
1. අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනක මිල ඉහළ ගියා. නමුත් ආණ්ඩුව කියන්නෙ ආර්ථිකය හරි මාර්ගයේ යනවා කියලා. ඒක වෙන්න පුළුවන්ද?
2. ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ පොලීසියේ ඉහළ නිලධාරියකුට චෝදනා එල්ල වෙනවා. පාර්ලිමේන්තුව ඇතුළෙත් මේ ගැන උණුසුම් වාද විවාද පැවැත්වුණා. මෙහිදී රජය ගත යුතු ක්‍රියාමාර්ගය මොකක්ද?
3. පහුගිය දවසක පාඨලී චම්පික අමාත්‍යවරයා ප්‍රකාශයක් කරනවා යුද්ධය පමණක් කළ හමුදා සහ කොටි සාමාජිකයන්ට පොදු සමාවක් ලබාදෙන්න කියලා. ඒ ගැන මොකක්ද ඔබේ අදහස?
4. හොඳින් හුස්මක් ගත හැකි සහන රැසක් 2019 අයවැයෙන් ලබාදෙන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ඇත්තටම මෙහෙම සහන ලැබෙයිද?
ආණ්ඩුව ජනතාවට දීපු සහන ගැන කවුරුත් කතා කරන්නෙ නැහැ
රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ
1. අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ඉහළ ගියා වගේම අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළත් ගියා. නමුත් ඒ ගැන කවුරුත් කතා කරන්නෙ නැහැ. ඒක පේන්නෙ නැති එක තමයි තියෙන ලොකුම ගැටලුව. අපි රජයක් විදියට ජනතාවට ගෝලීය වශයෙන් සිදුවන වෙනස්කම් එක්ක පුළුවන් තරම් උපරිම සහන ලබාදෙන්න කටයුතු කරන රජයක්. ඒ වගේම පෙර පැවති රජයට වඩා උපරිම සහන දීලා ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යනවා මේ වර්තමාන ආණ්ඩුව.
2. කවුරැත් එහෙම කිව්ව පලියට එකපාරටම කවුරුත් අත්අඩංගුවට ගන්න, චූදිතයා කරන්න බැහැ. ඒ එල්ලවෙලා තියෙන චෝදනාව බරපතළ චෝදනාවක්. අපි රජයක් විදියට පැහැදිලි පරීක්ෂණයක් පවත්වනවා. මේ සිදුවීම්වලට අදාළ පුද්ගලයන්ගේ කිසියම් සම්බන්ධතාවක් තියෙනවා නම් තරාතිරම නොබලා දඬුවම් කරනවා. ඒ වගේම රජය විසින් මේ පිළිබඳ සම්පූර්ණ වාර්තාවකින් දැනුම් දෙනවා.
3. මේ රටේ යුද්ධයක් කරපු අවස්ථාවේ ඒ යුද්ධයට ඍජුව සම්බන්ධවෙලා හිටපු අය පුනරුත්ථාපනය කරන්න ඕන. ඒ වගේම සාමාන්‍ය ජනතාවට නැවත කිසිම හානියක් නොවන ආකාරයට හැසිරෙන අවස්ථාවකදී යම් සහනයක් දුන්නට කමක් නැහැ. ඔය කියන තරම් හදිසියට කටයුතු කිරීම සුදුසු නැහැ කියලා මම විශ්වාස කරනවා.
4. අපි 2019 අයවැය කියන කාරණාවට ඔබ්බට ගිහින් තියෙනවා. නමුත් මේ රටේ පහුගිය ආණ්ඩුවට වඩා රජය යටතේ බඩු මිල වුණත් යම් සහනදායී තත්ත්වයක් තියෙනවා. තෙල් මිල ගැන හැමෝම කෑගහනවා. නමුත් තෙල් මිල පහුගිය ආණ්ඩුවට වඩා අඩුයි. රටේ ආර්ථිකයේ ඉදිරි දැක්ම ගැන අපි තීරණ ගන්නෙ ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කරන්න හිතාගෙන නෙවෙයි. එදා අයවැය කියන්නෙ ආණ්ඩු පිම්බෙන නිකම් ලියවිල්ලක්. නමුත් අද ඊට එහාට ගිහින් ජනතාවට සහන රැසක් ලබාදෙනවා. ඇත්තටම අපේ සැබෑ අරමුණ වන්නෙ රට ආර්ථික වශයෙන් සමෘද්ධිමත් රටක් කිරීමටයි.
