
“මම ලාහුගල මඟුල් මහා විහාරයට ආවේ 1983දී. ඊට පස්සේ ටිකෙන් ටික කොටි කලබල වැඩි වුණා. ත්‍රස්තවාදී තර්ජන එනවිට හමුදා ආරක්ෂාව ලැබුණා. සාම සාකච්ඡා අසාර්ථක වූ පසු පන්සලට නුදුරු කුංචිකුඩිආරු කැලේදී පොලිසීයේ 600ක් මරා දැම්මා. නමුත් අපි මේ ස්ථානය ආරක්ෂා කිරීමට උත්සාහ කළා. දැන් මඟුල් මහා විහාර පන්සල වැඩි දියුණු කිරීමට පුරාවිද්‍යා රක්ෂිතයෙන් පිට වෙනම සංඝාවාස ගොඩනැගිල්ලක් තැනීමට හිතාගෙන ඉන්නේ.” අපට එලෙස පැවසුවේ මඟුල් මහා විහාරධිපති හුළංහුයේ රතනසාර හිමියෝ වෙති. උන්වහන්සේ පානම්පත්තු ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති ධුරය ද උසුලති. අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පන්සල්ගොඩ ග්‍රාම නිලධාරි වසමේ පිහිටා ඇති මඟුල් මහා විහාරය පුරාවිද්‍යා භුමිය පුරාණ බෙදීම් අනුව පානම්පත්තුවට අයත් වේ.
මොණරාගල පොතුවිල් මාර්ගයේ සියඹලාණ්ඩුව හන්දියේ සිට කී.මී. 18ක් දුර ගමන් කරන විට ලාහුගල පන්සල්ගොඩ හන්දිය හමුවේ. එතැන සවිකර ඇති පුරාවිද්‍යා නාම පුවරුව මේ පුදබිමට මඟ පෙන්වයි. අතුරු මාර්ගයේ කී.මී. 1.1 ක් දුරින් වනතුරු අතර පුරාවිද්‍යා නටබුන් භූමිය පිහිටා ඇත. ලාහුගල පුරාවිද්‍යා කලාප කාර්යාලය පිහිටා ඇත්තේ ද එම බිමෙහිය. අම්පාරේ නවාතැන්ගෙන සිටි අපි ලාහුගල ගියේ උදෑසනමය. තවම පොළොව රත්කරන නැගෙනහිර හිරුගේ උණුසුම නොදැනේ.
වීර, පළු, කොහොඹ වැනි ගස් සෙවණේ පිහිටි පුරාවිද්‍යා කලාප කාර්යාලයේදී අපට හමුවූයේ කලාප භාර පුරාවිද්‍යා නිලධාරී රජිත නාමසිංහය.
“18ක් පමණ වන සේවක පිරිසක් මෙම කාර්යාලයේ මඟුල් මහා විහාරය රැකබලා ගැනීමට යොදවා තිබෙනවා. ඇතුළු මළුවේ ශෛලමය ප්රාකාරයේ කොටසක් ගරාවැටී තිබුණේ. මේ දිනවල එහි සංරක්ෂණ කටයුතු සිදුවෙනවා. අසම්පූර්ණ ගඩොල් වරි බැඳ සංරක්ෂණය කරනවා. එයට අමතරව විහාර භූමියට ප්‍රවේශ වන මාර්ගය දෙපස ඇති පොකුණු දෙකෙන් එක් පොකුණක් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් කැණීම් සිදුකරනවා. මේ දිනවල එහි පොකුණු ප්‍රාකාරය හුදාගනිමින් යනවා. කැණීම්වලදී මැටි භාණ්ඩවල කොටස් හමුවී තිබෙනවා. ඒක අවුරුදු පහක ව්‍යාපෘතියක්.”
