2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

මාසෙ පඩියෙන් කන්න පුළුවන් සති දෙකයි!

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 88

අද බොහෝ දෙනාට අත්විඳින්නට සිදුව තිබෙන හිරිහැරය වන්නේ තමන්ට ලැබෙන ආදායමෙන් ජීවත්වෙන්නට නොහැකි වීමයි. කොතරම් අරපිරිමැස්මකින් වියදම් කළත් අතට ලැබෙන මුදලට වඩා වැය පක්ෂය දිනපතා ඉහළ නගින බව ඔවුහු පවසති. ‍දෙකොණ ගැටගසා ගත නොහැකිව මහත් අමාරුවක වැටි සිටින ජනතාවට තමන්ට කොයි ලෙසකින් සහනයක් ලබාගත හැකිදැයි තේරුම්ගත නොහැකිව අන්දමන්ද වී ඇත.

රටේ මාසිකව ස්ථීර වැටුපක් ලබන අය මෙන්ම, දෛනිකව වැටුප් ලබන අයද, සතිපතා වැටුප් ගන්නා අයද සිටී. මේ හැරුණුවිට ස්වයං රුකියාවක් කර කාටවත් අත නොපා යම් ආදායමක් ලබාගන්නෝද වෙති. අද රටේ බඩුමිල ඉහළ යන හැටි බලන විට මේ සියලුදෙනාම බොහෝ සේ අමාරුවේ වැටී ඇති බව රහසක් නොවේ. ඇතැමුන් ජීවන වියදමට සරිලන වැටුප් නොලැබිම නිසා අතමාරැවට ණය මුදල් ගෙන අවශ්‍යතා ඉටුකර ගැනීමට පුරුදු වී ඇති බව පෙනේ. ඔවුහු සදාකාලිකවම ණයකරුවෝය. එක් ණයක් බේරීමට තවත් තැනකින් ණය ගැනීමට ඔවුන්ට සිදුව ඇත්තේ ලැබෙන ආදායමෙන් ජීවත්වීමට නොහැකිව තිබියදී ණය ගෙවීමට ආදායම යොදාගත නොහැකිවීම නිසාය.

අද ආණ්ඩුවටද සිදුවී ඇත්තේ මුලින් ගත් ණය පියවීමට තවත් ණය ගැනීමටය. ණයෙන් ණයට යන ආණ්ඩුව බේරාගත නොහැකි වන සේ ණය උගුලක පැටලී ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති. ආණ්ඩුව මෙන්ම ජනතාවද ණය උගුලට හසුව ඇත්තේ වෙන කරන්නට දෙයක් නොමැති නිසාමය.

එසේම රටේ බොහෝ දෙනා පුරුදුව ඇත්තේ එදිනෙදා වියදම සඳහා ක්‍රෙඩිට් කාඩ් හෙවත් ණයපත් යොදා ගැනීමටය. හතර පැත්තෙන් ණය ගැනීම වෙනුවට ක්‍රෙඩිට් කාඩ්වලින් ණය ගැනිම නම්බුකාර ණය වීමක් ලෙස ඇතැමුන් සලකන නිසා ක්‍රෙඩිට් කාඩ් ව්‍යාප්තිය ඉහළ ගොස් ඇත. 2017 වසර අවසන් වනවිට රටේ ක්‍රෙඩිට් කාඩ් භාවිත කරන පිරිස ලක්ෂ 15 ඉක්මවා තිබෙන බව සොයාගෙන ඇත. මේ වනවිට එම ප්‍රමාණය තවත් වැඩිවී ඇතැයි සිතිය හැකිය. රටේ වැඩකරන ජනතාවගෙන් සියයට 50කට වැඩි පිරිසක් තම මාසික වැටුප ඉක්මවන ලෙස ක්‍රෙඩිට් කාඩ්වලින් භාණ්ඩ මිලදී ගන්නා බව ආර්ථික සමාජ සමීක්ෂකයෝ පවසති. මෙයින් අදහස් වන්නේ ඔවුන්ට ගෙවන්නට ඇති ණය දිනපතා ඉහළ යාමය. මෙම වෙළඳ සමාගම් ඉතා විශාල පොලියක් (සියයට 24ට වැඩි) අයකරන අතර ඔවුන් නිරතුරැව උත්සාහ කරන්නේ පොලිය අයකර ගැනීමට මිස ණය මුදල අයකර ගැනීමට නොවේ. ඒ නිසා ණය මුදල දිගටම ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතී.

