
“නුවර කලාවියේ වැසියන් මහ කැලෙන් ලබාගන්නා දෑ අතර මීපැණිවලට ලැබුණේ ඉහළ ස්ථානයක්. ඔවුන් අනාදිමත් කාලයක සිට චාරිත්‍රයක් වගේ වාර්ෂිකව මී කැඩීමට වනගත වුණා. ඒකට කිව්වෙ මීකැලේ යාම කියලයි. මී කැඩීමට සම්බන්ධ වෙනම සිරිත් විරිත් රාශියක් තිබුණා.”
වත්තෙවැවේ ධම්මානන්ද හිමියන් අපට ඒ අදහස් පළකළේ මල්වාන මාපිටිගම මාතොටුවන විහාරයේදීය. උන්වහන්සේ ‘මහ කැලේ යාම’ නමින් කළ පර්යේෂණ කෘතියේ ලොකු ඉඩක් මී කැලේ යාමට ද වෙන්ව තිබේ.
“මී පිළිබඳව තොරතුරු ත්‍රිපිටක සාහිත්‍යයෙත් හමුවෙනවා. බුදුරදුන් ලෝකය හා මිනිසාගේ සම්භවය පිළිබඳව කරන විග්‍රහයෙදී මහ පොළොව මීවදයක් සේ හඳුන්වා තිබෙනවා. බුද්ධකාලීන සමාජයේත් මී කැඩීම සිදුවූ බව බෞද්ධ සාහිත්‍යයේ තොරතුරුවලින් පේනවා.” උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
එදා වනගත ප්‍රදේශවල සුලබ සම්පතක් සේ සැලකුණු මීපැණි වනාන්තර විනාශයත් සමඟ දුලබ සම්පතක් වී ඇත. මීමැස්සන් පැණි ලබාගන්නා මල් පිපෙන ගස් වනාන්තරවල හිඟවීම එයට ප්‍රධාන හේතුවයි. මේ නිසා අපේ රටට ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් රැසකින් මීපැණි ආනයනය කෙරේ. මීමැසි පාලනය ද අප රටේ බොහෝ ප්‍රදේශවල කෘෂිකර්මාන්තයට සමාගාමීව කෙරේ. ගෘහවාසීව මීමැසි ජනපද ඇතිකිරීමටද බාධාවක් වී පවතින්නේ මීපැණිවලට සුදුසු මල් හටගන්නා ශාක වර්ග හිඟවීමයි.
“නුවර කලාවියේ කුකුලෑව ගම්මානය මීපැණිවලට ප්‍රසිද්ධයි. එය දඩයමට සමගාමීව කෙරෙන කාර්යයක්. එදා ආහාර වර්ග කල්තබාගැනීමට මෙන්ම මහියංගණයේ ඇතැම් ගම්වල මිනී කල්තබාගැනීමටත් මීපැණි යොදාගෙන තිබෙනවා.” ධම්මානන්ද හිමියෝ පැවසූහ.
තමා කුඩා සමයේ අනුරාධපුර වත්තේවැව ගම්මානය අවට ගැමියන් හේන් කෙටීම හා ඒ අතරතුර මී කැඩීමට ද ගිය බව උන්වහන්සේට මතකය. ඒ මතකය ඔස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපන සමයේදී උන්වහන්සේ වනගත ගම්මානවල ඇවිදිමින් මී කැඩීම පිළිබඳ අලගිය තැන් මුලගිය තැන් සෙවූහ.
බක් මාසය වනවිට වනයේ ගස්වැල්වල අතු ලියලා එයි. මල් මාසය නමින් හැඳින්වෙන වෙසක් මහට මල් පිපී රොනින් බරවේ. මීමැස්සෝ ගහෙන් ගහට යමින් රොන් එකතු කර වද බඳිති. පොසොන් මාසය වනවිට දැඩිවන ඉඩෝරයත් සමඟ පැණිවල දියර ගතිය අඩුවී රසයෙන් හා ගුණයෙන් ඉහළ උකු ගතියෙන් යුත් මීපැණි නිපදවේ. මේ වනවිට වදවල සිටින මීමැසි පැටව් නොහොත් පිළවුන් වැඩී මීමැස්සන් ලෙස මීමැසි සමාජයට එක්වෙති. ඒ නිසා මේ කාලයේදී මී කඩාගැනීම පවක් නොවන බව නුවර කලාවියේ ගැමියන්ගේ විශ්වාසයයි. ඒ නිසාම ඔවුන් අතර මේ කාලයට ‘හාමුදුරුනමක් මීයක් කඩා වැළඳුවත් පව් නැතැයි’ පිරුලක්ද ව්‍යවහාර වේ.
වඩාත් හොඳ මීපැණි සොයාගත හැක්කේ ‘මොරමල්’ පිපෙන සමයට බවට නුවර කලාවියේ පිළිගැනීමයි. මේ නිසා මීකැලේ යාමට යොදාගන්නේ මොරමල් පිපී වැටෙන්නට ආසන්න ‘කණුමුල්’ කාලයයි. කණුමුල් නම් මල් වරන සමයයි. මල් බහුල සමයෙහි මීමැස්සන් විසින් මල්පැණි බීමත්, කණුමුල් සමයෙහි මීවද මල්පැණියෙන් පිරවීමත් කෙරේ.

