
“වැස්ස ඕන වෙලාවට නෑනේ. වහින කොට වහිනවා ගංවතුර ගලන්න. පායන කොට ආයේ වැව් හිඳෙන්නම පායනවා. එතකොට නියඟේ” මේ සිතුවිල්ල ජීවිතයේ එක් වරක් හෝ සිතා ඇති කියා ඇති කෙනෙක් නැති තරම්ය. ඕනෑ වෙලාවට වැස්ස වස්ස ගන්න තිබුණා නම් කොතරම් අපූරුද? ලංකා විදුලිබල මණ්ඩලය එවන් කටයුත්තකට අතගසා තිබේ.
මෙරට වාර්ෂක විදුලි අවශ්‍යතාවයෙන් සීයට 30ක් 35ක් පමණ ජලවිදුලිය බලාගාරවලින් සම්පූර්ණ වෙයි. ඉතිරිය තාප විදුලි බලාගාරවලින් ලබා ගැනීමට කටයුතු කරන අතර එය පිරිවැය අධික කටයුත්තකි. ජල විදුලිය ලාභදායී වෙයි. එහෙත් නිසි කලට වැසි නොමැති වීම හේතුවෙන් ජල විදුලිය උත්පාදනයේදී ගැටලු මතුවෙයි. උදාහරණයක් ලෙස 2017 වර්ෂයේදී ප්‍රධාන ජලවිදුලි බලාගාරවලින් ලැබුණු දායකත්වය සියයට 21 පමණ වූ අතර කුඩා ජල විදුලි බලාගාරද ඇතුළුව එම අගය සියයට 27ක් පමණ විය. පසුගිය වසරේ දිවයිනේ අවශ්‍ය පෝෂක ප්‍රදේශවලට වැසි අඩුවීම මෙයට හේතුවිය. පසුගිය වසරේ රුපියල් මිලියන හතළිස් නව දහසක පරතරයක් ආදායම හා වියදම අතර නිර්මාණය වීමට මූලික හේතුව වූයේද එයයි.
කලක පටන් කෘත්‍රිමව වැසි ඇති කිරීමේ ක්‍රමවේදයක් පිළිබඳව අවධානය විදුලි මණ්ඩලය යොමුකර තිබුණේ ජල විදුලිය නිෂ්පාදනය සම්බන්ධයෙනි. ලෝකය තුළ මෙම තාක්ෂණය භාවිතයෙන් වැසි ඇති කිරීමට තායිලන්තය, චීනය, ඕස්ට්‍රේලියාව කටයුතු කරයි. ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා තායිලන්ත රජයෙන් මේ සඳහා ආධාර ලබා ගැනීමට විදුලිබල අමාත්‍යාංශය කටයුතු කර ඇත.
තායිලන්තයේ වැසි ඇති කිරීමේ දෙපාර්තමේන්තුව මෙරට සමඟ අතවැල් බැඳගන්නේ මේ අනුවය. එහෙත් මෙරට කෘත්‍රීම වැසි ඇති කිරීමට තායිලන්තය මැදිහත් වන පළමු අවස්ථාව මෙය නොවේ. 1981 ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේද මාවුස්සාකැලේ ජලාශය ආශ්‍රිතව වැසි ඇති කිරීමට කටයුතු කර ඇත. එම ප්‍රදේශවල ජනයා අතර එම සිදුවීම පිළිබඳව තවමත් අපූරු මතක ඇතැයි කියැවේ.