මාසිකව වැටුප් ලබන අයට එක්තරා ස්ථාවර ආදායම් මාර්ගයක් තිබේ. මේ මාසයේ මගේ වැටුප මෙපමණයැයි ඔවුහු කල් තියා දනිති. ඒ නිසා අමාරුවෙන් හෝ එයට හැඩ ගැසීමට උත්සාහ කරති. එහෙත් ලක්ෂ 14ක් වූ රාජ්‍ය සේවකයන්ද ලක්ෂ 25ක් පමණ වන පෞද්ගලික අංශයේ සේවකයන්ද හැරුණු විට දෙකෝටියකට අධික රටේ ජනගහණයෙන් වැඩි දෙනා ස්ථීර ආදායම් මාර්ගයක් නැති අයය. ඔවුහු දෛනිකව සේවය කරමින් වැටුප් ලබති. අද වැඩ කළොත් අද වැටුප් ලැබෙන අතර හෙට වැඩ ලැබේදැයි විශ්වාසයක් නොමැත. ඒ නිසා හෙට දවස ඔවුන්ට අවිනිශ්චිතය. රැකියාව නොලැබුණහොත් හෙට යැපෙන්නට සිද්ධවෙන්නේ අද ලැබූ ආදායමෙනි. මෙය දිගටම කළ නොහැක. දින කිහිපයක් වැඩ ලැබුණොත් නිරාහාරව සිටීමට සිදුවේ. එසේම ජනතාවට ලැබෙන ආදායම ආහාර සඳහා පමණක් වැය කළ නොහැකිය. ආහාරවලට අමතරව බෙහෙත් හේත්, ඇඳුම් පැළඳුම්, ගෙවල් කුලී, අධ්‍යාපන, සමාජ කටයුතු ආදී ක්ෂේත්‍ර ගණනාවක් සඳහා වැයකළ යුතුය. එම වැය ආහාරවලට වියදම් වන මුදලට අධිකය.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අලුත්ම වාර්තාව අනුව හතර දෙනකුගෙන් යුත් පවුලක මාසික වියදම රැපියල් පනස් දහසට වැඩිය. එහෙත් මාසික ආදායම රැපියල් පනස් දහස ඉක්මවා ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද?

ස්ථීර මාසික වැටුප් ලබන පිරිසට භාණ්ඩ හා සේවා මිල වැඩිවන විට තම වැටුප ඉහළ නංවා ගැනීම සඳහා රජයට සහ හාම්පුතුන්ට බලපෑම් කළ හැකිය. වැඩවර්ජන ආදී වෘත්තීය ක්‍රියාමාර්ගවලට යාමට පුළුවන. එවිට ඉල්ලන ප්‍රමාණයෙන් සුළු කොටසක් හෝ වැටුප් හා දීමනා වැඩි කිරීමට හාම්පුතුන්ට සිදුවනු ඇත. එහෙත් දෛනිකව කුලී වැඩවල යෙදී ආදායම් ලබන අයට හා ස්වයංරැකියා කර්මාන්ත හා ව්‍යාපාර කටයුතුවල නිරතවන සුළු ව්‍යවසායකයන්ට එසේ තම ආදායම වැඩිකර ගැනීමට නුපුළුවන. ඔවුන්ට සිදුව ඇත්තේ පටි තදකර ගැනීමටය. තුන් වේල දෙවේලක් බවට පත්කර ගැනීමටය. තම සෙසු අවශ්‍යතා කප්පාදු කර ගැනීමටය. එහෙත් මේ තත්ත්වය දිගටම කළ හැකි නොවේ. මෙයට ප්‍රතිකර්මයක් තිබිය යුතුය. තම ජීවන තත්ත්වය යම්තම් හෝ පවත්වාගෙන යාමට නම් ආදායම වැඩිකරගත යුතුය. එහෙත් ඒ සඳහා විකල්පයක් ඔවුනට නැත.

