2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

බදු අඩු කළොත් පොත් මිළ අඩු වෙයි

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 106

යම් දවසක මිනිසා ශිෂ්ටවීමට පටන්ගත්තේ ද එදා සිට ඔහු විසින් සොයාගන්නා ලද ඥාන සම්භාරය වර්තමාන පරපුරට වාර්තාගත වී ඇත්තේ පොත් මගිනි. දැනුම බුද්ධිය පමණක් නොව, නිර්මාණ සාහිත්‍ය පැත්තෙන් බලනවිට වින්දනය පවා පොතින් ලද හැකිය. ශාස්ත්‍රීය ග්‍රන්ථවලින් දැනුම අතීතයේ සිට අපට ලැබෙන්නේ යම් සේද එසේම නිර්මාණාත්මක කෘතිවලින් එදා මිනිසුන්ගේ චින්තනය, වින්දනය අදත් අපට භුක්ති විඳිය හැකිය. එසේ නම් පොත අපට අත්‍යවශ්‍ය භාණ්ඩයකි. පොතින් දැනුමත්, වින්දනයත් සාහිත්‍ය තුළින් ඔවුනොවුන් අතර සුහදතාවත් නොලබන්නේ නම්, මිනිසා වන මෘගයන් බවට පත්වන්නේ යැයි, රුසියානු මහ ගත්කරු ලියෝ ටොල්ස්ටෝයි “සිය කලාව යනු කුමක්ද?” නම් පොතෙහි පැහැදිලිව සඳහන් කර ඇත. අපේ වත්මන් තත්ත්වය දෙස බලනවිට ඊට වඩා වෙනසක් ඇත්ද කියා සිතේ. ඊට එක් හේතුවක් විය හැක්කේ, අප පොතින් ටිකෙන් ටික ඈත්වීමය, නැතහොත් අවශ්‍ය තරමට පොතට ළං නොවීමය.

පොත් ප්‍රකාශනය ගැන සලකන විට, පොතේ විශේෂතාවක් ඇත. පොත යන්න සදාකල් වටිනාකමින් යුක්ත එකක් බව අපි කියමු. එය එසේය. එහෙත් පොත වෙළෙඳ භාණ්ඩයක් වූ පසු, පොත් ප්‍රකාශකයන්ගේ පැත්තෙන් බලනවිට, ඊට වඩා වෙනස් තත්ත්වයක් පවතී. පොත අනෙක් භාණ්ඩ මෙන් නොව වසරකින් දෙකකින් විකිණී අවසාන විය යුතුය. එය අවසාන වනතෙක් පමණි, පොතේ වටිනාකම් ඇත්තේ. ඊට පසු ඒ පිටපත්වල වටිනාකමක් නැතිවේ. එහෙත් පොතේ විශේෂතාව නම්, නිෂ්පාදිත භාණ්ඩයට වඩා, අමුද්‍රව්‍ය - අත්පිටපත් වටිනාකමින් වැඩිවීමයි. අනෙක් වෙළෙඳ ද්‍රව්‍ය සියල්ලටම වඩා පුදුමාකාර විශේෂත්වයක් පොත විෂයෙහි පවත්නා බව මෙයින් පෙනේ. පොත නිෂ්පාදනය වූ පසු අලෙවි විය යුතු භාණ්ඩයක් වන බවද පැහැදිලි වේ. පොත් ලිවීම හා ප්‍රකාශනය පිළිබඳව පොදුවේ ගත් කල ලෝකයේ බොහෝ රටවල පොත් ප්‍රකාශනය අරඹයා වන මූලික ගැටලුව, විමසීමේදී පෙනෙන්නේ වාරණය (තහංචිය) යන්නයි. එක් එක් රටවල වාරණ විවිධය. සමහරවිට දැඩි වාරණවලට යටත් වී කටයුතු කිරීමට ලේඛකයාටත් ප්‍රකාශකයාටත් සිදුවේ. එවැනි තත්ත්වයන්ගෙන් අපේ ශ්‍රේෂ්ඨ ලේඛකයන් අතවර විඳි අයුරු පොත්පත්වල සඳහනි. අපේ රටේ නිල වශයෙන් එවැනි වාරණ නොවීම වාසනාවකි. එය අප නිරන්තරයෙන්, කවර ආකාරයෙන් හෝ ඉදිරියට ගෙන යා යුතු භාග්‍යයකි.

