
බුද්ධ ප්‍රතිමාවට සහ බුදු දහමට අගෞරව වන පරිදි යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සිදුකරමින් දේවාලයක් පවත්වාගෙන යන කපුවකු පිළිබඳ වීඩියෝ දර්ශනයක් සමාජජාලා වෙබ් අඩවිවල සංසරණය වෙමින් පැවතිණි. ආගම දහමට අපහාස වන අයුරෙන් ක්‍රියාකරන කපුවා විල්ගමුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ ශීර්ෂය කඩාදමන ලද බුද්ධ ප්‍රතිමා රැසක්ද සමඟය. සිදුවීම පිළිබඳ විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මිත්‍යා මත හා විශ්වාස පසුපස යන්නන්ට පාඩමකි.
“අපේ ගමේ විශ්වාස කරන්න බැරි දේවාලයක් තියෙනවා. ගමේ කවුරුත් දේවාලයේ පූජාවකට ගිහින් නෑ.... නමුත් තරුණයෝ ළමයි කීප දෙනෙක් මේවා දැකලා තියෙනවා. එතනට එන්නේ පිට පළාත්වල මිනිස්සු. ආරංචියේ විදිහට බුදුපිළිමවල ශීර්ෂය කඩුවකින් කපනවාලු. ඊට පස්සේ සිවුරු රෙදි ඉරලා විනාශ කරනවාලු. බුදු දහමට අපහාස කරන මේ දේවාලෙ මොකද්ද බලන්න...”
විල්ගමුව, ගුරුවෙල මාරක, ගඟේ යාය ප්‍රදේශයේ පවත්වාගෙන යන බව කියන බුදු දහමට නිගා කරන දේවාලය පිළිබඳව මෙසේ තොරතුරු දන්වා තිබුණේ ප්‍රදේශවාසීන් පිරිසක් විසිනි. විටින් විට මේ හා සමාන තොරතුරු කියමින් විල්ගමුව පොලීසියට වාර්තා කළ කරුණු අනුව ඒ පිළිබඳ විමර්ශනයක නියැලෙන්නට පොලිස් ස්ථානාධිපතිවරයා තීරණය කළේය.

මේ අතරතුර දේවාලයේ සිදුකෙරෙන ක්‍රියාවක් පිළිබඳ වීඩියෝ පටයක් මුහුණුපොත ඔස්සේ ප්‍රචාරය කර තිබුණේ අදාළ සිදුවීමට එරෙහි වූ පුද්ගලයෙක් විසිනි. එහි දර්ශනයට අනුව ගඩොල් බිත්තිවලින් ඉදිකළ කුඩා කාමරයකි. එහි දොරකඩ සිටින කපුවා යමක් එකදිගට කියමින් සිටී. ඔහුගේ එක් පාදයකින් පාගාගෙන ඇත්තේ අඟල් 12ක් තරම් උස බුද්ධ ප්රතිමාවකි. ඔහු අත වූ මන්නා පිහියකින් පෙර කී බුද්ධ ප්‍රතිමාවේ ශීර්ෂය ගෙල පිහිටි ස්ථානයෙන් සිඳදැමීම ඊළඟට සිදුවන්නකි.
මේ ආකාරයට සිදුකෙරෙන පහත් පෙළේ දේවාල ක්‍රමය පිළිබඳ වීඩියෝව අන්තර්ජාලයේ සංසරණය වෙද්දී ත්‍රෛයිනිකායික භික්ෂු බල මණ්ඩලයේ විල්ගමුව සභාපති කරවුගහ පඤ්ඤාසාර හිමියන් සමඟ විල්ගමුව, මාරක, ගඟේයාය ප්‍රදේශවාසීහු එක්රැස් වූහ. ඔවුනගේ මැදිහත්වීම මත තොරතුරු විල්ගමුව පොලීසියට දන්වා අදාළ කපුවා අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකාර තිබුණි.