පුරාවිද්‍යා කාර්යාලයෙන් සමුගත් අපි නටබුන් භූමියට ඇති මඟ ඔස්සේ ගමන් කළෙමු. පොකුණේ කැණීම් සිදුවන අයුරු පෙනේ. 20ක පමණ සේවක පිරිසක් එහි වැඩෙහි නියැලී සිටිති. පොකුණු බැම්මට ගල් පුවරු සහ ගල් කැබලි යොදාගෙන ඇත. පුරාණයේදී පස් පියුමින් සුසැදි පොකුණු අතරින් විහාර මළුවට පියමං කිරීම සිත් සනහන අත්දැකීමක් වන්නට ඇත. අද වනවිට ඒ පොකුණු ගොඩවී බෙරු පන්වලින් වැසී පවති. පොකුණුවල එක් පසෙක බැම්මක් ප්‍රාකාරය පිහිටි ගල්පර්වතයට අසුවන සේ තනා ඇත. පොකුණට බැසීමට ගලින් කළ පියගැටය.
අක්කර 15ක පමණ භූමියක විහාර භූමිය පැතිර තිබේ. නටබුන් බිමට පෙර හමුවන්නේ කුඩා සංඝාවාස ගොඩනැගිල්ල සහ ධර්ම ශාලාවයි. ප්‍රදේශයේ වැසියන්ගේ දුෂ්කරතාව එම ගොඩනැගිලිවල දුප්පත් බවෙන් පැහැදිලි වේ. වනගතව පැවති මේ භූමියට මුලින්ම භික්ෂූන්වහන්සේ නමක් පැමිණියේ 1907දීය. ඒ දැනෙනගල ස්වර්ණජෝති හිමියෝ වෙති.
අම්පාරට එන බොහෝ දෙනෙක් මඟුල් මහාවිහාරය නැරඹීමට අමතක නොකරති. ඔවුන් එයට පෙළඹීමට ප්‍රධාන හේතුවක් වන්නේ මේ වටා ගොඩනැගී ඇති රසවත් ජනප්රවාදයකි. එම ජනප්රවාදයට අනුව රුහුණේ මාගම පාලනය කළ කාවන්තිස්ස රජු විහාරමහාදේවි කුමරිය සරණපාවා ගෙන මංගල්‍යය පැවැත්වූයේ මෙම ස්ථානයේදීය. මංගල උත්සවයෙන් පසු රජ විසින් ඉදිකළ විහාරය මඟුල් මහාවිහාරයයි. එයටම සම්බන්ධ තවත් කතාවක් වන්නේ කැලණිතිස්ස රජු මුහුදට බිලි කළ දේවී කුමරිය ගොඩබිමට පැමිණ ඇත්තේ මෙයට නුදුරින් පිහිටි පොතුවිල් මුදුමහා විහාරය අසලින් බවයි. මූදු මහා විහාරය ද වටිනා පුරාවිද්‍යා නටබුන් සහිත ස්ථානයකි. මෙම ජනප්‍රවාද පදනම් කරගෙන විහාරයට මඟුල් මහා විහාරය යන නම ලැබෙන්නට ඇත. එහෙත් පුරාවිද්‍යාත්මක හෝ ඓතිහාසික සාධක අනුව එවැනි නමක් සහිත විහාරයක් හමුනොවේ. එය පසුකාලීනව යොදාගත් නමක් බව පැහැදිලි වේ.
විහාර භූමිය වටාම යනසේ තැනු විශාල කළුගල් ප්රාකාරයකි. එම ප්‍රාකාරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කර තහවුරු කර ඇති අතර කාලයත් සමඟ එහි ඇතිවූ ගරාවැටීම් දැන් යළිත් සංරක්ෂණය කෙරෙමින් පවතී. මෙවැනි විශාල ප්‍රාකාර ඉදිකරන්නට ඇත්තේ විහාරයට වන සතුන්ගෙන් සිදුවන හානි වළක්වා ගැනීමේ අරමුණ ඇතිව බව පෙනේ. පබ්බත විහාරවල වටේම ප්රාකාරයක් ඉදිකිරීම ප්‍රධාන ලක්ෂණයකි. දඹුල්ල කළුදිය පොකුණ, මැණික්දෙන, දිඹුලාගල නාමල් පොකුණ, ත්‍රිකුණාමලය වෙල්ගම් වෙහෙර වැනි ආරාමවල මේ ලක්ෂණය පැහැදිලිව දැකගත හැකිය.

