මේ සතියේ දේශපාලන ක්ෂේත්‍රය රත් කළ සිදුවීමක් වූයේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සහ සිවිල් සංවිධාන ක්‍රියාකරුවකු සමඟ සිදුවූ ආන්දෝලනාත්මක දුරකථන සංවාදයකි. රටේ රාජ්‍ය නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් හිටපු රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඉලක්ක කරගනිමින් සිදුකිරීමට සූදානම් වූ බරපතල සිදුවීම් ගණනාවක් මෙහිදී හෙළිදරව් විය.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ දූෂණ විරෝධී බලකායේ අධ්‍යක්ෂ (මෙහෙයුම්) නාමල් කුමාර සමඟ ඇති වූ දුරකථන සංවාදයකි මෙය.
නි.පො නාලක :- උඹට බැරිද හාමුදුරුවරු කට්ටිය අතරේ පතුරැවන්න මිනිහට විරුද්ධව?
නාමල් :- එස්.අයි.එස් (රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී) ලොක්කටද?
නි.පො. නාලක :- ඔව්
නාමල් :- කිසි ගැටලුවක් නෑ සර්. මට හරි තොරතුරු තමයි ඕනේ.
නි.පො. නාලක :- මම තොරතුරු දෙන්නම්. කෙලින්ම මිනිහා පීචං කරලම දාන්න ඕනේ. ඒ කියන්නේ දැන් අමිත් වීරසිංහ (මහසෝන් බලකායේ ප්‍රධානී) ගාවට මෙයා මිනිස්සු දාලා අමිත් වීරසිංහ අමාරුවේ දැම්මේ මෙයා කියන එක පත් කරන්න ඕනේ. ඩී.අයි.ජී නුවර නෙමෙයි ඩී.අයි.ජී එස්.අයි.එස් තමයි මේ තත්ත්වය පත් කළේ කියලා යවන්න ඕනේ.
නාමල් :- මොකක්ද මට මිනිහගේ නම කිව්වා මතක නෑ.
නි.පො.නාලක :- නිලන්ත ජයවර්ධන
නාමල් :- නිලන්ත ජයවර්ධන
නි.පො.නාලක :- ඔව්
නාමල් :- අගමැතිතුමා විස්වාස කරනවද සර් එයාව.
නි.පො.නාලක :- අගමැතියි ජනාධිපතියි දෙන්නම.
නාමල් :- විස්වාස කරනවනේ.
නි.පො.නාලක :- හ්ම්.. ඔය ප්‍රචාරය ඇරියොත් එහෙම අගමැතිතුමා අත හරිනවා.
නාමල් :- අත හරිනවානේ?
නි.පො.නාලක :- හ්ම්.. ඔයාට සත්‍ය හෝ අසත්‍ය හෝ තොරතුරු.
නාමල් :- මොනවා හරි කමක් නෑ සර් දෙන්නකෝ.
නි.පො.නාලක :- හරිද?
දෙවැනි සංවාදය
නාමල් :- ලතීෆ් මහත්තයා සර් මට මේ ගැන දැනගන්න ලැබුණා.
නි.පො.නාලක :- ඕගොල්ලෝ එස්.ටී.එෆ් එකෙන් අයින් කරන්න ඕන. එස්.ටී.එෆ් එකෙන් අයින් කළා නම් ඔය ඔක්කොම බලය බිඳෙනවා. එස්.ටී.එෆ් එකේ ඉන්නකම් තමයි බලය තියෙන්නේ. ඔය පුටුවේ මම ඉඳගන්න ඕනේ. එතකොට මේ වැඩ ටික සීයට පන්සීයක් ඉහළින් කරන්න පුළුවන්.
නාමල් :- ඩී.අයි.ජී නන්දන මුණසිංහ කොළඹ හිටපු ඩී.අයි.ජී දැන් නැගෙනහිර ගිහිල්ලා නේද?
නි.පො.නාලක:- එයා තමයි ලොකුම කරදරේ.
නාමල් :- හ්ම් නන්දන මුණසිංහද?
නි.පො.නාලක :- එයා ගැන පොඩ්ඩක් තොරතුරු හොයනවද? එයා තමයි ඔය කට්ටිය දාලා හාමුදුරුගොල්ලන්ට ඇප දෙන්න ක්‍රියාත්මක වෙච්ච හස්තය.
