2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා

ලංකාවේ දේශපාලකයොත් පස්සෙන් යන ශ්‍රී රවි ශංකර් කවුද?

 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 384

රාජ්‍යතාන්ත්‍රිකයන් අනාවැකි අසන්නට යොමුවීම, නැතහොත් ඉදිරිය සාර්ථක කරගැනීම සඳහා සුවිශේෂ අයගෙන් උපදෙස් ගැනීමට පෙළඹීම අද ඊයේ අලුතින් සිදුවුවක් නොවේ. රජවරු, රජ මැතිවරු, රාජ බිසෝවරු පවා ඉතිහාසය පුරා එවැනි අනාවැකි විමසීම්වල විවිධ අයුරින් යෙදී ඇත්තාහ. අද ද මැතිඇමැතිවරුන්, ඉන්දියානු කෝවිල් වන්දනා කරමින් හා ඍෂිවරුන් හමුවට යමින් කරන්නේ එදා කළ කාරියමය.

විලියම් ශේක්ස්පියර්ගේ මැක්බත් ශෝකාන්තයේ මැක්බත් චරිතයෙන් ඊට හොඳම උදාහරණය ඉදිරිපත් වී තිබේ. තම විචාර බුද්ධිය පසෙක තබන මැක්බත් අනාගතය ගැන අනාවැකි අසන්නට යක්දෙස්සියන් ළඟට යයි. යක්දෙස්සියන්ගේ අනාවැකිය හරිහැටි තේරුම් ගන්නට ඔහු අසමත් වෙයි. බලය තහවුරු කර ගැනීම සඳහා ලේ ගංගාවක් හලන මැක්බත් බල තණ්හාව නිසා මරු වැළඳගනී.

රටක ප්‍රශ්නවලින් තම මානසික ආතතිය ප්‍රගුණ වෙද්දී, තමාට එරෙහි සතුරු බලවේග පසෙකින් තර්ජන එල්ල කරද්දී බොහෝ රාජ්‍ය නායකයෝ තම විචාර බුද්ධිය පසෙක තබා අනාවැකි අසන්නට පෙළඹුණෝය. එහෙත් කිසිම රාජ්‍ය නායකයකු පැරදෙන දිනය හෝ මියයන දිනය පේන කියන්නකු නිවැරදිව කී බවක් මෙතෙක් අපි නොදනිමු. රාජ්‍ය නායකයන්ගේ ජය ගැන අනාවැකි කී කිහිපදෙනකු තවමත් පොදුජන උපහාසයට ලක්වනු පෙනේ.

අපේ රටේ නායකයන් කට්ටඩියන් ගෙන්වාගෙන විවිධ ගුරුකම් කරගත් බව අපි අසා ඇත්තෙමු. ඊට අමතරව ඉන්දියාවට ගොස් ඉන්දියාවේ කෝවිල්වල පුදපූජා පවත්වා, දේවාශිර්වාදය ඉල්ලූ නායකයන්ගේ ඡායාරූප ද අප දැක තිබේ. ඉන්දියාවේ තිරුක්කෝවිල්හි රාජ්‍ය නායකයන් පිළිගන්නා දොරටුවක් වෙනම ඇතිබව කියැවේ.

මෙරට බැතිමත්හු සහ ඇතැම් දේශපාලකයෝ පසුගිය කාලයේ ඉන්දියාවට ගොස් සායි බාබා මුණගැසී ආශිර්වාද ලබාගන්නට පුරුදු වී සිටියහ. පසු කාලයේදී සායි බාබාගේ ඉන්ද්‍රජාල (මැජික්) පමණක් නොව ළමා අපචාර ගැනද කරුණු අනාවරණය වූ විට එම බැතිමතුන්ගේ ලෝකය දෙදරා ගියේය. වරෙක සායි බාබා මවා තිබුණේ ස්විට්සර්ලන්තයේ නිෂ්පාදිත අත්ඔරලෝසුවකි. වීඩියෝගත කොට හෙළිකරන සායි බාබාගේ විජ්ජා දැන් අන්තර්ජාලයේ ප්‍රදර්ශනය වේ. ඔහුට එරෙහි අපචාර චෝදනාද සවිස්තරව අන්තර්ජාලයෙන් කියවාගත හැකිය. අප රටේ ඇතැම් පන්සල්වල ද සායි බාබා උදෙසා බජන් ගීත ගැයූ බව නොරහසකි.