• මීපැණි වර්ග
දඬුවැල්බෑ පැණි, බමර පැණි, කනමීපැණි ආදී වශයෙන් වර්ග කිහිපයකි. මී බැඳ ඇති ස්ථාන අනුව හුඹස් මී, මහ මී, කුඩා මී, රජ මී (ඔටුන්නක හැඩය ගත්) ආදී වශයෙන් හැඳින්වේ. මහ මී, හුඹස් මී, රජ මී යන මී වර්ග එකම මීමැසි කුලයක් විසින් බඳිනු ලබයි. දඬුවැල්බෑ සහ කනමී මැස්සන්ද බඹරුන් ද වෙනම මැසි වර්ග වෙති. වෙළෙඳපොළ ඉල්ලුම සහ ඖෂධීය ගුණ වැඩිපුරම ඇත්තේ මහ මීපැණිවලටය. මහ මීමැස්සන් කැලෑ බස්වහරේදී ‘ගබඩාකාරයෝය’.
ගසෙක් නොවෙයි ගස් රුකුලක නොවෙයි මී
බීමත නොවෙයි බිම් තුඹසක නොවෙයි මී
ගලෙන් නොවෙයි ගල් සිදුරක නොවෙයි මී
අපි දුටුවෙමු මී පිට මී තුනයි මී
මීවද සොයා කැලෑවැදීම ද ඉතා සූක්ෂම ක්‍රියාවලියකි. මී සොයා ගමන ආරම්භ කරන්නේ ඔවුනොවුන් අතර බඹ දෙක තුනක ඉඩක් තබා කණ්ඩායම පෙළට සෑදීමෙනි. කැලේ යන්නවුන් අතර ලබුකැට, ලී කැබලි, කෙටේරි හෝ පොරොව වැනි ආයුධ ඇත.
කණ්ඩායම අත ඇති පොලුවලින් දෙපස ඇති ගස්වලට තට්ටු කරමින් පෙරට ඇදෙති. තට්ටු කරන්නේ මීවද තුළට වී සිටින මැස්සන් කලබල කරවා විසිරීමට සැලැස්වීමටයි. එමෙන්ම මීවද ආසන්නයේ ගැවසෙන වලසුන් පලවාහැරීමත් එලෙස ශබ්ද කිරීමේ එක් අරමුණකි. මීයක් සොයාගත් විට කණ්ඩායමේ සෙසු අයටද දන්වා ඔවුහු සමීපයට කැඳවාගනිති.
•මී වඩුලෑම
“මී වඩුලෑම කියන්නේ මීය කෙටීමයි. එම කාර්යභාරය පැවරෙන්නේ මීය මුලින්ම දකින කෙනාටයි. ඔහුට හිමිවන විශේෂ පැණි කොටසට කියන්නේ ‘ඇස් කුලිය’ කියලයි. මීය සහිත ගසට කන තබා මීමැසි හඬ අනුව ගස් බෙනයේ කවර තැනක එය තිබෙනවාදැයි විමසා බලනවා. ගබඩාවක් (මීවදයක්) වඩුලෑමට පෙර පොරව ගසට හේත්තුකොට තෙවරක් වැඳ දෙවියන් සිහිකොට වඩුලෑම ආරම්භ කරනවා.” ධම්මානන්ද හිමියෝ විස්තර කළහ.
මීය කඩාගැනීමෙන් පසු මුලින්ම කරන්නේ ඉහකඩ පූජාව තැබීමයි. ඒ වන්නියේ දෙවියන් නමට කඩාගත් මීයේ මුල් කොටස පූජා කිරීමයි. එහිදී මුල්ම පැණි කැටිය බොල්පනා කොළ අතුරා සකසාගත් යහන මත තබා දෙවියන්ට අඬගසා කංකාරිය කරති.
•මී සොයාගැනීම
වනාන්තරයේ ගස්වල බෙන තුළ බැඳ ඇති මී වද පිහිටි ඉසව්ව සොයාගැනීම ලෙහෙසි නැත. මීමැස්සන් අලුයම මල් සහිත ගස්වලින් පැණි රුගෙන ආපසු යන අවස්ථාව බලා උන් පසුපස ගොස් ඒ ප්‍රදේශ හඳුනාගැනීම අලුදඩේ යෑම නම් වේ. අලුදඩේ ගොස් එන මීමැස්සෝ ලණුවක් ඇද්දා සේ එක පෙළට මීය කරා පියාඹා යන බව මී කැඩීමට යන්නන්ගේ පිළිගැනීමයි.
•රජ මීය
රජමහ ගබඩාව නමින්ද හැඳින්වෙන මෙය විශාල මීයකි. ඉතා කලාතුරකින් හමුවන මේ මීය කොටාගැනීමට පෙර වත්පිළිවෙත් කිහිපයක්ම පිළිපැදිය යුතුය. මෙවැනි මීයක් බඳින්නේ මිනිසකු තරම් විශාල ගස් බෙනයකය. රජ මීයකින් පැණි කළ හතක් ලබාගත හැකිබව විශ්වාස කෙරේ.
විවිධ මල් වර්ගවලින් ලබාගන්නා පැණිවල රස, ගුණ, පැහැය ආදිය වෙනස් වේ. පොල්මල්, මොරමල් ආදියෙන් ගන්නා පැණි රළුය. පෝෂ්‍ය ගුණයෙන් අධිකය. කදුරු මල් පැණි තිත්තය. ඒවායෙහි තිත්ත රසය මැකීමට මීමැස්සන් කරන්නේ කදුරැමල් පැණිවලට මයිල මල්රොන් මිශ්‍රකිරීමයි. වෙම්බඩංගා හා වැල්මල්වල පැණි දියාරැ නැත.

“මෙලෙස කඩාගන්නා මී ගමට ගෙනවිත් අසල්වාසීන් අතර බෙදාහදාගන්නවා. අතිරික්තය අලෙවි කරනවා. නුවර කලාවියේ ගම්වල බෙදාහදාගැනීම උතුම් දෙයක් විදිහටයි සලකන්නේ.” වත්තේවැවේ ධම්මානන්ද හිමියෝ පැවසූහ.
►කුසුම්සිරි විජයවර්ධන