මෙයටත් වඩා පුළුල් වූ දුරකථන සංවාදය පසුගියදා හිරු නිව්ස් ඔස්සේ රටට අනාවණය කෙරිණි. එම අනාවරණය සිදු කළේ දූෂණ විරෝධී බලකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර විසිනි. ඔහු මේ දුරකථන සංවාදයේ එක් පාර්ශවකරුවෙක් විය. ඔහු මෙම අනාවරණය කරමින් පවසා සිටියේ නියෝජ්‍ය පොලිස්පතිවරයා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකට සූදානම් වන බවය. ඒ නිසා මේ පිළිබඳ රටට අනාවරණය කළ යුතු බව ඔහු මාධ්‍ය හමුවක් තබමින් කීවේය.
ඔහු මේ සංවාදය ගැන සඳහන් කරමින් පවසන්නේ නාලක සිල්වා මහතා තමන්ට හඳුන්වා දෙන්නේ පොලිස්පතිවරයා විසින් බවය. ඔහු හොඳ පොලිස් නිලධාරියකු බවත් ඔහුත් සමඟ ගනුදෙනු කරන ලෙසත් පොලිස්පතිවරයා විසින් නිර්දේශ කර ඇත. ඉහත සඳහන් වූයේ එසේ නිර්දේශ කළ පුද්ගලයා සමඟ සිදුකරන ලැබූ දුරකථන සංවාදයක පටිගත කළ කොටසකි.
මෙම කතාවේ එක් කොටසක් ආරම්භ කරන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙනි. එනම් ඔහුට හිටපු ආරක්ෂක ලේකම්වරයා ලෙස තවමත් විවිධ පාර්ශව හරහා බුද්ධි තොරතුරු ලැබේ. එහිදී එක් වතාවක් ඒ මහතාට සැලවී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිටින මදූෂ් ප්‍රභූ ඝාතනයකට සූදානම් වන බව කියාය. පසුව එය තමන්ගේ බුද්ධි තොරතුරු මාර්ගයෙන් මාකඳුරේ මදූෂ් හරහාම ගෝඨාභය මහතා සනාථ කරගෙන ඇත. එය සනාථ කරගත් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉහළම තනතුරකට තෙවැනි පාර්ශවයක් හරහා දන්වා ඇතැයි කියැවේ.
කෙසේ වෙතත් මේ සිද්ධිය රහසිගතව සිදුවුණත් පසුගියදා නාමල් නැමැති පුද්ගලයා විසින් සඳහන් කරන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් තමන්ට පැවසුවේ ජනාධිපතිවරයාත් ගෝඨාභය රාජපක්ෂ මහතාත් එක්වීම පාතාලයේ මදූෂ් දමා හෝ නවතන බව කියාය. නාමල් පවසන ආකාරයට මෙය ඝාතන කුමන්ත්‍රණයක් බවට සැකයක් පවතින බව කියයි. මෙකී ඝාතන කුමන්ත්‍රණය වහා සොයා බලන ලෙස ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.
ඒසේම රටේ සහ පොලීසියේ කොඳු නාරටි වන රාජ්‍ය බුද්ධි අංශයත් විශේෂකාර්ය බලකායත් කඩා වට්ටන්නට ඔහු මෙහිදී කුමන්ත්‍රණය කරන බවට ද අදහසක් මතුවෙයි. ඒ සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩ පිළිවෙළක් ඉල්ලන්නේ නාමල්ගෙනි. ඔහු සඳහන් කරන ආකාරයට රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියාව එළවන්න ක්‍රමයක් සකසන ලෙස ඉල්ලන්නේය. ඔහුව සමාජය ඉදිරියේ විරුද්ධවාදියකු ලෙස හංවඩු ගසන ලෙස ද නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉල්ලයි. පසුව ඔහු සඳහන් කරන්නේ බුද්ධි අංශ පුටුවේ වාඩි වී තමන්ගේ වැඩ සීයට පන්සීයකටත් වඩා හොඳින් සිදුකළ හැකි බවය.
