2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

මුහුද මැදදී ඇන්ජිම කැඩුණොත්?

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 69

මහ මුහුදේ රළ අතරේ  ඇත්තටම වැඩ්ඩෙක් වෙන්නේ කොහොමද? අද ට්‍රෝලර් කතාවෙන් ඔබට කියන්නේ ඒ කතාවයි. ගොඩබිමේදී මෙන්ම මහ මුහුදේදීද තම වෘත්තීයන් තුළ දක්ෂයන්, ප්‍රවීණයන් වීමට කවුරුත් කැමතිය. මහා සාගරයේ රළ අතර ජීවිතය සොයා යන ධීවර යාත්‍රිකයන් අතර එවන් ප්‍රවීණයන් බිහිවෙන්නේ අවදානමට මුහුණදීම මෙන්ම අත්දැකීම් මතය. අද කතාව ගලා යන්නේ තරමක් වෙනස් මාවතක් ඔස්සේය.

මහ මුහුදේ වැඩ්ඩෙක් වෙන හැටි කතා කරන අතරතුර හුරුපුරුදු ලෙස අප කතා නායකයා අනුර මහතා අපූරු කරුණක් අපට කීය. එයින්ම කතාව අරඹමු.

“මේකනේ... මාළු අල්ලනවා කියන්නේ. ගෙදර එක්කෙනා ගියත් මුහුදේ මාළු අල්ලන් එයි. ඔය ගිහිල්ලා දැල එලුවට පස්සේ මාළු අහුවෙනවා දැලේ. ඊට පස්සේ දැලේ ඉන්නේ මැරිච්ච මාළු කූරියා. කොහොම හරි ඕක බෝට්ටුවට ගන්න පුළුවන්නේ. ඕක නෙවෙයි ස්කීපර්කම කියන්නේ. ස්කීපර්කමක් කරනවා කියන්නේ හැමදේම දැනගන්න ඕනා...”

ජීවිත කාලය පුරා ධීවරයෙක් ලෙස කටයුතු කර මේ පරිණත මිනිසාට නම් මුහුදේ මාළු ඇල්ලීම යනු සරල දෙයකි. කාටත් එය සිදුකළ හැක්කක් ලෙස ඔහු කියන්නේ එබැවිනි. මාළු ඇල්ලීම කෙසේ වෙතත් ක්ෂිතිජයෙන් එහාට දියඹට යාත්‍රා කිරීම යනු සාමාන්‍ය මිනිස්සු වන අපට නම් ත්‍රාසය පිරුණු අත්දැකීමකි. මාළු ඇල්ලීමට එහා ගිය මහ මුහුදේ වැඩකාරයෙක් වීමට කළ යුතු දෑ මොනවාද ඊළට නැගෙන පැනය එයයි.

“ඇත්තටම වැඩකාරයෙක් වෙන්න වැඩක් කරලා පෙන්නන්න ඕනා. දැන් හිතමු බීඩින් එකක් කැඩුණා කියලා. සමහර මිනිස්සු ඉන්නවා ඕවලේටරයක් මාරු කරන්න බෙල්ට් එකක් දාගන්න තේරෙන්නේ නැති ස්කීපර්ලා. එතකොට ඒ වැඩකාරයෝ නෙවෙයි. දැන් හොඳ වැඩකාරයෝ තමයි එන්ජින් කැඩිලා පාවී පාවී ඉන්නේ නැතුව, තව බෝට්ටුවකින් ඇදගෙන එනකල් බලන් ඉන්නේ නැතුව, බෝට්ටුව ගොඩට ගෙනත් මුදලාලිට බාරදෙන අය. අන්න වැඩකාරයෝ. අපි එහෙම කරලා තියන නිසා තමයි අපිට තැනක් තියෙන්නේ.”

