2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා

රෙද්දට වැදෙන අලුත් බද්ද

 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 286

මේ වනවිට අපේ රටේ රෙදිපිළි සහ නිමි ඇඳුම් නිෂ්පාදන ව්‍යාපාරය යළිත් අර්බුදයට ලක්ව ඇති බව වාර්තා වේ. එයට හේතුව මෙරටට ආනයනය කරන අමු රෙදි සහ නූල් වෙනුවෙන් බදු කිහිපයක්ම ක්‍රියාත්මක වීමය. මෙම බදු දරාගත නොහැකි වීම නිසා එම ව්‍යාපාරිකයෝ අමාරුවේ වැටී සිටිති.

ආනයනික අමු රෙදි සහ නූල්වලට කිලෝවකට රුපියල් 100 බැගින් සේස් බද්දක් අය කරන අතර, එයට අමතර වශයෙන් එම ද්‍රව්‍ය යොදා යම් නිෂ්පාදනයක් සිදු කළවිට එහි වටිනාකම තවත් සියයට 10ක නිෂ්පාදන බද්දක් පැනවීම මෙතෙක් සිදු කරමින් පැවතිණ. එහෙත් මුදල් අමාත්‍යංශයේ බදු ප්‍රතිපත්තිය අනුව ඒ සියලු ගාස්තු මත යළිත් සියයට 15ක වැට් බද්දක් පනවා ඇත. මේ බදුවල එකතුව සියයට 40ක් පමණ වෙයි.

මෙම විශාල බද්ද කර්මාන්තකරුවන්ට දරාගත නොහැකි අතර, එම බදු හේතුවෙන් මිල වැඩිවීම නිසා නිමි ඇඳුම්වල මිලද විශාල වශයෙන් ඉහළ යාමේ ප්‍රවණතාවක් ඇතිව තිබේ. බදු දරාගත නොහැකි වීමෙන් කර්මාන්තය කඩා වැටීමේ අනතුරකට පාත්‍ර වී ඇති අතර එසේ වුවහොත් මෙයට අදාළව සෘජු සහ වක්‍ර රැකියාලාභී දශ ලක්ෂයක් පමණ සංඛ්‍යාවක රැකියා අනතුරට පත්ව තිබේ. ඔවුන්ගේ ජීවිකා වෘත්තිවලට කණකොකා හඬන තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වෙයි. මෙම කර්මාන්තය ආශ්‍රිත සමස්ත ව්‍යාපෘතිවල වාර්ෂික මෙහෙයුම අමෙරිකානු ඩොලර් කෝටි 100ක් හෙවත් ඩොලර් බිලියනයක් බවද දැනගන්නට තිබේ. රටේ ආයෝජකයන් සඳහා පහසුකම් සලසන බවට ප්‍රචාරය කරන ආණ්ඩුව රට තුළ පවතින ව්‍යාපාරවලට අධික බදු පනවා ඒවා නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කිරීම රටේ ආර්ථික සංවර්ධනයට අහිතකර ලෙස බලපාන බවද පෙනී යයි.

මෙලෙස බදු පැනවීම නිසා පසුගිය දිනවල ආනයනය කළ රෙදිපිළි කන්ටේනර් 200ක් පමණ රේගුවේ හිරවී ඇති බව දැනගන්නට තිබේ. මෙලෙස වැඩිපුර සියයට 15ක වැට් බද්දක් ගෙවීමට සිදුවුවහොත් එය ව්‍යාපාරවලට අහිතකර ලෙස බලපාන බව ව්‍යාපාරිකයෝ කියති. මේ පිළිබඳ වගකිවයුත්තන්ට කරුණු ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳ සහනයක් ලැබේයැයි බලාපොරොත්තුවෙන් මෙම රෙදි කන්ටේනර් ඉවත් නොකර වරායේ තබාගෙන ඇත. එසේ වුවද මේවා නිෂ්කාශනය කිරීම තව දුරටත් ප්‍රමාද වුවහොත් අධිභාරයක් ගෙවීමට සිදුවීමේ අවදානමකට තමන් ලක්විය හැකි බව ඔවුහු කියති. මෙම ගැටලුව විසඳීම තවදුරටත් පමා කළහොත් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට ද ඔවුහු සූදානමෙන් සිටිති.