ජනතාවගේ ආදායම් මාර්ග පහළ වැටෙන අතරම රටේ භාණ්ඩ හා සේවා මිල ඉහළයාම ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇනීමක් බවට පත්ව තිබේ. අන් කවරදාකවත් නොමැති වූ ලෙසට පසුගිය වසර දෙක තුන තුළ රටේ භාණ්ඩ හා සේවා මිල ඉහළ ගොස් ඇත.

පසුගිය සතියේ පැවැති ජීවන වියදම් කමිටුවේදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඇතැම් භාණ්ඩ මිල සූත්‍රවලින් වැඩි කළද රටේ බඩුමිල වැඩිවන්නේ සූත්‍රවලින් නොවන බවය. මෙයින් අදහස් වන්නේ ඇතැම් භාණ්ඩවල මිල වැඩිකිරීමට මිල සූත්‍ර උපයෝගී කර ගත්තද, බොහෝ වෙනත් භාණ්ඩවල මිල කිසිදු හේතුවකින් හෝ පාලනයකින් තොරව වැඩිවන බවය. ප්‍රධාන භාණ්ඩයක මිල රජය මගින් වැඩි කරන්නේ යම් හේතුවක් පැවසීම නිසා විය හැකිය. ලෝක වෙළඳ පොළේ මිල වැඩිවීම. රුපියලේ අගය අවප්‍රමාණය වීම ආදී විවිධ හේතු ආණ්ඩුව සහ නිෂ්පාදකයන් මිල ඉහළ නැංවීමේදී ඉදිරිපත් කරයි. එහෙත් එක් භාණ්ඩයක මිල වැඩිකළ විට ඒ සමඟ වෙනත් භාණ්ඩ රාශියක මිල විශාල ලෙස වැඩිවන නමුත් එයට සාධාරණ හේතු ඉදිරිපත් කළ නොහැකිය.

උදාහරණයක් වශයෙන් කිවහොත් පසුගිය අගෝස්තු මස 25 වැනිදා ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 158කින් වැඩිවූ විට බත් පාර්සලයේ, ආප්පයේ, තේ කෝප්පයේ මිල වැඩිවූයේ එයට සමානුපාතිකව නොවේ. එසේම පසුගිය සඳුදා (17) මධ්‍යම රාත්‍රියේ සිට යළිත් වරක් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 190කින් ඉහළ නංවා ඇත. මේ හේතුවෙන් නැවත වරක් ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යනු ඇත.

සීනි කිලෝවකට රුපියල් 18ක බද්දක් එකතු කිරීම හා ඩොලරයේ අගය ඉහළ යාම නිසා සීනිවල තොග මිල රුපියල් 15කින් ඉහළ දැමීමට සිදුවූ බව සීනි ආනයනකරැවන්ගේ සංගමය කියයි. මෙයට පෙර සීනිවලට වැදුණු මුළු බද්ද කිලෝවට රුපියල් 31 වූ අතර අද වනවිට රුපියල් 49.50ක් බදු අය කෙරේ. මේ නිසා සීනි කිලෝවක තොග මිල රුපියල් 110ක් පමණ වනු ඇති බව සීනි ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති පරාක්‍රම අබේසේකර කියයි. සිල්ලර මිල කිලෝව රුපියල් 130 ඉක්මවා යා හැකි බව ඔහුගේ අදහසය. සීනි මිල ඉහළ යන බව සැලවූ සැණෙන් ඇතැම් පළාත්වල තේ කොප්පයේ මිල රුපියල් 25 දක්වාද, කිරි තේ කෝප්පය රුපියල් 50 දක්වාද වැඩිවූ බව වාර්තා වේ.