මහ මුහුදේ ඈත ඉසව්වකදී ට්‍රෝලරයක කාර්මික දෝෂයක් හටගත් අවස්ථාවක් මොහොතකට අප සිතින් මවාගමු. යාත්‍රාවේ සිටින්නේ පහක් හෝ හයකි. කෑම බීම සිමිතය. බැලූ බැලූ අත ඇත්තේ නීලවර්ණ සාගරය පමණි. උපකාර පතා රේඩියෝවෙන් තවත් බෝට්ටුවකට ඇමතිය හැක.  එවන් විටක ගොඩබිමෙන් හෝ තවත් බෝට්ටුවකින් උපකාර එනතුරු බලා දිනයක් දෙකක් නොව ඊට වඩා වැඩි කාලයක් බලා ඉන්නට සිදුවිය හැකිය. දිය වැලකට හසුවුවහොත් මහ මුහුදේ ඈතකට පාවී යනු ඇත. රේඩියෝ බිඳවැටුණහොත්, එවිට කුණාටුවක් පැමිණියහොත් කුමක් සිදුවේද? මුහුදු ගොස් කිසිදා නැවත නොපැමිණි ධීවරයන් පිළිබඳව අන්දර මුහුදුකරයේ කොතෙකුත් ඇත. දැන් ඔබේ මනසේ එවන් අවස්ථාවක් මැවෙනු ඇත.

ස්කීපර්වරයකුට හොඳ කාර්මික දැනුමක් තිබීම වැදගත් වන්නේ එවන් විටකදීය. ගොඩබිමෙන් හෝ තවත් යාත්‍රාවකින් උපකාර ගත්තද ඊට අධික පිරිවැය යන බව කිවයුත්තකි. අනුර මහතා යනු මහ මුහුදේ ප්‍රකට ධීවර කාර්මිකයකි.

“මම බෝට්ටු කොච්චර හදනවාද? එන්ජින් හදනවා දැල්, ගන්, වින්ච් හදනවා. මට තමා කතා කරන්නේ. රාළ අයියේ, මෙහෙම දෙයක් වුණා මෙහෙම වුණා කියලා මට කතා කරනවා. මම ගිහිල්ලා හදලා දෙනවා.”

මහ මුහුදේ බොහෝදෙනා අතර රාළ නමින් ප්‍රකට ඔහු තමා සතු කාර්මික දැනුමෙන් බොහෝදෙනාට උපකාර කර ඇත. දශක කිහිපයක් මුහුදු රස්සාව කරන ඔහු වැඩිහිටියෙක් ලෙස බොහෝ දෙනා දැන හඳුනති. කිසිදාක තමන් රස්සාව සිදුකළ ට්‍රෝලර් යාත්‍රාවක් මහ මුහුදු මැද කැඩුණු විටදී පිටතින් උපකාර එනතුරු නොසිටි බව ඔහු අපට කියයි. ඔහු විසින් තම යාත්‍රා කෙසේ  හෝ සකසා ගැනීමට සමත්ය. ඒ නිසාවෙන් කාගේත් ගෞරවාදරයට අනුර මහතා පත්ව සිටී.

“වතුර යට කැඩුණත් මම හදනවා. ෆෑන් එක තියනවානේ බෝට්ටුව දුවන. සමහර වෙලාවට ඒකේ දැල් පැටලෙනවා. ඒ වෙලාවට අනිවාර්යයෙන් බහින්න ඕනා. බැහැලා දැල කපලා සුද්ද කරලා ඒක ලයින් කරගන්න ඕනා. නැත්නම් බෝට්ටුව දුවන්න බෑ.”

කිමිදීම ට්‍රෝලර් ධීවරයෙක් සතුවිය යුතු තවත් කුසලතාවයකි. ගැඹුරු මුහුදේ මේ ගමන තුළදී හමුවන විවිධ බාධාවන් ජය ගැනීමට  එය ඉතා වැදගත්ය.

“පරණ කට්ටියත් ඉන්නවා, අලුතින් බිහිවෙලා ඉන්න අලුත් කොල්ලොත් ඉන්නවා, හොඳ වැඩකාරයෝ. සත පහකට වැඩක් නැති මිනිස්සුත් ඉන්නවා. සැටලයිට් එක පොඩ්ඩක් ගැහුවා. රේඩියෝ එකෙන් කතා කළා. මාළු ටිකක් අල්ලන් ඇවිත් වැඩකාරයෝ කියලා හිතන් ඉන්න.”

