
වින්නඹු අම්මා ඒ කාලේ ගමේ කාටත් නැතුවම බැරි කෙනෙක්. දරුවෙක් කිසිම උපද්‍රවයක් නැතුව මෙලොවට බිහිකරන ඇයගෙන් සිදුවෙච්ච සේවය ඉතාම ඉහළයි. වින්නඹු අම්මා ගමේ හැම දරුවෙකුගෙම අම්ම කෙනෙක් වුණා.
ඒ කාලේ අපේ ගමේ හිටපු වින්නඹු අම්මගේ නම බබා නෝනා. බබා නෝනා කියන නම එයාට හොඳටම ගැලපුණේ එයා ගමේ බබාලව මව්කුසෙන් එළියට ගන්ඩ මහන්සි වෙච්ච හින්දයි. බබා අම්මට මේ දස්සකම කරන්ඩ පුළුවන් වුණේ එයාගෙ පළපුරුද්ද වගේම අත්ගුණයක් තිබුණු හින්දා කියලයි හැමෝම කියන්නෙ. “මේ මගේ අත්දෙකෙන් එළියට ගත්ත දෙසිය වැනි කිරිසප්පයා.” බබා අම්ම තමන්ගෙ දස්සකම ගැන පුරාජේරු කතා කළේ එහෙමයි. ඇය වින්නඹුකම් කරන්ඩ ගිහිල්ල මිය ඇදිච්ච දරුවෙක් ගැන නම් ආරංචියක් තිබුණේ නැහැ. එයාගෙ වැඩේ කිරිගහට ඇන්න වාගේ හරියන බවයි කාගෙත් විශ්වාසය තිබ්බේ.
ඇගේ නිල ඇඳුම වුණේ හැට්ටෙයි, චීත්ත රෙද්දයි, පන්මල්ලයි. පන්මල්ලෙ තමා ඕනෑ කරන අඩුම කුඩුම, අත්බේත්, බේත් කල්ක වගේ දේවල් හා ආයුධ අරගෙන ගියේ. ඒත් ඒවා පාවිච්චි කරන්න සිද්ධ වුණේ බොහෝම කලාතුරකින්. තමන්ගෙ අත්දෙකෙන් විලි වේදනාවෙන් මොර දෙන අම්මගෙ කුස ඇල්ලූ හැටියේම වක්කඩ කඩාගෙන වතුර පාර එනවා වගේ කිරිකැටියා තමුන්ගෙ දෝතට බිහිවුණු වග තමයි ඇය කිව්වේ.
බබා වින්නඹු අම්ම බබෙක් හම්බවෙන්ඩ ඉන්න ගෙදරට ගොඩ වුණේ බඩේ රුදාව හැදුණය කියන ආරංචියට විතරක් නෙමෙයි. ඉස්සර අම්මලා දැන් වාගේ දරුවා බඩට ආවට පස්සෙ මාස් ගණන් ක්ලිනික්වලට බඩ ගෑවේ නැහැ. හුණ්ඩු ගණන් පෙති ගිල්ලේ නැහැ. ප්‍රෙසර් බැලුවේ, ස්කෑන් කරලා දරුවා මොකාද කියලා බැලුවේ නැහැ. මොකා වුණත් ඉක්මනින් බරෙන් නිදහස් වෙන්ඩයි ඕනෑ වුණේ.
තමුන් අතින් ලෝකෙට බිහිකරපු කිරිසප්පයා හොඳ සනීපෙට ඉන්නව දැකිල්ල තරම් තවත් සතුටක් ඇයට තිබ්බෙ නැහැ
ගමේ කොයි කොයි ගෙවල්වල ගෑනුන්ට දරුවො ලැබෙන්ඩ ඉන්නවද කියලා ඇය ඉවෙන් වාගේ දන්නවා. බඩට මාස දෙක තුනක් වුණ කාලෙ ඉදල ගෙවල්වලට හක්වලං කරන වින්නඹු අම්මා ඕනෑ කරන ගුරුහරුකං දෙනවා. ගිනියම් කෑම, ඇඹුල් කෑම, මිරිස් වැඩි කෑම වැඩිය කන්න එපාය කියල උපදෙස් දුන්නා. එදා ගමේ අම්මලා මිරිස් ඇඹරිල්ල, පිටිකෙටිල්ල, පොල් ගෑම, ගිනි මෙලවිල්ල වගේ තමුන්ගේ දිනපතා වැඩ කටයුතු ඒ හැටියටම කරපු හින්දා අද වගේ ව්‍යායාම කරන්ඩ ඕනෑ වුණේ නැහැ. ඒ වගේම අම්මලට අද වගේ ප්‍රෙෂර්, ඩයබැටික්, කොලොස්ටොයිල් වගේ කරුම ලෙඩ තිබ්බේ නැහැ.