මේ පිළිබඳ මුදල් අමාත්‍යංශයේ නිලධාරියකුගෙන් විමසූ විට ඔහු පැවසුවේ මෙම ව්‍යාපාරිකයන්ගෙන් පමණක් වැඩි බද්දක් අයකිරීමට කටයුතු නොකරන බවය. රජය සේවා සහ නිෂ්පාදන සඳහා සියයට 15ක වැට් බද්දක් අයකිරීම පිළිබඳව පසුගිය අයවැයේදී ප්‍රකාශයට පත්කර ඇති අතර, අගෝස්තු මාසයේ සිට එය අයකර ගැනීම ආරම්භ කර ඇති බවද ඔහු කීවේය. ව්‍යාපාරවලට බදු අයකිරීමේදී ඒ ඒ ව්‍යාපාර ගැන වෙන වෙනම සලකා නොබලන අතර, වැට් බදු ගෙවීමට එදා මෙන්ම අදද ව්‍යාපාරිකයන් බැඳී සිටින බව ඔහු පැවසීය. එසේම භාණ්ඩ හා සේවාවල මිල හැමදාම ඒකාකාරව නොතිබෙන අතර ඒවා විවිධ හේතු මත අඩු වැඩි විය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

බද්ද ඉවත් කරනතුරු උද්ඝෝෂණ කරනවා.
ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර් යේෂණ ඒකකයේ ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන 

“අපේ රටේ රෙදි මහන කර්මාන්තයෙන් ජීවත් වන අය දශ ලක්ෂයක් පමණ ඉන්නවා. මේ කර්මාන්තයට බදු ගැසීම නෙවෙයි කළ යුතු වන්නේ. ඒ අයට මෙය නගා සිටුවීමට අනුබල දීමයි. අතදීමයි. මේ නිසා පාරිභෝගිකයාට ද අඩු මිලට ඇඳුම් ගන්න අවස්ථාව ද ලැබෙනවා. මේ පිළිබඳ සලකා බැලූ මෙයට පෙර තිබූ ආණ්ඩුව නූල් සහ රෙදිවල බර අනුව කිලෝවට රුපියල් 100ක සෙස් බද්දක් පමණයි අයකරනු ලැබුවේ. ඒවා අමුද්‍රව්‍ය ලෙස සලකලයි බදු ගැහුවේ. ඒ නිසා මෙම කර්මාන්තය දියුණු වුණා. ඇඟළුම් මිල පහළ ගියා. එයින් රට ස්වයංපෝෂිත වුණා.

අපි බලාපොරොත්තු වෙලා සිටියේ මෙම ව්‍යාපාරිකයන් වැඩිපුර සිටින මහරගම පමුණුව ප්‍රදේශ බදු මුක්ත කලාපයක් ලෙස පවත්වාගෙන යන්නයි.

එසේම මීගොඩ සිට පාදුක්ක දක්වා ප්‍රදේශය දෙවැනි බදු මුක්ත කලාපය ලෙස පවත්වාගෙන යාමට ද ඒ සමගම විදේශිකයන්ට පහසු මිලට අලෙවි කිරීම සඳහා කටුනායක බදු මුක්ත කලාපයක් කිරීම ආදී වශයෙන් මෙවැනි කලාප තුනක් ඇති කරන්නත් අපි සැලසුම් කරලා තිබුණා. මෙය ශ්‍රී ලංකාවට විදේශ විනිමය ඉපයීමේ ව්‍යාපෘතියක් ද වුණා.

එහෙත් මෙම නැගීගෙන එන ව්‍යාපාරිකයන්ට කණකොකා හැඬුවේ මේ ආණ්ඩුව බලයට පත්වූ පසුවයි. අගෝස්තු 16 දා සිට මංගල මුදල් ඇමැතිවරයා මෙම කර්මාන්තය කඩා වැටෙන විදියේ විශාල බද්දක් අයකිරීමට ක්‍රියා කරලා තියෙනවා. මේ නිසා දශ ලක්ෂයක පමණ ආශ්‍රිත රැකියාවල නිරතව සිටි ජනතාව විශාල අර්බුදයකට ලක්වෙලා.