අපේ රටේ ඉතිහාසය දෙස බලනවිට, දුටුගැමුණු රජතුමාගේ අවදියේ එතුමන්ට ධර්මය ප්‍රචාරය කිරීමට අවශ්‍ය වූ විට, ධර්මාසනයක්, විජිනිපතක් හා බණ පොතක් එක් එක් විහාරස්ථානයට යැවූ බව සඳහන් වේ. සමහරවිට අපේ රටේ පොත් ප්‍රකාශනයේ මුල් වාර්තාගත ඉතිහාසය මෙයද කියා සිතේ. පොත් ප්‍රකාශනය, එදා තත්ත්වය අනුව මේ ආකාරයට දියුණු වෙමින් විකාශනය වෙමින් පැමිණියේය. ලංකාවේ ප්‍රථම මුද්‍රණ යන්ත්‍රය පටන් ගත්තේ, 1736 දී පමණය. එහි පොත් මුද්‍රණය ආරම්භ වූයේ ක්‍රිස්තියානි ධර්මය ප්‍රචලිත කිරීමේ අරමුණින්ය. 1862 දී බෞද්ධ පිරිසක් ලංකෝපකාර යන්ත්‍රාලය පටන් ගත්හ.

                       බදු අඩු කළොත් පොත් මිල අඩු වෙයි

1863 දී ආගමික පොත් හැර ශාස්ත්‍රීය පොත් ප්‍රචාරය කිරීම ඇරඹිණ. අපට අද තිබෙන පැරණිම ශාස්ත්‍රීය සංස්කරණ ග්‍රන්ථ මුද්‍රණය කරන ලද්දේ එවකට ලංකාභිනව විශ්‍රැති යන්ත්‍රාලයෙහිය. මුද්‍රණ ශිල්පීය තාක්ෂණයේ දියුණුවත් සමඟ පොත පිළිබඳ ලොකු වෙනසක් ඇතිවිය. කියවන විට අසා සිට පොතේ අන්තර්ගත කරුණු දැනගැනීමේ, ස්වභාවය වෙනස් වී ඊළඟට තමන්ම කියවා දැනගැනීමේ තත්ත්වයට පරිවර්තනය විය. ඒ සමඟම කියවීමට ලබාගන්නා පොත මුදලක් ගෙවා මිලදී ගන්නා භාණ්ඩයක් බවටත් පත් විය.