මෙහි පුරාණ නාමය “රූණු මහා වෙහෙර” හෙවත් “රෝහණ මහා විහාරය” විය. මෙම ස්ථානයෙන් හමුවූ 10 සහ 14 වන සියවස්වලට අයත් ශිලා ලිපි දෙකක එම නම් සඳහන්ය. මෙම නාමය 14 වැනි සියවස දක්වාම භාවිත කර තිබේ. එකල රෝහණ රාජ්‍යයේ ප්‍රධාන පුදබිමක් වශයෙන් මෙම විහාරය සැලකුණ බව ඒ අනුව පැහැදිලිය.
මහාවංශයට අනුව විහාරයේ ආරම්භය 6 වන සියවසේදී සිදුව ඇත. රුහුණේ පාලක දප්පුල රජු රුහුණු මහා වෙහෙර පිහිටුවන ලද බව මහාවංශයේ සහ පුජාවලියේ දැක්වේ. මෙහිදී හමුවූ 14 වැනි සියවසට අයත් ශිලා ලේඛනයට අනුව විහාරය පිහිටුවා ඇත්තේ ධාතුසේන (ක්‍රි.ව. 516-526) හෙවත් දාසෙන්කැලි රජු විසිනි. මේ අනුව විහාරයේ ආරම්භය පිළිබඳව සඳහන් දෙකක් පවතී. මෙය ඉදිකර ඇත්තේ එවකට ජනප්‍රියව පැවැති පබ්බත විහාර ආකෘතියට අනුවය. අනුරාධපුර යුගයේ අවසන් භාගය වනවිට රූණු මහා වෙහෙර බෞද්ධයන් අතර ප්‍රචලිත පුදබිමක්ව පැවති බවට ඓතිහාසික මුලාශ්රවලින් හා නටබුන්වලින් පෙනේ.
ගස්වැල් අතරින් හිරු කිරණ පෙරෙයි. ඈතින් ඇසෙන්නේ මොණරුන් කිහිපදෙනකුගේ කෑ ගැසීමයි. අපි ප්‍රාකාරය අතරින් නටබුන් බිමේ පිහිටි දාගැබ අසලට පැමිණියෙමු. මෙහි නටබුන් අතර ප්‍රධානත්වයක් හිමිකර ගන්නේ දාගැබයි. කළුගලින් කළ අඩි 4ක් උස් මළුවක තනා ඇති දාගැබට පිවිසීමට හතර පැත්තෙන් දොරටු හතරකි. එහි පියගැට පෙළ කැටයම් රහිත චාම් කොරවක්ගල්වලින් යුක්තය. පියගැටවලට ඉහළින් සිංහරූප දෙක බැගින් නිර්මාණය කර තිබේ.
දාගැබ අසල සලපතල මළුවේ සහ එහි ප්රාකාරයේ පුවරු ලිපි දෙකකි. මෙහිදී හමුවූ 14 වැනි සියවසට අයත් පුවරු ලිපියේ දැක්වෙන්නේ පැරකුම්බා නමින් හඳුන්වන සහෝදර රජවරු දෙදෙනකුට අගමෙහෙසිය වූ විහාරමහා දේවිය විසින් ධාතුසේන රජු කරවා ජරාවාස වූ මේ විහාරය නැවත පිළිසකර කර නඩත්තුවට ඉඩම් පරිත්‍යාග කළ බවය. සෙල්ලිපියේ සඳහන් පරාක්‍රමබාහු රජවරු හෝ විහාරමහා දේවිය ගැන වංශකතාවලින් හෙළි නොවේ. දුටුගැමුණු රජුගේ මැණියන් හැරෙන්නට තවත් විහාරමහා දේවියන් ගැන මෙහි සඳහන් වීම විශේෂිත කරුණකි. මහාචාර්ය සෙනරත් පරණවිතාන සඳහන් කරන්නේ මෙහි දැක්වෙන පරාක්‍රමබාහු සොහොයුරන් ගම්පොළ රජ කළ 5 වැනි පරාක්‍රමබාහු (1344-1359) සහ 4 වැනි පරාක්‍රමබාහු බවය.

