2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා

මට සිදුවුණු දේ කිසිම විගණකාධිපතිවරයකුට වෙලා නැහැ

 2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 279

විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා මේ වනවිට දේශපාලන භූමියේ කාගෙ කාගේත් කතාබහට ලක්වන චරිතයක් බවට පත්ව සිටී. ඔහු පිළිබඳ ඇතැම් මැති ඇමැතිවරැන් පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටතද විවිධ අදහස් පළකරනු දැකගත හැකිය. බැඳුම්කර නිකුතුව පිළිබඳ ඔහු ඉදිරිපත් කළ වාර්තාව ස්වාධීන නොවන බවට ආණ්ඩු පක්ෂයේ ඇතැම් ඇමැතින්ගෙන් විවේචන එල්ල විය. එය ලෝක බැංකුව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මුදල් ඇමැති රවි කරුණානායක විගණකාධිපතිවරයා හඳුන්වන්නේ දළදඬු පුද්ගලයකු ලෙසටය. තමා ඉල්ලූ බැඳුම්කර පිළිබඳ වාර්තාව තමාට නොදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් අතට පත්කළ බවටද ඔහු චෝදනා කරයි.

විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ පිළිබඳ දැනට රට තුළ උද්ගතව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය ගැන සහ ඔහු පිළිබඳ දේශපාලනඥයන් සිදුකරන විවේචන මෙන්ම රාජකාරි ඉටුකිරීමේදී ඔහුට මුහුණපාන්නට සිදුව ඇති ගැටලු පිළිබඳවද අපි ඔහු සමඟ සම්මුඛ සාකච්ඡාවක නිරතවීමු.

මෙයට පෙර සිටි විගණකාධිපතිවරුන් ඔවුන්ගේ විගණන වාර්තා ගැන විවෘතව කතා කළේ නැහැ. ඔබ එම සම්ප්‍රදාය වෙනස් කරමින් කටයුතු කරන්නේ ඇයි?

මේ වනවිට තොරතුරු දැනගැනීමෙ පනත බලාත්මක වෙලා තියෙනවා. ඉතින් ජනතාවට රහසක් තියෙන්න බැහැ. මගේ වාර්තාවල පාරදෘශ්‍යභාවය සහ විනිවිදභාවය තිබෙනවා. ඒ නිසා මා විවෘතව කතා කළ යුතුයි. විගණන වාර්තාවල ඇත්තේ මහජනතාවගේ මුදල්වලට සිදුවූ දේයි. ඉතින් ඒ අය එය දැනගත්තට කමක් නැහැ. රහස් ලෙස තබාගැනීම වැරදියි.

රජය සහ ඔබ අතර යම් ගැටුමක් නිර්මාණය වී තිබේද?

මා කරන්නේ රජයේ යහපාලනය ගැන විමර්ශනය කිරීමයි. රජයද යහපාලනයට යන බව කියනවා. ඒ නිසා දෙපාර්ශ්වය අතර ගැටුමක් ඇතිවීමට හේතුවක් නැහැ.

ඒකාබද්ධ විපක්ෂය කියනවා ඔබ තනතුරෙන් පහකිරීමට හෝ රාජකාරි ඉටුකිරීම පිළිබඳ කලකිරවීමට ආණ්ඩුව කටයුතු කරනවා කියලා. ඔබට මෙය දැනිලා නැද්ද?

කෙරෙන විවේචන අනුව එහෙම හිතන්න වෙනවා. මේ වැනි දේ කිසිදු විගණකාධිපතිවරයකුට මෙයට පෙර සිදුවී නැහැ.

පසුගියදා එක්තරා පුවත්පතක පළකර තිබුණා විගණකාධිපති රැකගැනීමට මන්ත්‍රී කණ්ඩායමක් යන ශීර්ෂ පාඨයෙන් යුතු ප්‍රවෘත්තියක්. ඒ අනුව දැනටමත් ඔබ දේශපාලනීකරණය වෙලාද?

එවැනි දේවල් මට අදාළ නැහැ. එය එපා කියන්නත් මට බැහැ.

ජාතික විගණන පනත පසුගිය මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නා බවට ආණ්ඩුව පැවසුවත් එය සිදුවූයේ නැහැ. දිගින් දිගටම මෙය ප්‍රමාදවීමට හේතුව කුමක්ද?