හොරකම කලාවක් වෙච්ච රටක ජනතාවට හුළං
ජනතා විමුක්ති පෙරමුණු මධ්‍යම කාරක සභික ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න
1. ආණ්ඩුව වැරදි මාර්ගවල යනකොට රටේ ආර්ථිකයත් වැරදි මාර්ගයේ යන්නෙ. ආර්ථිකය පමණක් නොවේ සමාජයම බිඳවැටීමකට ලක්වෙලා තියෙන්නෙ. ඒ නිසා දැන් කොහොම නමුත් ආණ්ඩුවට නම් මිල වැඩිවීමක් දැනෙන්නෙ නැහැ. මොකද, දේශපාලකයන්ට වගේ වගක් නැහැ. ඒ වගේම හොරකම කලාවක් කරගත්ත රටක ජනතාවට දැන් ජීවත්වෙන්න බැහැ. අන්න ඒ වගේ වෙලාවක අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම, බස් ගාස්තු ඉහළ යාම, තෙල් මිල ඉහළ යාම ජනතාවට බලපානවා. ඒ නිසා අද ජනතාව ඉන්නෙ බලවත් පීඩාවක, අමාරුවක. ඒක ආයේ ආණ්ඩුවට ඇන ඇන කියන්න දෙයක් නෑනෙ.
2. මේ වගේ බරපතළ කුමන්ත්‍රණයක් පිළිබඳ හෙළිදරව් වෙනකොට ඒ අදාළ නායකයා තමයි ජනාධිපතිවරයා. ඒ අය මේ ගැන දැඩි ක්‍රියාමාර්ගවලට යන්න ඕන. නමුත් අපිට පේනවා එහෙම ක්‍රියාමාර්ගවලට යන ස්වභාවයක් නැහැ. මේ කුමන්ත්‍රණය සමාජය ගත්තට පාලකයන්ට ඒ කුමන්ත්‍රණය ගැන ගාණක්වත් නැත්තෙ මේ කුමන්ත්‍රණය පාලකයන් විසින් ගත්ත කුමන්ත්‍රණයක් බවටත් සැක පහළවෙනවා. රටේ හැම ක්ෂේත්‍රයක්ම කඩා වැටෙනකොට ජනතාව මේ ආණ්ඩුවට එරෙහිව කටයුතු කරයි කියන බයට අලුත් බිල්ලෙක් මවලා දෙනවද කියන ප්‍රශ්නෙත් එනවා. නැත්නම් මේ ප්‍රශ්නෙදී ආණ්ඩුව එපැයි සාමාන්‍ය ජනතාවට වඩා බයවෙන්න එහෙම බලද්දි. නැත්නම් ඉතින් ආණ්ඩුව මේකට ක්‍රියාමාර්ග ගන්න ඕන. නමුත් එහෙම දෙයක් පේන්න නැහැ.
3. ඔය පාඨලී චම්පිකලම තමයි එක වෙලාවක මේ සමාජය අවුස්සලා, සමහර අවස්ථාවල ජාතිවාදී බලවේගවලට යම් යම් නායකත්වය දීපු පිරිස්. ඒ නිසා දැන් අපිට පේනවා එක එක ජාත්‍යන්තර වුවමනාවන්වලට නැටවෙන රූකඩ බවට මේ අය පත්වෙලා තියෙනවා කියලා. රටේ නීතියක් තියෙනවා. නීතියට අනුව කටයුතු කරනවා මිසක නීතියට එහායින් කටයුතු නොකළ යුතුයි කියන ස්ථාවරයේ තමයි අපි ඉන්නෙ. නමුත් ඔය සිරගත කරලා ඉන්න අහිංසක දෙමළ ජනතාව ඉන්නව නම් ඔවුන් නිදහස් කරන්න, පුනරුත්ථාපනය කරන්න ඕන. නමුත් රටේ නීතියට අනුව කටයුතු කළ යුතුයි.