එසේම ඉන්ධන මිල විටින් විට වැඩිවීම ප්‍රවාහන ගාස්තු මෙන්ම ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල කෙරෙහිද ඉතාම අහිතකරව බලපායි. මසක් ඇතුළත බස්ගාස්තු යළිත් සියයට 4කින් ඉහළ දමා තිබේ. මෙයට පෙර සියයට 10කින් පමණ ඉහළ ගියේය. ඉන්ධන මිල ඉහළ නැංවීම නිසා ත්‍රිරෝද රථ ගාස්තු, ලොරි ගාස්තු, පාසල් වෑන්රථ ගාස්තු ආදී නොයෙක් අංශවල මිල වැඩිවෙමින් පවතී. සාමාන්‍ය ජනතාවගේ ජීවන වියදම ඉහළ ගොස් ඔවුන් දැඩි පීඩනයකට පත් කිරීමට මෙම තත්ත්වය හේතු වී ඇත. මෙහිදීද මාසික වැටුප් ලබන මධ්‍යම පාංතිකයන් මෙන්ම දෛනිකව ආදායම් ලබන සාමාන්‍ය ජනතාව විශාල හිරිහැරයකට ලක්ව සිටී.

පසුගිය මාසය අවසානයේදී ප්‍රීමා සමාගම හිතුවක්කාර ලෙස තිරිඟු පිටි කිලෝව රුපියල් 5කින් ඉහළ නැංවූ විට වගකිවයුත්තෝ නෑසුණු කන් ඇතිව සිටියහ. එහෙත් පසුගිය 16දා නින්දෙන් පිබිදුණු කලක මෙන් වාණිජ හා කර්මාන්ත ඇමැති රිෂාඩ් බදියුදීන් තිරිඟු පිටිවලට වැඩිකළ රුපියල් 5 යළි බැස්සීමට නියෝග කර ඇත. මෙය සිදුවූයේ ජීවන වියදම් කමිටුවේදී ජනාධිපතිවරයා සහ ඇමැතිවරුන් කිහිප දෙනෙක් වාණිජ ඇමැතිවරයාට චෝදනා කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. එසේ නොකළා නම් ඇමැතිවරයාට තවමත් කන් නොඇසෙන්නට ඉඩ තිබුණි. පිටි කිලෝවක සිල්ලර මිල කිලෝව රැපියල් 87ක් විය යුතු බවට පාරිභෝගික සේවා අධිකාරිය මේ වනවිට නියමකර ඇති අතර එයට වඩා වැඩිමිලට විකුණන වෙළෙඳුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද පවසා තිබේ.

එසේ වුවද පිටි කිලෝවක මිල අඩු වූ බවක් මේ ලියන මොහොත දක්වා පෙනෙන්නට නැත. තිරිඟු පිටි මිල වැඩිවූ ඇසිල්ලේ සිටම පාන්, බනිස්, කෙටිකෑම, බිස්කට් ආදී ආහාර ද්‍රව්‍යවල මිල රුපියල් පහේ සිට ඉහළට වැඩිවූ නමුත් තවමත් ඒ මිල අඩුව නැත. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන අකැමැත්තෙන් නමුදු පාන් ගෙඩියක වැඩිකළ රුපියල් පහේ මිල බස්සන බව පැවසුවද එය නිසි ලෙස ක්‍රියාත්මක වේදැයි සැකසහිතය. එයට හේතුව අප රටේ මිල ඉහළට එසවෙන කිසිදු භාණ්ඩයක ආපසු මිල අඩුවීම කලාතුරකින් සිදුවන නිසාය.