එය ආණ්ඩුවෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්. මගේ පැත්තෙන් සියල්ල ඉටුකරලයි තියෙන්නේ. මට ඊට එහා දෙයක් කරන්න බැහැ.

ජාතික විගණන පනතේ වගන්ති 54න් 49ක් සංශෝධනය කර ඇති බවට වෘත්තීය සංගම් සහ විවිධ අය කියන කතා ඇත්තද? එම සංශෝධනවලින් පනතේ බලතල හෑල්ලු වෙලාද?

මේ සංශෝධන ගැන අපට කිව්වේ නැහැ. සංශෝධන නිසා දැන් පනත පාස් වුණත් එහි වටිනාකමක් නැහැ. මෙම තත්ත්වය පිළිබඳ අප කිසිසේත් සතුටු වෙන්නේ නැහැ. මෙය මෙලෙස ප්‍රමාද කිරීම වැරදියි.

විගණන කොමිසම පත්කරලා එයින් වැඩක් නොගැනීම ගැන ඔබ මොකද කියන්නේ? මෙය මහජන මුදල් නාස්තියක් නේද?

විගණන කොමිසම පත්කළේ 2015 වසරේ නොවැම්බර්වලයි. බොරැල්ලේ මංසන්ධියේ ඒ සඳහා වෙනම ගොඩනැගිල්ලක් පවත්වාගෙන යනවා. 20ක් පමණ සේවකයන් එහි සිටිනවා. විගණන පනත සම්මත වෙලා නැති නිසා ඒ අයගෙන් වැඩක් ගන්න බැහැ. දැන් සුළු සුළු දේවල් කරනවා ඇති. මා දන්නා හැටියට මසකට රුපියල් ලක්ෂ 20කට වැඩිය එය පවත්වාගෙන යාමට වැයවෙනවා. මෙය මුදල් නාස්තියක් නිසා ඉක්මණින් මෙය ක්‍රියාත්මක කළයුතුයි.

බැඳුම්කර පිළිබඳ ඔබේ වාර්තාව මුදල් ඇමැති කිහිපවරක් ඉල්ලලත් නොදී එය ජනතා විමුක්ති පෙරමුණට දුන් බවට චෝදනාවක් තිබෙනවා. එය ඇත්තද?

ජනවාරි 17 වැනිදා එම වාර්තාව මුදල් අමාත්‍යවරයාට බාරදී අත්සන් ලබාගෙනද තියෙනවා. ඒ ගැන එතුමාගෙන්ම තමා අහන්න ඕනෑ. මා කෝප් කමිටුවේ සභාපතිට දුන් පිටපත ඔහු විදේශගත වී සිටිය නිසා මේසෙ උඩ තිබෙන විට බිමල් රත්නායක මන්ත්‍රීවරයා ලබාගෙන තිබෙනවා. අනිත් එක මගේ වාර්තා පාර්ලිමේන්තුවට දෙන්න එපා කියලා කාටවත් කියන්න බැහැ. මා විවෘතයි. එහෙත් එතුමා විවෘත නැහැ.

විගණන වාර්තාව ජාත්‍යන්තර ප්‍රමිතියට පටහැනි යැයි ලෝක බැංකුව වාර්තා කර ඇති බවට ප්‍රබල ඇමැතිවරයකු පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ගැන ඔබ මොකද කියන්නේ?

ලෝක බැංකුවට මම වාර්තා දෙන්නේ නැහැ. මම වාර්තා දෙන්නේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවටයි. අනිත් අතට ලෝක බැංකුවේ කවුරු හෝ එහෙම කිව්වයි කියපු කතාව අසත්‍යයක්. ඒ අය කියලා තියෙන්නේ We are not aware - අපි ඒ ගැන දන්නේ නැහැ කියලා මිසක එය වැරදිය කියලා නොවෙයි. එහෙම කියන්න ඒ අයට පුළුවන්කමකුත් නැහැ. ඒ ලිපි අපි ළඟ තියෙනවා.

ඔබේ විගණන වාර්තා දෝෂ සහගතයි කියලා ආණ්ඩුවට කියන්න පුළුවන්ද?

ආණ්ඩුවට එහෙම කියන්න බැහැ. ආණ්ඩුව එහෙම කියන්නේ ඒ ඇතැම් අයට එල්ල වන චෝදනාවලින් ගැලවෙන්නයි. මෙය හොරා පොලිස් සෙල්ලමක්. පොලිසිය ළඟින් යන්නත් හොරා බයවෙනවා. මගේ රාජකාරිය නිසා ඇතැම් අය මා සමග උරණ වෙලා ඇති. එය වළක්වාගන්න බැහැ.