මෙහිදී අපි බර අනුව අයකළ රුපියල් 100 බද්ද එසේම තබා තියෙනවා. ඒත් එයට අතිරේක වශයෙන් රෙදිපිළිවල වටිනාකමට සියයට 10ක ‘Marcal’ බද්දක් දැම්මා. මෙයින් අදහස් වෙන්නේ රුපියල් 100ක් වටිනා භාණ්ඩවල වටිනාකම රුපියල් 110 සේ සලකා රේගුවේදී බදු අයකිරීමයි. මෙහිදී invoice එකේ මිලට වැඩිපුර සියයට 10ක් අයකරනවා. අනතුරුව වටිනාකම හා සියලුම බදු එකතු කරලා එම වටිනාකමෙන් සියයට 15ක වැට් බද්දක් අයකරනවා. බද්දටත් බදු අයකරන බවයි පේන්නේ. මේ නිසා එක කන්ටේනරයට රුපියල් විසි දහස, තිස් දහස ගාණේ වැඩිපුර ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. මෙහිදී පිරිවැය ඉහළ යාම නිසා නිෂ්පාදනවල මිල ඉහළ දමන්න සිදුවෙනවා. මේ නිසා දේශීය වෙළෙඳපොළේ අලෙවිය අසීරු වෙනවා. මේ හේතුවෙන් බැංකොක්වලින් මෙරටට ගෙන්වන මසා නිමකළ ඇඳුම් අලෙවිය වැඩිවෙනවා. අපි මහන ඒවායේ වෙළෙඳපොළ පහළ වැටී ගෙඩි පිටින් රටින් ආනයනය කරන ඇඳුම්වලට හොඳ වෙළෙඳපොළක් තැනෙනවා.

දැනට අත්සන් කර ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම් අනුව මසා නිම කළ ඇඳුම් මෙරටට එන්න පටන් ගත්විට ස්වදේශීය කර්මාන්තයට විශාල අගතියක් සිදුවෙනවා. අපි මේ පිළිබඳ රජයට බලපෑම් කිරීම ආරම්භ කරලා තියෙනවා. පමුණුව මංසන්ධියේ අත්පත්‍රිකා බෙදාහැරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙනවා. ලබන අඟහරුවාදා ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ සාකච්ඡාවක් කරනවා. මේ ජනතාව බේරාගන්නට උපරිමයෙන් ක්‍රියා කරනවා. මෙම බද්ද ඉවත් කරන තෙක් ස්වදේශික ඇඟළුම් නිෂ්පාදකයන් අඛණ්ඩ උද්ඝෝෂණයක නිරත වෙනවා. මහින්ද රාජපක්ෂ මහතා මෙයට පෙර කියා තිබෙනවා. ඊළඟ ආණ්ඩුව බලයට පත් වූ විගස සියලුම බදු පනත් සංශෝධනය කරලා ජනතාවට සහන දෙන බව.”

මූලික අයිතිවාසිකම් අහෝසි වෙලා
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ

“ආණ්ඩුවේ මේ බදු ප්‍රතිපත්තිය නිසා අද සිදුවෙලා තියෙන්නේ ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වන ඇඳුම් ඇඳීමේ අයිතිය ද අහිමි වීමයි. තමාට අවශ්‍ය ඇඳුමක් ඇඳගෙන පාරේ යාමේ මූලික අයිතිය නැති වෙලා තියෙනවා. මැති ඇමැතිවරුන් වගේ ඉතා මිල අධික රුපියල් තිස්දාහේ - පනස්දාහේ මිල වන පිටරටින් ගෙනා සුපිරි ඇඳුම් නොවෙයි සාමාන්‍ය ජනතාව අඳින්නේ. ඔවුන් තම වත්කම අනුව රුපියල් දහසට අඩු ඇඳුම් පැළඳුම්වලටයි ඇදී යන්නේ. වටිනා ඇඳුම්වලට යන්න ඔවුන්ට හැකියාවක් නැහැ. මෙවැනි ඇඳුම් සාමාන්‍ය වෙළෙඳසලකින් අඩු මිලට ගන්නවා. අද පවතින ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම මත ජනතාවට ඇඳුම් පැළඳුම්වලට එච්චර වැඩි මුදලක් වැය කරන්න බැහැ. ඒත් මේ වනවිට එම තත්ත්වය ද අහිමි වෙමින් පවතිනවා.