ඒ කාලේ පටන් වැසි ඇති කිරීම සම්බන්ධව ඇතිව තිබූ හිතවත්කම සමඟම තායිලන්තය මෙරටට සහාය දීමට බොහෝ කැමැත්තෙන් ඉදිරිපත් වූ බව විදුලිබල අමාත්‍යාංශය පවසයි. කෙසේ වෙතත් තායිලන්තය 1960 පමණ සිට මෙම තාක්ෂණය දියුණු කරගෙන පැමිණ තිබේ. ඒ අනුව ඔවුන් වැසි ඇති කිරීමේ ප්‍රවීණයන්ය. පසුගිය පෙබරවාරියේ ලංකාව තුළ මෙම කටයුත්ත සාර්ථක වේදැයි නිරීක්ෂණය කිරීම සඳහා තායිලන්තයේ වැසි ඇති කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු නියෝජිතයන් පිරිසක් මෙරට පැමිණ තිබේ. ඔවුන් සිය අධ්‍යනය සිදුකර විදුලිබල මණ්ඩලය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, ගුවන් හමුදාව ඇතුළු ආයතන සමඟ තොරතුරු හුවමාරු කරගෙන තිබේ. අවසානයේදී වැසි ඇති කිරීමේ කටයුත්ත මෙරට සිදුකළ හැකි බව ඔවුන්ගේ නිගමනය විය.
මෙහිදී භාවිතා වන තාක්ෂණය රසායන ප්‍රතික්‍රියාවකි. වියළි අයිස්, සෝඩියම් ක්ලෝරයිඩ් ඇතුළු රසායන ද්‍රව්‍ය මෙහිදී භාවිතයට ගනී. ගුවන් යානා මඟින් මෙම රසායන ද්‍රව්‍ය වලාකුළුවලට ඉසීමක් සිදුකරයි. සුළඟේ වේගය ආදීය පිළිබඳව සැලකිලිමත් වෙමින් වලාකුළු ඝනත්වය වැඩිකිරීම සිදුකර වැසි ඇති කරනු ලබයි. මෙය කෘත්‍රිම වැස්සකටත් වඩා වැසි ඇති කිරීමේ උපක්‍රමයක් ලෙස හැඳින්වීම සුදුසය.
මෙම කටයුත්තේ පාරිසරික සාමාජීය බලපෑම සොයාබැලීම වටී. ඒ පිළිබඳව සොයා බැලීමට අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබේ. ඒ සඳහා අදාළ ආයතනවල ප්‍රධානීන් මහාචාර්යවරුන් ආදී පිරිස් ඇතුළත්ය. මෙම පිරිස පසුගිය ජූලි මාසයේදී තායිලන්තයේ සංචාරය කර ව්‍යාපෘතිය ප්‍රායෝගිකව අධ්‍යනය කර ඇත. ඒ අනුව ඔවුන්ගේ නිර්දේශ හා අනුමැතිය මේ සඳහා ලැබිණි.
මෙහි නියමු ව්‍යාපෘති ඇරඹෙන්නේ ලබන මාසයේදීය. ඒ සඳහා තායිලන්තය විශේෂඥයන් මෙරටට පැමිණෙනු ඇත. කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශ ආශ්‍රිතව කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ. ගුවන් හමුදාවට අයත් යානාවලින් නියමු ව්‍යාපෘතියේදී වළාකුළු වෙත අදාළ රසායනයන් එක්කිරීම සිදුකෙරෙනු ඇත. එහෙත් මෙය සාර්ථක ප්‍රතිඵල ඇති කිරීමට සමත් වුවහොත් ගුවන් යානා ලබාගැනීම හෝ අවශ්‍ය පරිදි සකස් කිරීම විදුලිබල මණ්ඩලයේ බලාපොරොත්තුවයි.
මේ සඳහා පිරිවැය විදුලිබල මණ්ඩලය විසින් දරන බව ඔවුන් පවසයි. මෙම කටයුත්ත සාර්ථක වුවහොත් ජලවිදුලි ක්ෂේත්‍රයේ නව වෙනසක් සිදුවනු ඇත. ලාභය විදුලිබල මණ්ඩලයට මෙන්ම පාරිභෝගිකයන් වන අප හැමදෙනාටම හිමිවනු ඇත. එහෙත් ස්වභාවධර්මයා සමඟ ගනුදෙනුව පරිස්සමින් සිදුකළ යුත්තක් බවත් අවසාන වශයෙන් සටහන් කර තබමු.
♦ චමිඳු නිසල් ද සිල්වා