එසේ නම් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සීයට පන්සීයේ වැඩේ කුමක්ද? රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා යනු සමස්ත රාජ්‍යයේම ආරක්ෂාව බාරකරු වේ. ඔහු දෙවැනි වන්නේ සේනාධිනායකයාට පමණි. ඔහුට හරි තොරතුරු ලබා දී රාජ්‍යයක් නගා සිටුවන්නත් වැරදි තොරතුරුදී රාජ්‍යයක් වැට්ටීමටත් හැකියාව ඇත. එසේ නම් මෙවැනි කුමන්ත්‍රණකරැවකු මෙතරම් විශාල වගකීමක් සහිත පුටුවකට පත්වී ඉටුකරගන්න යන අරමුණු කුමක්ද? නාමල් පවසන ආකාරයට පාතාලය හරහා ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට ඔහු සූදානම් වනවා නම් ඒ සඳහා පාර කපාගන්න සුදානම් වන්නේ මේ පුටුවේ වාඩිවීම හරහාද?
චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය සමයේ සුනඛ අංශය භාර සහකාර පොලිස් අධිකාරි උඩුගම්පළ විසින් මිලේනියම් සිටි පාවාදීම සිදුකළ හැටි කාටත් මතකය. මෙය ඊටත් එහා පාවා දීමක් වැනිය. එදා ඔහු කළ දෙයින් බුද්ධි අංශ නිලධාරීහු රැසක් එල්.ටී.ටී.ඊ.ය අතින් ඝාතනය වූහ. ඊට පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයකට එවැනිම පොලිස් නිලධාරියෙක් කොටු විය. ඔහු එම කුමන්ත්‍රණය කිරීමට පෙර අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට කොටු වුණේය. ඔහු එදින අසු නොවුණේ නම් අවසානයේ ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්ත වීමට නියමිතව සිටියේය. ඔහු වෙනත් කවුරැත් නොව සහකාර පොලිස් අධිකාරි ලක්ෂමන් කුරේය.
එවැනි කාලයන් රැසක් පසුකර පැමිණි වර්තමානය තුළ යුදමය වාතාවරණයක් හෝ ගැටලුකාරී වාතාවරණයක් නැත. දැන් ඇත්තේ යහපාලනයයි. එවැනි මොහොතක මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා ඝාතන කුමන්ත්‍රණයක් සිදුකරන්න උත්සාහ කරන්නේ කාගේ උවමනාවකටද? මෙය බැලූ බැල්මට දේශපාලන පළිගැනීමක් හා සමානය. එසේ නම් ඔහු ඒ සඳහා තෝරාගන්නේ සුදුසුම තැනය. ඒ රාජ්‍ය බුද්ධි ඒකකයි.
ඔහු එයින් නවතින්නේ නැත. ඔහු ඊළඟට පවසන්නේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයාට ප්‍රභූ ආරක්ෂාව සපයන විශේෂ කාර්ය බලකායේ ප්‍රධානියා එම ස්ථානයෙන් එළවන ලෙසය. එය අඩපණ කිරීමට කුමන්ත්‍රණය කරන ලෙස ඔහු පවසයි. බලය බිඳ දමන ලෙස ඉල්ලයි. ඔහු මේ ආකාරයෙන් කියමින් සුදානම් වන්නේ පොඩි වැඩකට නොවන බව බැලූ බැල්මට කුඩා දරැවකුට පවා පේන දෙයකි. මෙහි ඇත්ත කුමක්ද? සැබවින්ම මෙය කුමන්ත්‍රණයක්ද? නැතහොත් මෙය කයිවාරුවක් ද යන්න හෙළි කළ යුතුය.
මෙහි බරපතළ තත්ත්වය නම් ඔහුගේ මේ කුමන්ත්‍රණය පිටුපස සිටින පුද්ගලයා කවුද යන්න සොයා ගැනීමය. එය අනාවරණය කරගන්නා තෙක් ඉදිරියට යා නොහැක. මෙවැනි පුද්ගලයකු යහපත් අයකු ලෙස පොලිස්පතිවරයා නම් කළේ කෙසේද යන්නත් ගැටලුවකි. මේ සියලු ගැටලුවලට පිළිතුරැ සොයාගැනීම අවශ්‍යය.
නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසන ආකාරයට බෞද්ධ සංවිධාන නියෝජිතයකු වන ඩෑන් ප්‍රියසාද්, මහසෝන් බලකායේ කැඳවුම්කරු අමිත්ත යන අයත් විනාශ කරන ලෙස ඉල්ලා සිටින බවට ද චෝදනා එල්ල වෙයි. මොහු මේ නීතියට පිටින් සිදුකිරීමට සැලසුම් කළ නාඩගම පොඩි පහේ වැඩක් නොවන බව බැලූ බැල්මට පේන දෙයකි.
පසුගිය ආණ්ඩුවට එල්ලවුණු ලොකුම චෝදනාව වූයේ ආරක්ෂ අංශවල පිරිසක් නීතියට පිටින් වැඩ කිරීමය. එසේ නම් යහපාලනය තුළ මේ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ඔහුත් සමඟ සිටින පිරිස පිඹුරැපත් සකසන්නේ කුමකටද? පොලීසිය යනු ආරක්ෂාව වෙනුවට මරණ සහතික ලබාදෙන ස්ථානයක් නම් තවත් කුමන කතාද?
ඔහු පිට අයට පමණක් නොව තමන්ගේම අයට ද වින කටින පුද්ගලයකු බව පැහැදිලිය. මේ නිසා ඇතැම් පොලිස් නිලධාරීන්ගේ ජීවිත අවදානමක ඇති බව බැලූ බැල්මට පෙනේ. ඒ පිළිබඳව ඇතැම් නිලධාරීන් ජනාධිපතිවරයාට පැමිණිලි කිරිමට තීරණය කර ඇත. ඇතැම් අය පොලිස් කොමිසමට පැමිණිලි කර ඇත. මේ සියල්ල මැද පොලිස්පතිවරයා පොලිස් විශේෂ ඒකකයට මේ ගැන සෙවීමට නියෝග කර ඇත. ඒ නිසා ඉදිරියේදී මේ කතාවේ ඇත්ත නැත්ත සහ සැබෑ කුමන්ත්‍රණකරැවන් හෙළිවනු ඇත. එතෙක් මේ කතාව මෙතැනින් නවත්තන්නේ ප්‍රශ්න රුසක් සමාජය ඉදිරියේ තබමිනි.
ජනපති පොලිස් ලොක්කන් හමුවෙයි
පසුගිය සිකුරාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට පෞද්ගලික මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් අතර හමුවේදී ජනපති සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණය ගැන ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රධානීන් ගණනාවක් ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළහ. එවිට ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ තමනුත් ගෝඨාභය රාජපක්ෂ මහතාත් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට විවිධ ක්‍රියාමාර්ග ගත් නිසා නැගෙනහිර පළාතේදී මෙම ඝාතන සැලසුම ක්‍රියාත්මක කරන්න තිබුණු බවට තොරතරු ලැබුණු බවයි. තමන් ඒ සම්බන්ධව පොලිස්පතිවරයා සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවද ජනාධිපතිවරයා පැවසීය. එවිට මාධ්‍ය ප්‍රධානින් ප්‍රශ්න කළේ පොලිස්පතිවරයගෙන් මේ බරපතළ ප්‍රශ්නයට සාධාරණ පරික්ෂණයක් ලැබෙන්නේදැයි විශ්වාස කරන්නේද යන්නයි. එසේම පොලීසියේ සමහරුන්ට මේ බරපතළ ප්‍රශ්නය යට ගැසීමට අවස්ථාවක් නැද්ද යන්නත් මාධ්‍ය ප්‍රධානීහු විමසා සිටියහ. එවිට ජනාධිපතිවරයා සඳහන් කළේ දැනට මෙම පරීක්ෂණය පොලීසියේ ඉහළ නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන විශේෂ විමර්ශන ඒකකය මගින් සිදුකරන බවත් මූලික කරුණු විමර්ශනයෙන් පසුව එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරනු බවත්ය. එසේම මේ ගැන පුළුල් විමර්ශනයක් සිදුකිරීම සඳහා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කැඳවා සිකුරාදා දිනයේ උපදෙස් ලබාදෙන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. මෙහිදී මාධ්‍ය ප්‍රධානීන් ප්‍රශ්න කළේ මෙවැනි පරීක්ෂණ සිදුකරණ විට අදාළ නිලධාරීන්ගේ වැඩ තහනමක් සිදුකර අදාළ පරීක්ෂණ සිදුකළ යුතුනේදැයි කියාය. එයට ජනාධිපතිවරයා පැවසුවේ ඉදිරියේ පියවර ගන්නා බවය.
ගයාන් ගාල්ලගේ