැන්පත් බාරගන්නා බැංකුවක් එම පොලිය ගෙවන තරමට ආදායමක් උපයාගත යුතුය. එය සරල සිද්ධාන්තයකි. වසර දහයක ණයක් වෙනුවෙන් අවම වශයෙන් සියයට විසිපහක හෝ පොලියක් අයකළහොත් එය කොපමණ අවාසිදායක තත්ත්වයක්ද? සියයට විසිපහ ඉක්මවන ණය පොලියක් ව්‍යවසායකයකුට හොඳ ප‍්‍රාග්ධනයක් විය හැකිද?
පොලී අනුපාත වැඩිවීම සමස්ත ආර්ථිකයම ව්‍යාකූල කරනු ඇත. ආණ්ඩුව ව්‍යවසායකත්ව වර්ධන වැඩපිළිවෙළක් අරඹා අලුත් ව්‍යාපාරිකයන් බිහිකරන්නට වෑයම් කරයි. එම පිරිස සුළු ව්‍යවසාය වශයෙන් නැගී ඊළඟ පියවරට ගමන් කරන විට වාණිජ බැංකුවල පවතින වැඩි පොලී අනුපාත ව්‍යුහයට මුහුණදෙන්නට සිදුවෙයි. සහන සහිත ව්‍යවසායක් අරඹන සුළු ව්‍යවසායකයන් වැඩිවීමට ඉඩ තිබෙන පොලී අනුපාතවලින් ව්‍යවසාය පුළුල් කරනු සඳහා ප‍්‍රාග්ධනය සපයාගත යුතු අතර එහිදී මතුවන ප‍්‍රශ්න හමුවේ ව්‍යාපාර කරගෙන යා නොහැකි ස්වභාවයකට පත්වෙයි. ඉදිරි වසර දහය තුළ පොලී අනුපාත වැඩි ප‍්‍රතිශතයක පවතින බව අඟවන වාණිජ බැංකු ඉහළ පොලී අනුපාත ප‍්‍රකාශයට පත් කරන විට එය ආණ්ඩුවේ ව්‍යවසායක හිතකර පරිසරයට ද බරපතළ බාධා පමුණුවන බව තේරුම් ගැනීම වැදගත්ය.
මුදල් අත ඇති ජනකොටසට තම අතිරේක ධනය බැංකුවක තැන්පත් කර යැපෙන ස්ථිර මාර්ගයක් සකස් කරගත හැකිය. වැඩි පොලිය ගෙවන්නේ සමස්ත සමාජය බව ගැඹුරින් සලකා බැලිය යුතු පැත්තකි. එය සෑම ක්ෂේත‍්‍රයකටම පැතිරී යන අතර වැඩිවන පොලිය අභ්‍යන්තර පිළිකාවක් සේ ආර්ථික දේහය පුරා පැතිරී විශාල විනාශයක් කරනු නිසැකය.
පොලී අනුපාත වැඩිවන අවස්ථාවක එමගින් ජනතාවගේ මිල දී ගැනීමේ හැකියාව අඩුවන බව කල්පනා කර තාවකාලික වාසියක් අපේක්ෂා කරනු වෙනුවට දීර්ඝ කාලීනව කරැණු සලකා බලන්නට මෙම ප‍්‍රතිපත්ති සම්පාදකයෝ යුහුසුළු විය යුතුය. පොලිය වැඩිවීමට බලපාන සාධක සොයා ඒවා ඈත්කිරීමට පියවර ගැනීම වැදගත්ය. රජයේ ණය ගැනීම එහි ප‍්‍රධාන පාර්ශ්වයක් සේ පැහැදිලිව පෙනේ. දේශීය ණය ගැනීම සීමාකළ යුතු අතර රජයේ ආදායම වැඩිකරගැනීම අරමුණු කරගෙන සාධාරණ විකල්ප අනාවරණය කරගැනීම සුදුසුය.
►ගාමිණී සරත් ගොඩකන්ද