දාගැබට නුදුරින් පිහිටා ඇත්තේ පැරණි ගොඩනැගිල්ලකට අයත් සඳකඩ පහණකි. එහි විශේෂත්වය වන්නේ අලි ඇතුන් අතර අලියකු පිටේ නැගී ඇත්ගොව්වෙකු ද දක්නට ලැබීමයි. ලංකාවේ ඒ ආකාරයේ සඳකඩ පහණක් හමුවන එකම ස්ථානය මඟුල් මහා විහාරය පමණි. මෙම සඳකඩ පහණ කැටයම් පේළි තුනකින් යුක්තය. හංස පේළියක්, මල් වැලක මෝස්තරයක් සහ ඇත් පේළියක් වශයෙනි. මෙම නිර්මාණය 14 වැනි සියවසේ අලුත්වැඩියාවේදී එක්වූ අංගයක් වශයෙන් සැලකේ.
දාගැබට බටහිර දිසාවෙන් පිහිටි ශෛලමය ගොඩනැගිල්ල බෝධිඝරයයි. සාමාන්‍ය ජන විශ්වාසය වන්නේ කාවන්තිස්ස විහාරමහා දේවිය විවාහ වූ මඟුල් පෝරුව එය බවයි. එහෙත් වාස්තු විද්‍යාත්මක ලක්ෂණ අනුව මෙය අනුරාධපුර යුගයට අයත් බෝධිඝරයක් බව පැහැදිලිය. බෝධිඝරයේ ප්‍රාකාරය පිටතින් අලංකාර කර ඇත්තේ සිංහරෑප පෙළකිනි. දොරටුවේ නාග රූප මුරගල් දෙකකි.
පිළිමගෙය දිගින් අඩි 89ක් ද පළලින් අඩි 58ක්ද වන ගොඩනැගිල්ලකි. එහි දක්නට ලැබෙන ශෛලමය හිටි බුද්ධ ප්‍රතිමාවේ හිස කැඩී ගොසිනි. උපෝසථඝරය මෙහි පිහිටි තවත් ගොඩනැගිල්ලකි. පූජනීය නොවන ගොඩනැගිලි වන සංඝාරාම, දාන ශාලා, උල්පැන් ගෙවල් ආදිය තවම කැණීමකට භාජනය කර නැත.
නිස්කලංක වටපිටාවකින් යුත් මඟුල් මහා විහාරය නරඹන අපගේ සිත් නොදැනුවත්වම අතීතයට ගමන් කරයි. එලෙස සිත අතීතයේ සංචාරය කරවීමට හේතුවන පුරාවස්තු රාශියක් ද මෙම ස්ථානයෙන් හමුවී තිබේ. එම පුරාවස්තු සහ අසල පිහිටි නීලගිරි දාගැබෙන් හමුවූ පුරාවස්තු ද ලේඛනගත කිරීම 2017 දී අවසන් කෙරිණි. එම පුරාවස්තු තැන්පත් කිරීමට ඉදිකළ කෞතුකාගාර ගොඩනැගිල්ලේ වැඩ නිමකර ඇත්තේ 2013දීය. නමුත් මෙම කෞතුකාගාරය නරඹන්නන්ට විවෘත කර නැත. ලාහුගල ඉපැරණි උරුමය ගැන අවබෝධයක් ලබාගැනීමට ඇති මඟුල් මහා විහාර කෞතුකාගාරය ද ඉක්මනින් විවෘත කර පොදු ජනතාවට නැරඹීමට අවස්ථාව ලබාදෙන මෙන් අපි පුරාවිද්‍යා බලධාරින්ගෙන් ඉල්ලා සිටිමු.

(විශේෂ ස්තූතිය සම්බන්ධීකරණය කළ පුරාවිද්‍යා ප්‍රකාශන නිලධාරී සුනිල් බණ්ඩාර කෝරළගේට)
►සටහන සහ සේයාරූ - කුසුම්සිරි විජයවර්ධන