4. මෙහෙමයි. මෙවැනි ප්‍රකාශ කරන අය නම් හොඳට හුස්මගන්න බවක් අපිට පේනවා. පහුගිය දවස්වලත් මේ අය කිව්වා පහුගිය අවුරුදු තුන මේ රටේ ජනතාව හුස්මගත්ත අවුරුදු තුනක් කියලා. නමුත් පහුගිය අවුරුදු තුනේ වගේම ඉදිරියටත් මේ රටේ හුස්මගන්නෙ වෙන කවුරුත් නෙවෙයි හොරකම් කරපු උදවිය පමණයි. ඒ නිසා මේ රටට හුස්මගන්න පුළුවන් නෙවෙයි, හුස්ම හිරකරන්න තමයි මේ හදන්නෙ.
රටේ ජනතාව තවදුරටත් රවට්ටන්න බෑ
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා (ඒකාබද්ධ විපක්ෂය)
1. ඉතාමත් පැහැදිලිව කියන්න තියෙන්නෙ මේ ආණ්ඩුව ගමන් ගන්නෙ වැරදි මාර්ගයක කියන එක. මොකද, ජනතාවගේ සිතුම් පැතුම් තේරුම්ගන්නෙ නැතුව, ජනතාවගේ ජීවන තත්ත්වය තේරුම්ගන්නෙ නැතුව ආණ්ඩුව අද විවිධ ප්‍රකාශ කරනවා. ජනතාවගේ ප්‍රශ්න තේරුම්ගන්නෙ නැති නිසා ආණ්ඩුවට මේ රටේ තියෙන ප්‍රශ්න ගැන කිසිම දැක්මක් නැහැ.
2. දැනට චෝදනාව එල්ල කරපු කෙනා හඬපට සහිතව තමයි මේ චෝදනාව එල්ල කරලා තියෙන්නෙ. ආණ්ඩුව මේක සැහැල්ලුවට ගත යුතු නැහැ. මොකද, මේකෙ සාක්ෂියක් තියෙනවා කටහඬත් එක්ක. මේක රටේ ප්‍රධාන පුරවැසියා වන ජනාධිපතිතුමා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා ආණ්ඩුව මේක අනිත් ප්‍රශ්න විසඳනවා වගේ බලලා හරියන්නෙ නැහැ. මේක ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක්. ඒ නිසා ආණ්ඩුව මේ ප්‍රශ්නය ගැන හොඳට හොයලා බලන්න ඕන.
3. ඉතාමත් පැහැදිලිව ඒ යෝජනාව අපි ප්‍රතික්ෂේප කරනවා. මොකද, හමුදාව සටන් කළේ මේ රටේ සාමය ඇතිකරන්න. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සටන් කළේ වෙනම රාජ්‍යයක් ගොඩනගන්න. ඔවුන් මිලේච්ඡයි කියන එක මුළු ලෝකයම හඳුන්වලා දීලා තියෙද්දී ඒ ත්‍රස්තවාදී කටයුතු කළ අයට සමාව දෙන්න කියන මතයේ අපි කොහොමත් නැහැ. අනික මේ යුද හමුදාවයි එල්.ටී.ටී.ඊ. එකයි ගැන කරපු ඒ ප්‍රකාශය ගැන අපේ දැඩි අප්‍රසාදය පළ කරනවා.
4. දැන්නම් මම හිතන්නෙ ආණ්ඩුව ජනතාව රවට්ටලා වගේම ජනතාවත් ආණ්ඩුවට රැවටිලා ඉවරයි. තවදුරටත් ජනතාව රවට්ටන්න බැහැ කියන එක තමයි අපි කියන්නෙ.
පසුගිය රජයට බැරිවූ බොහෝ දේ අපි ඉටුකළා
- මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. නවුෆිත්
1. මේ සෑම දෙනෙක්ම බඩු මිල වැඩිවන අවස්ථාවල කෑගහනවා. උද්ඝෝෂණ කරනවා. ඒ වුණාට බඩු මිල අඩුවුණාම කවුරුත් ඒ ගැන කතා කරන්නෙ නැහැ. ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා. ඒ අය තමයි මේ විදියේ ප්‍රචාර පතුරන්නෙ.