ඉන්දියාවේ ශ්‍රී රවි ශංකර් හමුවන්නට අපේ නායකයන් කිහිපදෙනකු උත්සාහ කරන බවට කතාවක් පැතිරෙන්නේ මේ අතරය. එහෙත් ඔහුගෙන් ඒ සඳහා දිනයක්, වේලාවක් නොලැබුණු බවද පැවසේ. ඔහුද අනාවැකි පවසන තවත් එක් ඍෂිවරයකු යැයි ඕනෑ කෙනකුට සිතිය හැකිය. ඔහු ගැන සොයා බැලීමේදී අනාවැකි කියන ඍෂිවරුන්ට වඩා විශේෂයක් ඔහු වෙතින් පළවෙන බව පෙනී ගියේය. ඔහුගේ ඉගැන්වීම් බොහෝමක් අද්භූත හෝ ඉන්ද්‍රජාලික බලවේග කෙරෙහි විශ්වාසය තබමින් ඉදිරිපත් කරන ඒවා නොවන බව පෙනී යයි. ඔහු පවසන බොහෝ අදහස් විචාර බුද්ධිය ආමන්ත්‍රණය කරන ඒවාය.

ශ්‍රී ශ්‍රී හෝ ගුරුජී යන ගෞරවණීය නාමයෙන් හඳුන්වන රවි ශංකර් 1956 උපත ලැබූ අයෙකි. ඔහු කරන ප්‍රජා මෙහෙවර රාශියක් ඉටුකරනු ලබන්නේ Art of Living (ජීවත්වීමේ කලාව) නම් පදනම හරහාය. ශ්‍රී ලංකාවේද ශාඛාවක් ඇති මෙය ඔහු ආරම්භ කොට ඇත්තේ 1981 වර්ෂයේදීය. එම පදනමේ දැක්ම ලෙස සඳහන් වන්නේ, පුද්ගල ආතතිය, සමාජ ගැටලු හා සැහැසි බවෙන් මුදවා සහනය සලසා දීමයි. ශ්‍රී රවි ශංකර් හට 2016 දී ඉන්දීය රජයෙන් පිරිනමන පද්ම විභූෂන් සම්මානය පිරිනමා තිබේ. ඒ හැරැණුකොට ඔහු පීරු, කොළොම්බියා හා පැරගුවේ යන රටවල ගෞරව සම්මානයට පාත්‍ර වී ඇත. ඔහුගේ ගුරුවරයා වූයේ මහා ඍෂි මහේෂ් යෝගිවරයාය. ඔහුගේ පුද්ගල දැක්ම ලෙස සඳහන් වන්නේද සැහැසි බවෙන් මිදුණු ආතතියෙන් තොර ලොවක් තැනීම බවයි.

ඔහුගේ භාවනාවල මූලික තැනක් ගන්නේ ශ්වසනය මූලික කොටගත් අභ්‍යාසයන්ය. ශ්වසනය මගින් ශරීරයත් මනසත් එක් කරන සම්බන්ධතාවක් ගොඩනැගෙන බව පවසන ඔහු ශ්වසනය ඉහිල්වූ (Relax) මනසක් ඇතිකිරීමේ මෙවලමක් ලෙස ක්‍රියා කරන බව කියයි.

ඉන්දියාවේ වැඩවාසය කරමින් පඬි වදන් දෙසන වෙනත් (ඍෂිවරුන් යැයි කියාගන්නා) අයට වඩා තවත් විශේෂයක් මොහු තුළ ඇති බව පෙනේ. එනම් තම දැක්ම සාක්ෂාත් කරනු සඳහා, ලෝකයේ ප්‍රචණ්ඩතාව පවතින ප්‍රදේශවලට ගොස් සාම සාකච්ඡා පැවැත්වීමේ මැදිහත්කරුවකු ලෙස ක්‍රියා කිරීමයි. ලතින් අමෙරිකාවේ මෙවැනි ප්‍රයත්නයන් රාශියක් ඔහු දරා ඇති අතර කොළොම්බියාවේ වාමාංශික ගරිල්ලන් හා එරට රජය අතර සටන් විරාමයක් ඇතිකරවන්නට ක්‍රියාකාරීව මැදිහත් වී තිබේ. එය අවුරුදු පහක් තිස්සේ පැවති සටනකි. මේ ආකාරයේ මැදිහත්වීම් ඉන්දියාවේ සන්නද්ධ අරගල පැවැති සෑම ප්‍රදේශයකම ඔහු සිදුකර තිබේ. මනිපුර්හි සන්නද්ධ ත්‍රස්තයන් 68ක් ඔහුගේ කීම අසා රජයට අවනත වී ඇත.

මෙවැනිම උත්සාහයක් දරමින් ඔහු 2006 සැප්තැම්බර් 21 වැනිදා එවකට පැවති ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකාවේ උතුරුකරයට පැමිණ ප්‍රභාකරන් හමුවන්නට උත්සාහ දරා ඇති අතර ප්‍රභාකරන් ඔහු හමුවට ඒම ප්‍රතික්ෂේප කළේය. 2009 යුද්ධය නිමාවීමෙන් අනතුරුව ඔහු ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් අවතැන්ව කඳවුරැවල වාසය කළ ජනයා ද්‍රවිඩ බසින් ඇමතුවේය.