විගණන වාර්තා ඉදිරිපත් කළ පසු ඔබ ඒවාට වෙන්නේ මොකද කියලා සොයා බලන්නේ නැතිද? පසු විපරම් කරන්නේ නැතිද?

මා ඉදිරිපත් කරන්නේ යම් යම් සිද්ධි පිළිබඳ විමර්ශන කරලා මගේ නිරීක්ෂණ හා මතයයි. ඒවා පාර්ලිමේන්තුවට හෙවත් ව්‍යවස්ථාදායකයට ඉදිරිපත් කරන්නයි මා බැඳි සිටින්නේ. ඒවා විධායකයට දෙන්නේ නැහැ. මා මගේ කොටස ඉටුකළාට පසු ඉදිරි පියවර ගැනීම අදාළ අය සතු කාර්යයක්.

ඔබගේ රාජකාරි නිසි පරිදි ඉටුකිරීමට යම් යම් බාධා ඇතිවී තිබෙනවාද? ඔබගේ අවශ්‍යතා ආණ්ඩුව සපුරන්නේ නැතිද?

19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව මගේ විෂය ක්ෂේත්‍රය පුළුල් වී තිබෙනවා. එයාර් ලංකා, රක්ෂණ සංස්ථාව සහ තවත් රාජ්‍ය සමාගම් විගණනය කිරීමට මට පැවරී තිබෙනවා. මේ සඳහා දැනට ඇති සේවක සංඛ්‍යාව සහ පහසුකම් ප්‍රමාණවත් නැහැ. කෙසේ වුණත් අමාරුවෙන් කරගෙන යනවා. අලුතින් කිහිප දෙනෙක් ළඟදී බඳවා ගත්තා.

ඔබගේ වැටුප් සහ සේවා පහසුකම් පිළිබඳ ගැටලුවලට විසඳුමක් ලැබුණාද?

මා දැනට මාස 14 පමණ සේවය කර තිබෙනවා. දැනට මට ලැබෙන මූලික මාසික වැටුප රුපියල් 69,000ක්. ඒ වැටුපත් නීත්‍යානුකූල නැහැ. ආණඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වන වගන්තිය අනුව විගණකාධිපතිගේ වැටුප පාර්ලිමේන්තුව මගින් සම්මත කළ යුතුයි. එහෙත් තවම එහෙම වෙලා නැහැ. ඒ හින්දා මට ලැබෙන වැටුප මම වෙනම ගිණුමක පවත්වාගෙන යනවා. ඒ ඒ විගණකාධිපතිගේ සේවා කාලය සුදුසුකම් ආදිය සලකලයි පාර්ලිමේන්තුව වැටුප් තීරණය කරන්නේ. විගණකාධිපති වැටුප වෙන වෙනම සලකා පාර්ලිමේන්තුව තීරණය කළ යුතුයි. එහෙත් මට එලෙස කළේ නැහැ. මා ගන්ෙන් පරණ වැටුපයි.

මෙයට පෙර මා ශ්‍රී ලංකා ගිණුම්කරණ විගණන ප්‍රමිති මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරු හෙබවූවා. එහිදී මට මසකට රුපියල් ලක්ෂ 31/2½කට අධික වැටුපක් ලැබුණා. මා එය කැපකරලා මහජන සේවය සඳහායි මේ තනතුර බාර ගත්තේ.

අඩු වැටුපක් ලැබෙන්නේ ඔබේ සුදුසුකම්වල යම් අඩුවක් නිසාද?

මම අවුරුදු තිස් තුනක් රාජ්‍ය සේවයේ නිරත වූ නිලධාරියෙක්. ඒ තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අවුරුදු 28ක් සේවය කරලා තියෙනවා. මම ගණකාධිකරණ උපාධිධාරියෙක්. ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාද් උපාධිය කොරියාවේ කරලා තියෙනවා. තවත් වෘත්තීය සුදුසුකම් ගණනාවක් මට තියෙනවා. මෙවැනි සුදුසුකම් ඇති අය විරලයි. ඒ නිසා මට සුදුසුකම් නැහැ කියලා කාටවත් කියන්න බැහැ.

ඔබ නිතරම මාධ්‍ය සංදර්ශන පවත්වන බවට චෝදනාවක් එල්ලවෙලා තියෙනවා?