2. ප්‍රභූ ඝාතන විතරක් නෙවෙයි, අනෙක් ඕනෑම කෙනකුට වුණත් එවැනි ඝාතන සැලසුමක් තිබුණා නම් ඒ වැඩේට සම්බන්ධ කිසිම පුද්ගලයකුට නීතියෙන් සමාවක් නැහැ. තනතුර තත්ත්වය කුමක් වුණත් නීතියට අනුව ඔවුන්ට දඬුවම් හිමිවෙයි.
3. රටේ නැවත යුද්ධයක් ඇතිවෙනවට කවුරුත් කැමති නැහැ. යුද්ධයට සම්බන්ධ සියලු දෙනා පුනරුත්ථාපනය කළ යුතුයි කියන මතයේ අපිත් ඉන්නවා. නමුත් එය නීතියට පරිබාහිරව නොකළ යුතුයි.
4. ඉතිහාසයේ කවරදාටත් වඩා සහන ලැබෙන අයවැයක් මෙවර ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. පහුගිය කිසිම රජයකට බැරිවුණු ආකාරයේ සහන අපි රජයක් විදිහට ජනතාවට ලබාදීලා තියෙනවා. ආර්ථිකය ගොඩනගමින් ජනතාවට සහන ලබාදෙන එක ගැන ඔවුන් සතුටු විය යුතුයි.
මුදල් තත්ත්වය පාලනයට ඉක්මන් පියවරක් ඕනෑ
ජාතික හෙළ උරුමය ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ
1. රුපියල ශීඝ්‍රයෙන් බාල්දුවීමට හේතු පාදක වෙලා තියෙන්නෙ දේශීය වශයෙන් ආර්ථික කළමනාකරණයේ ගැටලුවක්ම නෙවෙයි. එය ජාත්‍යන්තර මට්ටමින් සෑම රජයකම පාහේ සිදුවන දෙයක්. නමුත් අනිත් රටවලට සාපේක්ෂව ගත්තම ලංකාවේ රුපියල ඉක්මනින් බාල්දුවීමක් දැකගන්න පුළුවන්. ඉතින් අපිට මේ රුපියල ස්ථාවර කරගැනීමේ හැකියාවක් තියෙනවා. රට ඇතුළේ මේ මොහොතේ යම් ආකාරයකට ආර්ථික අවපාතයක් සහ ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා වහාම මුදල් අමාත්‍යාංශයත් ශ්‍රී ලංකා මහ බැංකුවත් මේ තත්ත්වය පාලනය කරන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒ වගේම ඒ ගන්නා විසඳුම් කිසිවක් පැලැස්තර විසඳුම් නොවිය යුතුයි.
2. ඒ නාමල් කුමාර කරපු හෙළිදරව් කිරීම තුළින් තමයි ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ තොරතුරු ආවේ. ඔහු කවර හේතුවක් මත කරුණු හෙළිකළාද කියන එක අනිවාර්යයෙන් සොයා බැලිය යුතුයි. මේක සරල කොට තැකිය යුතු නැහැ. ඉතින් මේ ගැන සොයා බැලීමේ අයිතියක් තියෙන්නෙත් අදාළ ආරක්ෂක අංශවලට. ප්‍රමාද නොවී මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්විය යුතුයි.
3. ඒක පැහැදිලිවම ජාතික හෙළ උරුමය විදියට අපේ පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශ කිරීමක්. දැන් යුද්ධය නිමාවෙලා අවුරුදු 10කට ආසන්න වෙමින් තිබෙනවා. ඉතින් තවදුරටත් මේ යුද්ධය ජයගැනීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ගවලදී ඇතිවුණු යම් යම් සිදුවීම් පදනම් කරගෙන තවමත් රටක් විදියට ඉදිරියට යන්න බැරිවෙලා තියෙනවා මේ තුවාලය පාරන නිසා. ඒ නිසා කළ යුතු වන්නේ අතීත සිදුවීම් සම්බන්ධයෙන් සියලු දෙනාටම පොදු සමාවක් ලබාදීලා ප්‍රශ්නය අපි අවසන් කර ගැනීමයි. එහෙම නැත්නම් අපිට රටක් විදියට ඉස්සරහට යන්න බැහැ.