ඔහු තවත් විස්තර කියයි. ඕනෑම රැකියාවක මෙවන් දක්ෂයන් මෙන්න අදක්ෂ කයිවාරුකාරයෝද සිටිති. අනුර මහතාට අනුව නොසැලකිලිමත් බව මහ මුහුදේදී විශාල ගැටලු මතු කරයි. ඒ පිළිබඳවද ඔහු අප හට පැහැදිලි කරන්නේ මෙලෙසිනි.

“අපේ කට්ටියගේ දුර්වලකමක් තමා බැටරිය බහිනකල්ම ටී.වී. බලනවා කැසට් එක අහනවා බැටරියේ වතුර බලන්නේ නෑ. චාජ් වෙනවද බලන්නේ නෑ. බැටරි බැස්සට පස්සෙ එන්ජිම නවත්තනවානේ. ආයේ ස්ටාට් කරද්දී එතකොට බැට්රි බැහැලා. එතකොට මොකද වෙන්නේ..? තමන් දැනගන්න ඕනා මේ දේ පරිස්සම් කර ගන්න. අපි මහ මුහුදේ ඉන්නේ. හැමදේම අපි පාවිච්චි කරන්න ඕනේ ක්‍රමේකට. එහෙම නොවුණොත් බෝට්ටු අයිතිකාරයත් ඉවරයි. ඒ මිනිස්සුත් ඉවරයි. අපි එහෙම නෙවෙයි හැමදේමට අවධානය යොමු කරනවා.”

අනුර මහතා දීර්ඝ වශයෙන් අපට පහදන්නේ මහ මුහුදේ  රැකියාවේ වගකීම් සහිත බවයි. ඔහු ඒ පිළිබඳව මනාව දනී. අලුතින් මුහුදු ගමනට එක්වන තරුණ ධීවරයන්ට ඔහු විශ්ව කෝෂයක් බඳු යැයි අපට සිතේ.

අද වනවිට තාක්ෂණය බොහෝ දියුණුය. යම් විපතක් වුවත් එය දැන ගැනීමට ඇති ඉඩ කඩ වැඩිය.

“VNS එක ලක්ෂ හතරක් වෙනවා. දැන් අපට මොන කරදරයක් වුණත් ලංකාවෙන් දැන ගන්න පුළුවන්. දැන් අපිට කරදරයක් වෙලා පණිවිඩයක් දෙන්න විදිහක් නැති වුණා. ඒ බටන් එක ප්‍රෙස් කරන්න ඕනා. එතකොට කොළඹ මධ්‍යස්ථාන දන්නවා අපිට කරදරයක් වෙලා කියලා. එතකොට බෝට්ටුවේ අයිතිකාරයට කතාකරලා කියනවා ඔයාලගේ බෝට්ටුවට මෙහෙම කරදරයක් වෙලා තියනවා හොයලා බලන්න කියලා. පොයින්ට් එක දෙනවා.”

මේ පහසුකම තිබුණද විවිධ හේතු මත වංචාසහගත ලෙස මෙම කටයුතු සිදුකරන පිරිස් සිටිති. තවද මොන පහසුකම තාක්ෂණය තිබුණද හැකියාව දක්ෂතාවය නැතිනම් මේ ගමනේ අවසානය බියකරුය. ඒ පිළිබඳව අනුර මහතා අපට සිහිපත් කරයි.

මුහුදු ජීවිතයේ වැඩකාරයන් කවුරුන්ද යන්න අද කතාවෙන් අපි ඔබට කීවෙමු. ට්‍රෝලර් කතාවේ රස පැති බොහෝය. මේ කතාව මුහුදු මිනිස්සුන් පිළිබඳව ඔබගේ අවබෝධය පිණිසය. ඊළඟ කතාවෙන් වැස්ස මහ මුහුදේදී දුක සතුට ඇති කරන සැටි ඔබට කියමු. වැසි කුණාටු, චණ්ඩ මාරුතය සහිත මුහුදු ගමනකින් ලබන සතියේ හමුවෙමු.

චමිඳු නිසල් ද සිල්වා