2016 මැයි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි ඔහු එහිදී ජනාධිපතිතුමන්, අගමැතිතුමන් සහ සංඝයා වහන්සේලා හමුවූයේය. මේ සියලු සාකච්ඡා සඳහා ඔහු සහභාගි වී ඇත්තේ සාමය පෙරදැරි කරගත් තම අරමුණු ඉටුකරගැනීමටයි.

පුද්ගල ආතතිය දුරු කිරීම මගින් සහනය සැලසීම ඔහුගේ එක් අරමුණක් නිසා පුද්ගල ආතතිය ගැන ඔහු පළකොට ඇති අදහස්වලින් බිඳක් මෙහි සටහන් සටහන් කරනු වටී. පුද්ගල ආතතිය දැනීමට හේතුවන මූලික කාරණා 2ක් ඇත. එක් කාරණයක් නම් වැඩ කන්දරාව වැඩිවීමයි. අනෙක් කරුණ සීමිත කාලයයි. වැඩ කන්දරාව අඩුකරගැනීමෙන් හෝ ඒවා කිරීමට ඇති කාලය වැඩිකරගැනීමෙන් ආතතිය අඩුකරගත හැකිය. සීමිත කාලයක් තුළ වැඩකිරීම සඳහා පුද්ගල ශක්ති මට්ටම වැඩිකරගත යුතුය. මේ සඳහා පමණට වැඩි නොවන ප්‍රමාණවත් පෝෂ්‍යදායී ආහාර ගත යුතුය. පැය 6-8ක නින්දක් ලබාගත යුතුය. ඊට අමතරව ශරීරය සහ මනස ඉහිල්ව (Relax) තබාගැනීම සඳහා ශ්වසනය මූලික කරගත් භාවනාවල යෙදිය යුතු වේ. දිනකට විනාඩි 15-20ක් ශ්වසනය මූලික කරගත් භාවනාවේ යෙදිය යුතුය. එසේ භාවනා කිරීමත් ආහාර ගැනීමත් සවස් වරුවේ කිරීම වඩාත් යෝග්‍ය බව කියා ඇත.

මෙසේම, කේන්තිය, සාංකාව, ආශාව, බිය යන මනෝභාවයන් නිසි සේ පාලනය කරගැනීමටත් කරුණාව වර්ධනය කරගැනීමටත් ප්‍රගුණ කළ යුතු අභ්‍යාසයන් ඔහු යෝජනා කර සිටී. පරිසර දූෂණය වැළැක්වීම සම්බන්ධව ඔහු කරන යෝජනා ඵලදායී ඒවාය. දේව විශ්වාසවල හෝ අද්භූතවාදයේ එල්බගත් විසඳුම් ඔහු යෝජනා කර ඇති බවක් නොපෙනේ. එසේ වුවද ඔහු දේව සංකල්ප බැහැර කර ඇති බවක්ද නොපෙනේ.

නක්ෂත්‍රය සම්බන්ධව ඔහු ඉදිරිපත් කර ඇති මතය සම්ප්‍රදායික නක්ෂත්‍ර පිළිබඳ මතවලින් බැහැර වන්නක් නොවේ. තනි පුද්ගලයකුගේ ඇඟිල්ලකට පවා ග්‍රහ වස්තූන්ගේ බලපෑම ඇතිබව කියා සිටියත් සම්ප්‍රදායික ජ්‍යොතිෂ්‍ය පිළිබඳ මතවාද මිස එහි අලුත් අදහසක් ඇති බවක් හෝ ඒ බව සනාථ කරන පිළිගත හැකි මතයක් ඔහු ඉදිරිපත් කළ බවක් දැකගත නොහාක. එහෙත් ඔහු මානව ගැටලුවලට ඉදිරිපත් කරන විසඳුම් බොහෝමකට එම මතවාද සම්බන්ධ වන බවක් නිරීක්ෂණය වූයේ නැත.

ශ්‍රී රවි ශංකර්ගේ අරමුණ වී ඇත්තේ ඉහත කී ලෙස පුද්ගල ආතතිය දුරුකොට, සාහසික බව බැහැරකිරීම මගින් සාමූහික ලෝකයක සාමය උදාකරගැනීමයි. නමුත් රාජ්‍ය නායකයන් ඔහු හමුවීමට උත්සාහ දරන්නේ මැක්බත් මෙන් තම පෞද්ගලික ආතතිය දුරුකර ගැනීමට පමණක්දැයි සැක සිතේ.

සමන් පුෂ්ප ලියනගේ