මෙයට පෙර කිසිදු ආණ්ඩුවක් ඇඳුම්වලින් අසාධාරණ ලෙස බදු අයකළේ නැහැ. එයට හේතුව ඇඳුම් ජනතාවගේ අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යයක් නිසයි. එහෙත් මේ ආණ්ඩුව සාමාන්‍ය ජනතාව ගැන නොසලකා ගත් පියවර ඉතාම අසාධාරණයි. සියයට 15ක් බදු ගහනවා කියන්නේ ඇඳුම් පැළඳුම්වල මිල එයට සමාන්තරව ඇතැම් විට එයටත් වැඩියෙන් ඉහළ දැම්මා කියන එකයි. මේ නිසා සාමාන්‍ය ජනතාව අතරේ ඇඳුම් ඉල්ලීම අඩුවෙනවා. ළඟ එන උත්සව සමයවලදී ඉල්ලුම කොතරම් පහළ වැටී ඇතිදැයි සොයාගත හැකියි. සිංහල අවුරුද්ද - නත්තල් උත්සවය වැනි අවස්ථාවලදී දරැවන්ට අලුත් ඇඳුමක් මිලට ගෙන දීමට දෙමාපියන්ට අවස්ථාවක් නොමැති වෙනවා නම් එය කොතරම් සානුකම්පිකද?

මේ ආණ්ඩුව බදු ගහන්නේ ජනතාව ගැන කිසිදු සැලකිල්ලක් නොමැතිවයි. ණය ගැන සිහිපත් කරමින් තමා බදු ගහන්නේ. ඒත් එලෙස ලැබෙන ආදායමෙන් ණයවලට වඩා වියදම් කරන්නේ දේශපාලනඥයන්ගේ සුඛවිහරණය වෙනුවෙන්. ඒ බව මෙතෙක් ගත් ක්‍රියාමාර්ග අනුව මනාව පැහැදිළියි. ආණ්ඩුව නිතරම බදු අය කරන්නේ වැඩිපුර ජනතාව පාවිච්චි කරන භාණ්ඩවලින්. එයට හේතුව එමඟින් බදු ආදායම ඉහළ දමා ගැනීමට පහසුවීමයි. මෙයට පෙර බදු පැනවීම් තුළින් එය හොඳට පෙනෙනවා.

මසා විකුණන ඇඳුම්වල මිල වැඩිවූ විට ආනයනය කරන නිමි ඇඳුම්වලට හොඳ වෙළෙඳපොළක් ඇතිවෙනවා. අද එම ක්ෂේත්‍රයේ බලධරයන් වී ඇත්තේ සුපිරි ධනවත් ව්‍යාපාරිකයන් සහ විදේශිකයන්. මේ නිසා අනියම් අන්දමින් ඔවුන්ගේ ව්‍යාපාර තවත් වර්ධනය වෙනවා. ස්වදේශීය ව්‍යාපාරිකයන්ට දැඩි අසාධාරණයක් තමා වෙන්නේ. මෙම තීරණය නිසා පාරිභෝගිකයාට දැඩි අසාධාරණයක් තමා වෙන්නේ. මෙම තීරණය නිසා පාරිභෝගිකයාට සහ මධ්‍ය හා සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට විශාල හිරිහැරයක් වෙනවා. ඒ නිසා මේ පිළිබඳ යළි සලකා බලන ලෙස අපි ආණ්ඩුවට බලකර කියා සිටිනවා.

බදු ගැහිල්ල කෙසේවත් වෙනස් කරන්න එපා!
ඒ. පී. එස්. නිටර්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂිකා දීපානි සමරසිංහ

“අපේ ආයතනය ශ්‍රී ලංකා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ 2015 සම්මාන උළෙලේදී හොඳම ව්‍යවසායකයාට හිමි සම්මානය දිනාගත් ආයතනයක්. අයි. එස්. ඕ. සහතිකය ද ලැබී තිබෙනවා. අපි කරන්නේ නූල් ආනයනය කරලා ඩයි කරලා රෙදි නිෂ්පාදනය කිරීමයි. ශ්‍රී ලංකාවේ මෙවැනි ගෙතූ රෙදි කර්මාන්ත ඇති බව දන්නා අයද අඩුයි. ආයතනයට කර්මාන්ත ශාලා 40කට අධික සංඛ්‍යාවක් ඇති අතර එමඟින් 50,000කට අධික සංඛ්‍යාවකට සෘජු සහ වක්‍ර රුකියා සපයනවා. මෙය සියයට සියයක්ම ශ්‍රී ලංකා ආයතනයක්.