19 ශතවර්ෂයේ අග භාගයත්, 20 ශතවර්ෂයේ මුල් භාගයත් වනවිට මේ රටේ මුද්‍රණාල සෑහෙන ප්‍රමාණයක් බිහිවී පොත් ප්‍රකාශනය අතින් දියුණුවක්ද ඇතිවිය. පොත් ප්‍රකාශනයට ශාස්ත්‍රාභිලාෂීන්ගේ අවධානය යොමුවීමට පටන් ගත්තේය. 1892 දී ඇල්බට් ද සිල්වාගේ ‘විමලා’ කෘතිය පිටපත් 20000ක්ද 1906 දී පළවූ පියදාස සිරිසේනගේ ‘ජයතිස්ස හා රොස්ලින්’ කෘතිය අවුරුදු දහයක් ඇතුළතදී පිටපත් 25,000ක්ද අලෙවි වූ බව වාර්තා වේ. විශ්වවිද්‍යාල පුස්තකාල පාසල් හා මහජන පුස්තකාල විශාල ප්‍රමාණයක්ද වෙනත් ආයතනවලට අයත් හා පෞද්ගලික පුස්තකාල ද අද පවතී. එහෙත් පොත් අලෙවිය ප්‍රශ්නයක් වී ඇත. පොත් ලාභ ලැබිය හැකි ව්‍යාපාරයක් වූ පසු පොත් ප්‍රකාශන ආයතන විශාල සංඛ්‍යාවක් ඇතිවිය. ඒවා අතරින් බොහෝ ආයතන වැසී ගොසිනි. ප්‍රකාශන ආයතන පොත් පළ කරන්නේ පාඨකයන් සඳහාය. හොඳ පාඨකයා පොත් මිලදී ගත යුතුය. එහෙත් නිෂ්පාදන මිල හා වටිනාකම වැඩිවන විට පොත් මිලදී ගැනීම පාඨකයන්ට අසීරු දෙයක් වේ. කඩදාසි තීන්ත ආදී උපකරණ මිල වැඩිවීම පොත් සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් වී ඇත. නොයෙක් විධියේ බදු (එනම් ආයතන අවස්ථාවේදී තොග වෙළෙඳ අවස්ථාවේදී, සිල්ලර වෙළෙන්ඳාගෙන්, මුද්‍රණ ශිල්පියාගෙන්, ප්‍රකාශකයාගෙන් පොත් වෙළෙන්ඳන්ගෙන් ආදී වශයෙන්) යම්කිසි ආකාරයකින් ඉවත් වුවහොත් පොත් මිලෙන් 30%ක් පමණ අඩුකළ හැකි බව ප්‍රකාශක මතයයි.

රජය මගින් අද මෙසේ පනවා ඇති විවිධ ආකාරයේ බදු ඉවත් කළහොත්, එය පොතේ ප්‍රකාශනය ගැන ඇල්මක් ඇති කාගේත් අවධානය යොමුවිය යුතු කරුණකි. පොත ජාතික සංවර්ධනයේ එක් අංගයක් ලෙස සලකන්නේ නම්, අනෙක් නොයෙක් විධියේ කර්මාන්ත මෙන් සහන දීමනා සහිතව පිළිගත් කර්මාන්තයක් ලෙස මෙය පිළිගැනේ නම් ඉතා හොඳය. එහෙත් තවම ඒ ගැන කිසිවක් සිදුවී නැත.

පොත් ප්‍රකාශනය ගැන කතා කරනවිට නොයෙක් විධියේ ප්‍රකාශන ක්‍රම පවත්නා බව පෙනේ. එයින් අද ලෝකය පිළිගත් ඉතාම හොඳ ක්‍රමය ලෙස සැලකෙන්නේ, ප්‍රකාශකයකු මගින් පොත් ප්‍රකාශනයට පත්කරවා ගැනීමයි. අපේ රටේ කර්තෘ ප්‍රකාශක ක්‍රමයද ඇත.

එනම්, කර්තෘම තම පොත් ප්‍රකාශයට පත් කිරීමයි. කර්තෘ ප්‍රකාශකයකු ලෙස සැලකෙන්නේ, අඩුම වශයෙන් පොත් 3ක්වත් ප්‍රකාශනයට පත්කළ කතුවරයායි. ප්‍රකාශකයා කරන්නේ ලේඛකයන් පාඨකයන් අතර සම්බන්ධය ඇතිකිරීමයි. ‘ප්‍රකාශකයා වනාහි ලේඛකයන් බිහිකරන්නෙකි’ යන්න සෑහෙන සත්‍යයකි. ප්‍රකාශකයා සාහිත්‍ය මෙහෙයවයි. ඔහු පළ කරන්නේ තමන්ටම අවශ්‍ය පොත් පමණි. එක් එක් ප්‍රකාශන ආයතනවලට අදාළ ප්‍රතිපත්ති ඇත. රටට, සමාජයට, පාඨකයාට අවශ්‍ය හිතකර පොත් පළකිරීම හොඳ ප්‍රකාශකයන්ගේ මූලික අරමුණක් වේ.

අප අතරින් වෙන්වූ මහාචාර්ය ඒ.වී. සුරවීර 1989 දී පැවැත්වූ දේශනයක් ඇසුරිනි.