මට මාධ්‍ය සංදර්ශන අවශ්‍ය නැහැ. මට කැපී පෙනෙන්නට වැඩකරන්න අවශ්‍ය නැහැ. මාධ්‍ය මගෙන් විමසන නිසයි කියන්නේ. ඔබ වුණත් මගෙන් ඉල්ලූ නිසයි මා කතා කළේ. මට තියෙන අධික රාජකාරි නිසා මට මාධ්‍ය පසුපස යන්න වෙලාවක් නැහැ.

ඔබට එරෙහිව ආණ්ඩුවෙන් සිදුවෙමින් පවතින දේවල් ගැන ඔබ කලකිරීමෙන්ද ඉන්නේ?

මම හොඳට කුඹුරු කොටන්න දන්න මිනිහෙක්. මට දැන් වයස 58යි. මට තව විශ්‍රාම ගන්න තියෙන්නේ අවුරුදු ෙදකයි මාස දෙකක් වාගෙ කාලයක්. ඒ කාලෙත් මා උත්සාහ කරන්නේ උපරිමයෙන් සේවය කරන්නයි. එහෙත් තවදුරටත් කෙනෙහිලිකම් සිදුවුණොත් විශ්‍රාම ගැනීමට පෙර මට පුළුවන් ගමට ගිහින් කුඹුරු කොටන්න. ඒ නිසා මා පළකරන විගණන මත එක එක අයට අවශ්‍ය ලෙස වෙනස් කරන්නේ නැහැ. මෙතෙක් කල් මගේ නිර්දේශවලට වෙනසක් කරන්න කාටවත් බැරිවුණා. ඒ සියල්ල හිස් බස් පමණයි.

විගණකාධිපති තනතුර දේශපාලනීකරණය කරන්න සමහරුන් උත්සහ ගන්නවද?

මා කාටවත් යටවෙන්නේ නැහැ. මා ඉන්නතාක් කල් මේ තනතුර දේශපාලනීකරණය කරන්න මා ඉඩ තියන්නේ නැහැ. මගෙන් පසුව එන කෙනෙකුට හෝ මෙම රාජකාරිය ස්වාධීනව කරන්න පරිසරය සකස් කළ යුතුයි.

ඔබගේ වාර්තා බුද්ධ භාෂිතයක් ලෙස ක්‍රියාත්මක කළයුතු නොවේ යැයි ඇතැමුන් කියනවා?

මා කියන්නේ නැහැ ඒවා බුද්ධ භාෂිතද කියලා. මගේ මතය මා දෙනවා. එය මගේ රාජකාරියයි. අවශ්‍ය නම් ඒ අයට එය ක්‍රියාත්මක කළ හැකියි. නැතිනම් ඉවත දැමීමට පුළුවන්.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ ඔබේ වාර්තාව ගැන තවම විසඳුමක් සොයාගෙන නැහැ?

මහ බැංකු බැඳුම්කරවල පාඩුව තවදුරටත් සිදුවෙමින් පවතිනවා. ඒ ගැන මෙතෙකැයි නිශ්චිතවම හානිය ඇස්තමේන්තු කරන්න බැහැ. මම ඒ ගැන යළිත් විගණනය කරන්නේ නැහැ. ඒ අවස්ථාවේ, ඒ මොහොතේ සිදුවූ පාඩුව ගැන පමණයි මා දක්වා ඇත්තේ. අනාගතයේදී රටේ පොලී අනුපාත තීරණය වන්නේ මෙය මතයි. ජනතාවට විශාල අසාධාරණයක් වෙනවා. රටේ ආර්ථිකයටත් එහෙමමයි. එනිසා දිගටම සිදුවන මෙම පාඩුව මෙතෙකැයි ගණනය කරන්න බැහැ.

ඔබගේ ඉදිරි විගණන විමර්ශනයන් කෙසේද?

ගල් අඟුරැ ටෙන්ඩරයෙන් සිදුවූ සුවිශාල අවභාවිතය සහ බිලියන 15කට අධික සහල් ගෙන්වීමේදී සිදුවූ පාඩුව ආදිය පිළිබඳ විමර්ශන අවසන් කර ඇති අතර ඒ පිළිබඳ වාර්තා ඉදිරියේදී එළියට ඒමට නියමිතයි. එවිට තව තවත් දේවල් මතුවේවි.

♦ යසවර්ධන රුද්රිගු
ෙස්යාරූ  | සුමුදු ෙහ්වාපතිරණ