4. ඇත්ත වශයෙන්ම අපි දැන් දිගින් දිගටම සහන ලබාදීම සඳහාම තමයි සාකච්ඡා කරන්නෙ. නමුත් රටක ආර්ථිකය ස්ථාවර කළ යුතුයි. රටේ ආර්ථිකය ස්ථාවර වීමට නම් රට ඇතුළේ ජාතික නිෂ්පාදනය ඉහළ යා යුතුයි. දැනට අපි සෑහෙන්න ප්‍රමාණයකට සුබසාධන සේවාවන් කරගෙන යනවා. නොමිලේ පාසල්පොත් ලබාදෙනවා. සමෘද්ධි සහනාධාරය ලබාදෙනවා. රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිකරනවා. ඉතින් මේ සියල්ල පවත්වාගෙන යන ගමන් තව තවත් සහන දෙනවා කියන එක ඡන්ද පොරොන්දු. ඉතින් ඒවායින් මම හිතන්නෙ නෑ රටක ආර්ථිකයට යහපතක් වෙයි කියලා. ඒ නිසා රටේ ආර්ථිකය ශක්තිමත් වෙන ආකාරයට පළමුව අප කටයුතු කළ යුතුයි.
පොදු සමාවකට වඩා අවශ්‍ය වන්නේ සැකකරුවන්ට නිදහස දීමයි
කම්කරු ජාතික පෙරමුණු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වාගනම් තිලකරාජා
1. ඔව්. ආර්ථිකයේ විතරක් නෙවෙයි, රටට හිතකර අහිතකර සෑම දෙයකදීම ආණ්ඩුව හරි පාරේ තමයි යන්නෙ. විපක්ෂයේ ඉන්න ඇතැම් අය මේ ආණ්ඩුව යන්නෙ වැරදි පාරේ කියලා ජනතාව අතරට මතයක් ගෙනිහින් තියෙනවා. නමුත් අපි රජය තුළ ඉන්න මන්ත්‍රීවරු හැටියට දන්නවා රජය දැන් නිවැරදි වැඩපිළිවෙළක් කරගෙන යන බව. විපක්ෂයේ උදවිය මොනව කිව්වත් පහුගිය රජය කාලයට වඩා මේ ආණ්ඩුව යටතේ විශේෂ සහන ලබාදීලා තියෙනවා.
2. ඕනෑම තරාතිරමක යම්කිසි අයකු මේ විදියේ දෙයක් ප්ලෑන් කරලා තියෙනවා නම් ඒක වැරදියි. තනතුර මොනව වුණත් ඒ අයට දඬුවම් පැමිණවිය යුතුයි. ආණ්ඩුව මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරලා ඉවරයි. කොහොමත් මේ සිදුවීම පිළිබඳ වන තීන්දු තීරණ ඉදිරියේදී දැනගන්න පුළුවන් වෙයි.
3. පොදු සමාවට වඩා අනිවාර්යයෙන් කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ කොටි සාමාජිකයන් ලෙස සැකකරන සුළු පිරිස නිදහස් කිරීමයි. පහුගිය කාලයේ 12000ක් විතර රිලීස් වුණා. ඒ අය හැමෝම එල්.ටී.ටී.ඊයට සම්බන්ධ අය. ඒ නිසා පහුගිය ආණ්ඩුවෙන් 12000ක් නිදහස් කරන්න පුළුවන් නම් ඇයි මේ සුළු පිරිස නිදහස් කරන්න බැරි. ඒ අය නිදහස් කළ යුතුයි කියන එක තමයි මගේ මතය.
4. හැම අවුරුද්දෙම වගේ මේ අවුරුද්දෙත් ආර්ථික වශයෙන් ජනතාවට සහන රැසක් ලබාදෙන්න මුල්තැනක් ගෙන කටයුතු කරනවා. පහුගිය රජයන්වල අයවැයවලින් සංවර්ධනයට මුදල් යොදවනවා කියලා ගසා කෑවා. නමුත් මේ රජය මගින් කරන්නෙ ජනතාවට සහන ලබාදීම පමණයි.