මාරක, ගඟේයාය ගම්මානය මැදින් ඇති වැලිපාර කෙළවරේ වෙන්කරන ලද කුඩා ඉඩම් කොටසකි. ප්‍රමාණයෙන් පර්චස් පහක් තරම් එහි ඉදිකළ කුඩා ප්‍රමාණයක කුටියකි. පෙර සඳහන් කළ දේවාලය එයයි. කුටිය ඇතුළත සමන් දේව ප්‍රතිමාවක් හා එහි පින්තූර කීපයකි. ඒවා ඉදිරිපිට දැල්වූ පහන් කිහිපයක් තිර රෙදි කිහිපයක් හැර වෙනත් යමක් එහි නොවීය. එහෙත් පසෙක දකින්නට ලැබුණේ අඟල් 12ක් තරම් උස බුද්ධ ප්‍රතිමා විශාල ප්‍රමාණයක ශීර්ෂය කඩා දමා එක ගොඩකට දමා ඇති බවය. එහිම ඉරා දමන ලද සිවුරු කීපයක් විසිකර දමා ඇති බවය.
“ඕනෑම ලෙඩක් හොඳ කරනවා. ඕනෑම කරදරයක් නැති කරනවා. මේ දේවාලයෙන් කරන්න බැරි දෙයක් මට නෑ. මම දේවාලය කරගෙන ගියාට දිෂ්ඨි වැටුණාම කරන දේ මම දන්නේ නෑ. මගේ මියගිය මාමා තමයි මට මේ වරම දීලා තියෙන්නේ.”
බුදු දහමට නිගා කරමින් පවත්වාගෙන යන දේවාලයේ කපුවා ඔහු හා දේවාලය පිළිබඳව පොලීසියට කියා ඇත්තේ එසේය.
වැඩිදුරටත් පවසා තිබුණේ දේවාලයේ සිදුකරන ශාන්තිකර්ම හෝ පූජා සඳහා නිශ්චිත අයකිරීමක් නොමැති බවය. ඔහුගේ සේවය අපේක්ෂාවෙන් එන පිරිසට ඔහු කියා ඇත්තේ කැමති මුදලක් ලබාදෙන ලෙසය. ඒ අනුව අතමිට සරු උදවිය යහමින් මුදල් පරිත්‍යාග කර ඇති බවත් සාමාන්‍ය ජනතාව හැකි පමණ ආධාර ලබාදී තිබෙන බවත් ඔහු පවසා තිබේ. ඇතැමුන්ගේ බලාපොරොත්තු ඉටු වී තිබෙන අතර එවැනි උදවිය නැවත මුදල් ආධාර ලබාදී තිබෙන බවද කපුවා පවසා ඇත. රැස් වූ මුදලින් දේවාලය ඉදිකරගෙන තිබෙන බවද කියා තිබූ ඔහුගේ වයස අවුරුදු 35කි.

කාලයක් පුරාවට පවත්වාගෙන ගිය දේවාලයට ගමේ හෝ ප්‍රදේශවාසී කිසිවකු හෝ පැමිණ නැත. එහෙත් පිටස්තර පුද්ගලයන් බොහෝ සෙයින් පැමිණෙන බව ගම්මු පවසති. වැටලීම සිදුකෙරෙන අවස්ථාවේදී දකුණු පළාතේ සිට පිරිසක් පැමිණ තිබුණේ ඔවුන්ට අවශ්‍ය ශාන්ති කර්මයක් කරවා ගැනීමටය. එහිදී විල්ගමුව පොලීසියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව එහි සිදුකරන අවකල් ක්‍රියාව හා බුදුදහමට නිගාදෙන අයුරෙන් කරන සිදුවීම් පිළිබඳ ඒ පිරිස දැනුවත් කර තිබුණි. ඒ අතර එවැනි මිත්‍යා විශ්වාස පසුපස නොයන ලෙස දන්වමින් ඔවුන් පිටත් කර යැවූ බවද ගම්මු ප්‍රකාශ කළහ.
බුදුදහමට අපහාස වන අයුරෙන් පවත්වාගෙන ගිය දේවාලයේ කපුවා අත්අඩංගුවට ගැනීමෙන් පසු දින 7ක් දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නාඋල අධිකරණය නියෝග කළේය. මාතලේ කොට්ඨාස බාර පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත විල්ගමුව පොලීසියේ ස්ථානාධිපති පාලිත ඉලංගන්සේකර සහ උප පොලිස් පරීක්ෂක වීරසිංහ ඇතුළු නිලධාරීහු පරීක්ෂණ කටයුතු සිදුකළහ.
►සමන්ත විල්තෙර