එසේම කිරිපිටි කිලෝවක පැකැට්ටුව රුපියල් 25කින් මිල පහළ දැමුවද තවමත් වෙළෙඳපොළට ඒ මිල අඩුව බලපා නැත. වෙළෙඳුන් පවසනුයේ තමන් ළඟ ඇත්තේ වැඩිමිලට ගත් කිරිපිටි නිසා ඒවා අවසන් වනතුරු මිල අඩුකළ නොහැකි බවය. බඩුමිල පහළ දමා ජනතාවට සහන සැලසීමේ වගකීම උසුලන විවිධ ආයතනවල රාජකාරි පිළිබඳ ජනතාවට සෑහීමකට පත්විය නොහැක. ඔවුහු නිද්‍රාශීලීව සිටිති. අවදි කළ පසු ඇස් හැර බලා යළිත් නින්දට යති. පොදු ජනතාවට සිදුවන යහපතක් නොමැත. මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ ලෝක වෙළෙඳ පොළේ කිරිපිටි මිල අනුව අපේ මිල දෙගුණයකින් පහළ දැමිය හැකි වුවත් ආණ්ඩුව විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා ඒ වාසිය ලබාගත් බවයි. කෙසේ වුවද දිගටම සිදුවන භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම අවසන් වන පාටක් නැත. අඛණ්ඩව මිල වැඩිවේ. හේතු ඇතිව හෝ නැති හේතු පෙන්වමින් හෝ මිල මට්ටම ඉහළ යයි.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මෑතකදී නිකුත් කළ දරිද්‍රතාව ගණනය කිරීමේ දත්ත අනුව 2018 අප්‍රියෙල් මාසය වනවිට මාසිකව රුපියල් 4532ක් වියදම් කළ නොහැකි නම් ඒ අය දරිද්‍රතාවයෙන් පෙළෙන අයකු ලෙස සලකා තිබේ. ඒ අනුව රටේ ජනගහණයෙන් සියයට 4.1ක් දුප්පතුන් ලෙස ප්‍රකාශ කර ඇත. එහෙත් සත්‍ය තත්ත්වය නම් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන කෙසේ වෙතත් දිළින්දන්ගේ සංඛ්‍යාව මෙයට වැඩිවිය යුතු බවය.

අද රජයේ සේවකයකුගේ අවම මාසික වැටුප රුපියල් 21,000කට මඳක් වැඩිවේ. පෞද්ගලික අංශයේ වැටුප මෙයට වඩා අඩුය. පෞද්ගලික ව්‍යවසායකයන්ගේ ආදායම පහළ යයි. රටේ බඩුමිල වැඩිවන වේගයට අලගු තබන්නටවත් ජනතාවගේ ආදායම වැඩි නොවේ. මෙම වාතාවරණය මත ජනතාව අපහසුවෙන් දිවි ගෙවන බව සනාථ කිරීමට තර්ක විතර්ක අවශ්‍ය නැත. ජීවන වියදම් ගැටලුව විසඳීම සඳහා ගතයුතු විකල්ප දෙකකි. එකක් ආදායම වැඩි කිරීමය. අනෙක භාණ්ඩ හා සේවා මිල අඩුකිරීමය. එහෙත් මේ දෙකම ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගිකව හැකියාවක් නැත. වර්තමාන ආණ්ඩුවේ හෝ මතු බලයට පත්වන කිසිදු ආණ්ඩුවකට මේ සඳහා සැලසුමක් ඇතැයි සිතිය නොහැකිය. මෙය විශාල ඛේදවාචකයකි. සුපිරි ධනපතියන් කිහිප දෙනා හැරුණු විට වැඩි ජනතාවට සිදුව ඇත්තේ අපි කන හැටි ලිපා දනී යැයි කියමින් දුෂ්කර ක්‍රියා කිරීමටය.

 යසවර්ධන රුද්රිගු