බඩදරු අම්මා පරීක්ෂා කරපු බබා අම්මා දරුව බඩේ හරියට පිහිටලා තියෙනවද කියලා බලනවා. දරුවා වැරදි හැටියට හැරිලා තිබුණොත් තම අත්දෙක පාවිච්චි කරලා දරුවා නියම විදියට හරිගස්සන්න වින්නඹු අම්මා දස්සයි.
අම්මට දින ගණන් ළංවෙන කොට ගෙදර මනුස්සයා ගොයිතැන් වැඩට, රෑ පැල් රැකිල්ලට යන්නෙ නැතුව අම්ම ළඟට වෙලා හිටියෙ යම්තම් හරි අමාරුවක් හැදුණු ගමන් බබානෝනා වින්නඹු අම්ම එක්කර ගෙන එන්න පිටත් වෙන්න බලාගෙනයි. පණිවුඩේ ගෙනාපු කෙනාත් එක්ක ඇය ගමේ නියරවල් දිගේ අඩි පාරවල් දිගේ හනි හනික පයිංම තමා ආවේ.
ඉස්සර ගෙවල්වල වැඩිපුර කාමර තිබුණෙ නැති හන්දා අම්මා හිටින පැත්ත රෙදිවලින් කොටු කරලා තමයි තිබ්බේ. වින්නඹු අම්මා ආපු ගමන් එතැන එයාට බාර දෙන ගෙදර ඈයෝ එළියට වෙලා ඇතුළෙ මොනවද වෙන්නෙ කියලා විපරමින් බලං හිටියා.
තිරරෙදි අස්සෙන් දරුවගෙ මුල්ම හැඬුම එන්න වැඩිවෙලාවක් ගියේ නැහැ. බලාහිටිය හැමෝගෙම මූණු සතුටෙන් පිරිල ගියා. තව ටික වෙලාවයි ගෙවුණේ.
“මෙන්න ගුණේරිස් උඹට කුළුදුලේම සරමක්.”
මෙහෙම කියමින් දරුවා දෝතින් ඔසවා ගෙන එන වින්නඹු අම්මා දරුවා තාත්තට පිරිනමන්නෙ මහ දස්සකමක් කළා වාගෙයි.
කලාතුරකින් අම්ම කෙනෙකුට දරුවෙක් හම්බවෙන්ඩ ටිකක් අමාරු වුණොත් දරුවා පහසුවෙන් එළියට ගන්න ක්‍රම සහ විධි දැනගෙන හිටිය හින්දා ඒකාලේ දරුවෙක් හම්බවෙන්ඩ අම්ම කෙනෙක් ඉස්පිටිතාලෙකට එක්ක යන්න ඕනෑ වුණේ නැහැ.
දරුවා හම්බවෙච්ච වෙලාවත් හරියට ලියාගෙන වේලපත්කඩේ හදන්න දෛවඥයට දුන්නෙත් වින්නඹු අම්මම තමයි. හැම ගෙදරම ඔරලෝසු තිබුණෙ නැති හින්දා ගෙයි ඉස්සරහ තිබිච්ච කෙහෙල් පැළයක කඳ දෙකට මැද්දෙන් කපලා ගොබේ එළියට ඇදෙන්න ගතවෙන වෙලාව අනුව බිහිවෙච්ච වෙලාව හදාගන්න සිද්ධ වුණා.
අද ඉන්න වින්නඹු මාතාවො - පවුල් සෞඛ්‍ය සේවිකාවො වගේ ආණ්ඩුවෙ පඩි හම්බවෙච්ච රස්සාවක් නෙමෙයි මේක. සියයට සීයයක්ම ස්වේච්ඡාවෙන් කරපු සේවයක්. ඇය කළ සේවය සල්ලිවලින් මනින්ඩ කවුරුත් ගියේ නැහැ. ඒ වුණාට දරුවා ඉපදිලා ටිකක් කලකින් තෑගි බෝග අරගෙන වින්නඹු අම්ම බැහැදකින්න දෙන්න දෙමාල්ලො ගියේ බොහෝම සතුටෙන්. තමුන් අතින් ලෝකෙට බිහිකරපු කිරිසප්පයා හොඳ සනීපෙට ඉන්නව දැකිල්ල තරම් තවත් සතුටක් ඇයට තිබ්බෙ නැහැ.
►යසවර්ධන