
බාල වයස්කාර පාසල් සිසුවියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්තඩංගුවට ගත් තම පුතා එල්ලා මැරීමට විරුද්ධත්වයක් නොමැති බව අධිකරණයට ප‍්‍රකාශ කරන බව කියා ලියුමක් ලියූ ආර්. කේ. කුසුමාවතී නමැති මාතාවක් සසර කලකිරී රාජාංගනයේ ධම්ම දිත්තා තෙරණිය ලෙසින් මෙහෙණි සසුනට එක්වූවාය. හිමියාල, පළුගොල්ල කුණ්ඨගල ආරණ්‍ය සේනාසනයේ මෙහෙණි සසුනට මේ මාතාව එක් වූයේ අනේක විධ වූ දුක් කම්කටොළුවලින් පිරුණු මේ සසර ගමන කෙටි කර ගැනීමේ උදාර සිතිවිල්ල පෙරදැරි කර ගෙනය. ඒ පසුගිය 11 වැනිදා දහසක් බුදුවරුන් බුදුවන හිමිදිරි උදෑසනකය.
හිමිදිරි උදෑසන සුපිපි පින්න මලක් බඳු වූ මධුෂාණි පදිංචිව සිටියේ ගිරිබාව සාලා අශෝකපුර යාය දෙක ප‍්‍රදේශයේය. මධුෂානිගේ රුවට ලෝබ බැඳි පාපතර සල්ලාලයෙක් නිසා ඇය ජීවිතයට සමුදුන්නේ සිය ජීවිත ගමනේ 17 වැනි සැතපුම් කණුව පසුකරමින් සිටියදීය. පාපතර සල්ලාලයා ඔහුගේ කාමුක ආශාවන් ඇයගෙන් බලහත්කාරයෙන් සංතර්පනය කරගැනීමට උත්සාහ කරද්දී ඇය අවසන් හුස්ම පොද වා තලයට මුසුවන තෙක්ම ඒ පාපතරයා හා සටන්වැදී සිය කුමරි බඹසර රැක ගත්තාය.
සිය ජීවිතයට සමුදෙන විට ඇය සිටියේ ගිරිබාව මධ්‍ය මහා විද්‍යාලයේ 2017 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සුදානමින්ය. මේ ඝාතනය සිදු වූයේ පසුගිය වසරේ අගෝස්තු මාසයේ දිනකය.
මධුෂානිගේ ඝාතනයට ගිරිබාවේ පොලීසිය සැකපිට අත්අඩංගුවට ගත්තේ කුසුමාවතී මහත්මියගේ එකම පුතා වන කුලසේනගේ හර්ෂිත සමන් කුමාර (36) නමැත්තාය. මධුෂානිගේ පියා ගල්ගමුව මිනින්දෝරු කාර්යාලයේ සේවය කරන අතර මව සුළු රුකියාවක නිරතව සිටියාය.
මේ සාහසික අපරාධය සිදුකර තිබුණේ මධුෂානි නිවසේ රූපවාහිනිය බලමින් සිටියදීය. මව හා පියා රැකියාව සඳහා ගොස් තිබුණි. ඇය නිවසේ සිටියේ තනිපංගලමේය. ගිරිබාව පොලීසියේ එවකට ස්ථානාධිපතිවරයාව සිටි කේ. පී. සී දීපාල් මහතා ප‍්‍රධාන පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ පැරකුම්පුර සිට තඹුත්තේගම බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක නැගී පලා යමින් සිටියදීය. ඒ ගම්මුන් පිරිසක් යන බස් රථයේ අසුනක් යට සැඟවී සිටියදී අල්ලා හොඳ හැටි පහරදීමෙන් පසුවය.
කරුණාවතී මහත්මිය රට රස්සාවකට ගොස් බොහොම දුක් මහන්සියෙන් හරි හම්බ කරගෙන තනා ගත් නිවස ගිනි තැබූ තවත් නරුමයන් පිරිසක් එයින් ද නොනැවතී ඇයගේ නිවසේ බඩු, ලක්ෂ ගණනක් වටිනා දේපල ද සොරාගෙන ගොස් තිබුණි. කරුණාවතී මහත්මිය ඒ වන විටත් ගමෙන් පලා ගොස් තිබුණේ මේ නරුමයන් අතින් තමාගේ ජීවිතයට හානි සිදුවෙතැයි බියට පත්වය.