මෙම කර්මාන්තයට තිබූ ප්‍රබල පහරක් ව්‍යාපාරිකයන් චීනය හා තායිලන්තය වැනි රටවලින් අඩු මිලට රෙදි ආනයනය කරලා අලෙවි කිරීම. මේවා එතරම් හොඳ ප්‍රමිතියෙන් යුතු රෙදි නොවුණත් මිල අඩු නිසා ඒවායින් නිෂ්පාදනය කරන ඇඳුම්වලට හොඳ අලෙවියක් තියෙනවා. මෙම තත්ත්වය නැති කරලා රටේ හොඳ රෙදි නිෂ්පාදනය කිරීමට රෙදි ආනයනකරුවන්ට සෙස් බද්දක් සහ සියයට 15ක වැට් බද්දක් අයකිරීම රුකුලක් වෙනවා. ඒ නිසා අපි ආණ්ඩුව ගත් මෙම පියවර අතිශයින් අගය කරනවා. එයින් අපි වගේ ශ්‍රී ලාංකික කර්මාන්තයක් ඇද වැටීම නවතිනවා. නූල් ආනයනය කර රෙදි බවට පත්කිරීමේ කර්මාන්තය යහපත් ප්‍රමිතියෙන් යුතු රෙදිපිළි හා ඇඳුම් පරිහරණය කිරීමට ද අවස්ථාව උදාවෙනවා.

මේ පිළිබඳ පසුගිය දා අපි කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ද දැනුවත් කිරීමට පියවර ගත්තා. ඔහුටත් අපි සිදුවී ඇති අසාධාරණය පෙන්වා දුන් අතර මෙම බදු ගැසීම ඉවත් නොකරන ලෙස ඉල්ලා සිටියා.

අපි කරන්නේ රටේ රෙදි නිෂ්පාදනය කරලා හොඳ ප්‍රමිතියෙන් යුතු රෙදි අඩු මිලට ඇඳුම් මහන අයට අලෙවි කිරීමයි. අපි නූල් කන්ටේනරයක් ගේන්න ලක්ෂ 75 – 80ක පිරිවැයක් දරනවා. අප දැනටමත් මේ කර්මාන්තය කරන්නේ බොහෝ අමාරුවෙන්. මේ සඳහා පාවිච්චි කරන පර්නස් ඔයිල් ලීටරය ගිය මාසේ 4 වනදා රුපියල් 12කින් වැඩිවුණා. මසකට බවුසර් 5ක් විතර අවශ්‍ය වෙනවා. එන් බවුසරයක් රුපියල් 12,14,400ක් පමණ වෙනවා. සේවක වැටුප් ආදියද වැඩිවෙලා. නිෂ්පාදන වියදම වැඩියි. ඉමහත් කැපවීමකින් තමා කරගෙන යන්නේ.

රෙදි නිමි කරලා ඩයි කළ යුතුයි. ඩයි මිලද ඉහළ යනවා. රෙදි නිෂ්පාදනයට මැෂින් යොදා ගන්නවා. අපේ දේශීය කර්මාන්තය ආරක්ෂා කරගෙන දියුණු කිරීම සඳහා ආණ්ඩුව මැදිහත් විය යුතුයි. අපේ ආයතනවල සේවය කරන අයගේ රැකියා ආරක්ෂා කළ යුතුයි. බන්දුල ගුණවර්ධන හිටපු ඇමැතිතුමා කතා කරන්නේ හරිහැටි කරුණු නොදැන බවයි අපේ විශ්වාසය. සත්‍ය තත්ත්වය දන්නවානම් එතුමා අපට එරෙහි වන එකක් නැහැ. ඒ නිසා අපි ඕනෑකමින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ රෙදි ආනයනයට සෙස් බදු සහ වැට් බදු ක්‍රියාත්මක කිරීම කිසිදු ලෙසින් වෙනස් නොකරන හැටියටයි.

යසවර්ධන රුද්රිගු