2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා

නාවික හමුදාවෙන් ජීවිත දානය ලැබූ මිණිමුතු මෝරා...

 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 431

මත්ස්‍යයින්ගේත් මෝර පවුලේත් විශාලතම සත්වයා බව කියන දුර්ලභ මිණිමුතු මෝරකු සැඩපහරට හසුවී මුලතිව් අලම්පිල් වෙරළට ගොඩගසා සිටියදී නාවික හමුදා භට පිරිසක් විසින් නාවික යාත්‍රා උපයෝගී කොටගෙන මුහුදු සැතපුම් තුනක් පමණ ඈත මුහුදට රැගෙන ගොස් මුදාහැරීමට ක්‍රියාකර තිබුණි. කිලෝග්‍රෑම් 9000කට අධික බරකින් හා මීටර් 7කට වැඩි දිගකින් යුත් මේ මිණිමුතු මෝරා මෝර විශේෂ හැටකට අධික ප්‍රමාණයක් අතුරින් ලොව විශාලතම වර්ගයේ මෝරකු බවට වාර්තා විය.

මුලතිව් අලම්පිල් වෙරළට විශාල මෝරකු ගොඩගසා ඇතැයි ධීවර පිරිසකගෙන් ලද තොරතුරක් අනුව මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාලයට අනුයුක්ත ධීවර පරීක්ෂක මොහාන් කුමාර මහතා විසින් අලම්පිල් පිහිටි නාවික හමුදා අනුඛණ්ඩය වෙත දැනුම් දී ඇත. එහිදී නැගෙනහිර නාවික විධානයට අයත් නාවික නෞකා ගෝඨාභය කඳවුරේ අණදෙන නිලධාරිවරයාගේ සහ සෙබළු පිරිසකගේ මැදිහත්වීමෙන් ගොඩගසා සිටි මෝරා දියඹට රැගෙන යාමට පියවර ගෙන තිබුණි.

වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා සිටින මත්ස්‍ය විශේෂයක් ලෙස හඳුන්වන මිණිමුතු මෝරා ශ්‍රී ලංකාවේ ඇල්ලීම නීතියෙන් තහනම්ය. ඉංග්‍රීසි භාෂාවෙන් Whale Shark ලෙස හඳුන්වන මිණිමුතු මෝරාගේ විද්‍යාත්මක නාමය Rhincoclon Typus වේ. අවුරුදු 70-100ත් අතර ආයුෂ කාලයක් හිමි මේ මෝරාගේ ශරීරය පුරාවට විහිදී තිබෙන සුදු පැහැති තිත් විශේෂය නිසා මිණිමුතු මෝරා නමින් හඳුන්වයි. මුහුදේ නිවර්තන හා උණුසුම් සාගර කලාපවල හුදෙකලාව ජීවත්වන මත්ස්‍යයෙක් වන මිණිමුතු මෝරා තායිලන්තය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව ඇතුළු සාගර කීපයක වාසය කරයි. කුඩා දරුවකු හඬන ශබ්දයට සමාන හඬක් නිකුත් කරන සත්වයා කිමිදුම්කරුවන් හා ඉක්මනින් සමීප වන බව කියති.

වරකට එක් පැටවකු පමණක් බිහිකරන බවට තොරතුරු වාර්තා වන මිණිමුතු මෝර ගහණය අඩුය. එබැවින් ඔවුන්ගේ ව්‍යාප්තිය අවම නිසා ලංකාවේ මෙන්ම ලොව පුරා මේ සත්ව විශේෂය සංරක්ෂණය කිරීම සිදුකරයි. ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයේ මිණිමුතු විශේෂය හැර කසමෝර විශේෂ තුනක් සහ පොල්කොළ මෝරු විශේෂය ඇතුළුව මෝර විශේෂ 5ක් වාර්තා වන බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ නියෝජිත ආයතනය වාර්තා කරයි. පරිභෝජනය සඳහා නොගන්නා මෙකී මත්ස්‍ය විශේෂය වාර්තා වන්නේද කලාතුරකිනි. එබැවින් මිණිමුතු මෝරුන් දඩයම් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වන බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ නියෝජිත ආයතනය සඳහන් කරයි. දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාවේ සාගර කලාපවලදී මාරාන්තික ප්‍රහාර එල්ල කරන මෝර විශේෂ අතර Great White සහ Bull Shark වාර්තා වුවද එවැනි සිදුවීම් ඉතා විරලය.

මේ වනවිට ලොව විශාලතම මෝර විශේෂය ලෙස වාර්තා වන්නේ මීටර් 12ක් පමණ දිගට වැඩෙන මිණිමුතු මෝරාය. ලෝක සංරක්ෂණ සංගමයේ දත්ත අනුව හඳුනාගෙන ඇති මෝර විශේෂ අතරින් බහුතරයක් මේ වනවිටත් වඳ වී යාමේ තර්ජනයට මුහුණදී සිටිති.

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර 
සේයාරූ I නාවික හමුදා මාධ්‍ය ඒකකය