“සහාසික අපරාධකරුවකුගේ මවක් වීමට තරම් අවාසනාවන්ත වූ මාගේ හද තුළ කකියන වේදනාවට මඳකට සවන් දෙන්න යැයි කියමින් ලිපියක් ලියූ ඇය මේ සාහසික අපරාධය කළ මිනීමරුවා එල්ලා මරණවට විරුද්ධත්වයක් නොමැති බව අධිකරණයට ප‍්‍රකාශ කරමි” යැයි ද සඳහන් කර එය එවකට නිකවැරටිය සහකාර පොලිස් අධිකාරි වර්තමානයේ අගමැති ආරක්ෂක කොට්ඨාසයේ රාජකාරි කරන අනුර දෙල්ගහපිටිය මහතාට යැවූ අතර එය මධුෂානිගේ අවසන් කටයුතු සිදු කළ දිනයේ පාංශුකූලයට වැඩම කළ හිමිනමක් විසින් කියවා ඇත. මධුෂානිගේ මරණයෙන් පසු ඇයගේ මව්පියන් සේම කරුණාවතී ද දුක් වූවාය.
“එදා මධුෂාණි දියණියගේ අවමගුල් උත්සවයට යන්න මට ලොකු ආශාවක් තිබුණා. එදා මගේ ජීවිතයට හානියක් වෙයි කියලා බයටයි මම ගියේ නැත්තේ. එහෙම අවස්ථාවක් මට ලැබුණානම් ඒ පුංචි එකීගේ මිනිය ළඟ දණින් වැටිලා සිය දහස්වාරයක් සමාව ඉල්ලනවා. පුතා වුණත් අපරාධයක් කළා නම් ඒකට දඬුවම් ලැබෙන්න ඕනෑ. අර විදිහට ලියුමක් ලිව්වේ මගේ හිතේ තිබුණ මහා වේදනාව ටිකක් හරි අඩු කර ගන්නයි. දරුවාගේ තාත්තා පොළවල්වල බිස්නස් කළා. අපි හොඳින් පවුල් කෑවා. කාටවත් කරදරයක් හිරිහැරයක් නැතිව ගමේ ජීවත් වුණා. දරුවාගේ තාත්තා 2000 වසරේ කරන්ට් වැදිලා මිය ගියාට පස්සේ ආර්ථික ප‍්‍රශ්න ගොඩක් ආවා. ඒ හින්දා මම මැදපෙරදිග රැකියාවකට ගියා. පුතාව නැන්දා කෙනකුට බාර දීලා තමා රට ගියේ. වසර 13ක් විතර මැදපෙරදිග රටක ගෘහ සේවිකාවක් වශයෙන් දහ දුක් විඳලා සල්ලි හම්බ කරලා පුතාගේ වියදමටත් සල්ලි එව්වා. පුතා 8 වැනි පන්තියට විතරයි ඉස්කෝලේ ගියේ. පුතාට ලියන්න කියන්න බැහැ. යාන්තමට අත්සන ගහන්න පුළුවන්. පුතාට තියෙන ආදරේට මම වෙනත් විවාහයක් කරගන්න හිතුවේ නැහැ.
මරා දාපු මධුෂාණි දුව මම හොඳට දන්න හඳුනන කෙනෙක්. අපේ අසල්වැසියෙක්. මේ සිද්ධියෙන් පස්සේ ගමේ කට්ටියත් මම බොහොම දුක් මහන්සියෙන් හරි හම්බ කරලා ගත්තු රූපවාහිනී 3ක්, ශීතකරණය, විදුලි උපකරණ ඇතුළු ලක්ෂ ගාණක දේපල පිරිසක් සොරකම් කරගෙන ගිහින් පස්සේ ගෙටත් ගිනි තියා තිබුණා. මේවා සොරකම් කරගෙන ගිය පිරිසෙන් සමහර දෙනෙක් ඒවා විකුණා හෙරොයින් පානය කර තිබෙනවා කියා ඒ අයට විරුද්ධව පොලීසියේ එන්ට්‍රියක් දාන්න කියා මට උපදෙස් දුන්නත් මම පොලීසියට ඒ ගැන පැමිණිලි කරන්න ගියේ නැහැ. දේපලවලට මගේ කිසිම ඇලීමක් ඒ වෙනකොට තිබුණේ නැහැ. මධුෂාණි දියණියගේ සිද්ධියෙන් පස්සේ මම හොඳටම කලකිරිලා හිටියේ. මේ සිද්ධීන්වලට මධුෂාණි දියණියගේ පවුලේ කිසිම කෙනෙක් සම්බන්ධ නැහැ.
මම ගොඩක් කාලයක ඉදලා බණ භාවනාවල යෙදුණු කෙනෙක්. මේ අපරාධය වුණාට පස්සේ මට ජීවිතය ගැන ලොකු කලකිරීමක් ඇති වුණා. ඒ අනුව තමා මහණදම් පිරීමට තීරණය කළේ. මේ තීරණය ගත්තාට පස්සේ මම පුතාව බලන්න බන්ධනාගාරයට යන්න කල්පනා කළා. පුතා ඉන්නේ වාරියපොළ හිරගෙදර. මීට සති දෙකකට විතර කලින් ගියා, කෑම බීම එහෙම අරගෙන ගියේ. පුතාට ඒවා කන්න දීලා මම මහණ වෙන බව කිව්වා. කවදාහරි නිදහස ලබා ගැනීමට අවස්ථාව ලැබුණොත් මහණ වෙන ලෙස පුතාගෙන් ඉල්ලීමක් කළා. පුතා මගේ ඉල්ලීමට කැමති වුණා.
ආදරණීය මධුෂාණි දියණිය වෙනුවෙන් එයාගේ පරලොව ජීවිතය සැපවත් කරන්නට මම එදා ඉඳලා පිංකම් කළා. මධුෂාණි දියණියට පිං පිණිස මම අනුරාධපුරය රඹෑවේ මහකන්ද ආරාණ්‍ය සේනාසනයේ බෝධි ප‍්‍රකාරය ලක්ෂ 05 ක පමණ වියදමක් දරා ඉදිකර පූජා කළා.”
මෙතෙක් මෙය ඔබ කියෙව්වේ කුසුමාවතී මාතාව මෙහෙණි සසුනට එක්වන්න දින 05 කට පමණ කලින් අප සමඟ දුරකථනයෙන් සම්බන්ධ වී කී කතාවයි.
ආර්.කේ. කුසුමාවතී මාතාව මෙහෙණි සසුනට එක් වූයේ ධම්මදින්නා තෙරණිය ලෙසිණි. රාජාංගනයේ ධම්මදින්නා තෙරණිය මෙහෙණි සසුනට එක්වී හෝරා පහකට පමණ පසු නැවත වරක් මා සමඟ දුරකථනයෙන් ආරණ්‍ය සේනාසනයේ සිට සම්බන්ධ වෙමින් “අද මගේ හිතට කියන්න බැරි තරම් ලොකු සතුටක්, සැහැල්ලුවක් දැනෙනවා. සසර ගමන කෙටි කරගෙන අවසානයේ නිවන් දැකීමට අධිෂ්ඨාන කරගෙන භාවනායෝගීව වැඩ වාසය කරනවා. මගේ හිතේ තවත් වෙනත් අධිෂ්ඨානයක් තියෙනවා. එනම් ඉදිරියේදී අවස්ථාවක් ලැබුණහොත් මධුෂාණි දැරියගේ ගෙදරට වැඩම කරවා ඒ දියණියට පිං පැමිණීමට ධර්ම දේශනයක් කිරීමයි. පුතා බැහැ දැකීමට බන්ධනාගාරයට යන්න නම් මගේ බලාපොරොත්තුවක් තවම නැහැ” යැයි පැවසූවාය.
නිකවැරටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරි සංජීව බණ්ඩාර සහ නිකවැරටිය සහකාර පොලිස් අධිකාරීවරයා සහ අනුර දෙල්ගහපිටිය යන මහත්වරුන්ගේ උපදෙස් මත මධුෂාණි සිසුවියගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විණි.
►ශ‍්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය