2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

බෙංගාල බොක්කේ අලුත් සහයෝගිතාව

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 350

බෙංගාල බොක්ක පිළිබඳ අපට හැමදාම විශේෂයෙන් අසන්නට ලැබෙන්නේ එහි කැළඹීමක් ඇති වූ විටය. බොක්කේ කැළඹීම එහි වෙරළ තීරය අවට ඇති රටවලට තදින්ම දැනේ. මේ රටවල් අතරට විවිධ ආර්ථික, දේශපාලනික, සංස්කෘතික වෙනස්කම් සහිත රාජ්‍ය ගණනාවක්ම අයත්ය. මේවා දකුණු ආසියාව හා අග්නිදිග ආසියානු රටවල් ලෙස හඳුන්වාදී තිබේ. 1987 වසරේ මුල්වරට කැළඹීමක් නැති සහනදායී පුවතක් බෙංගාල බොක්ක ආශ්‍රිත මේ රටවල් ගැන අසන්නට ලැබුණේය. ඒ මෙකී විවිධ විචිත්‍ර සමාජ, ආර්ථික, දේශපාලනික මුහුණුවරක් ගත් බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල් අතර කලාපීය එකමුතුවක් ඇරුඹීම ගැන වූ ආරංචියයි. මේ නව ආසියානු කලාපීය සහයෝගීතාව දැන් හැඳින්වෙන්නේ බෙංගාල බොක්කේ රටවල තාක්ෂණික හා ආර්ථික එකමුතුව නැතිනම් BIMSTEC හැටියටය.

වසර 1997 ජූනි මස 06 තායිලන්තයේ බැංකාක් නුවරදී ආරම්භ වූ බිම්ස්ටෙක් සංවිධානය බෙංගාල බොක්ක ආශ්‍රිතව වෙරළ තීරය ඔස්සේ පිහිටා ඇති මූලික ආසියානු කලාපීය රාජ්ජයන් හතක එකතුවකි. මුලින් එය හැඳින්වූයේ BEST-EC නැතිනම් බීස්ට්-එක් ලෙසිනි. එයට මූලිකව එක්වූ රටවල් හතරේ නම්වල මුල් අකුරු අනුව යමිනි.

එනම් බංගලාදේශ - ඉන්දියා - ශ්‍රී ලංකා - තායිලන්ත යන රටවල ආර්ථික සහයෝගීතාව හැටියටයි. 1997 දෙසැම්බර් 22 බැංකොක්හි පැවැති විශේෂ ඇමැති මණ්ඩල සමුළුවේදී මියැන්මාරයත් මේ එකතුවට ඈඳා ගත් අතර ඒ අනුව මෙහි නම බිම්ස්ටෙක් BIMSTEC ලෙස වෙනස් කරගන්නා ලද අතර බෙංගාල බොක්ක ආශ්‍රිත සමාජික රටවල බහු ආංශික ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව ලෙස මෙය පසුව නම් කරන ලදී. ඒ 2004 පෙබරවාරියේදී තායිලන්තයේදි පැවැති 6 වැනි ඇමැති මණ්ඩල සමුළුවේදී භූතානය සහ නේපාලය මෙයට ඈඳා ගැනීමත් සමගිනි. ඒ අනුව මේ සංවිධානයේ දකුණු ආසියාව නියෝජනය කරමින් බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය, ශ්‍රී ලංකාව යන රටවල් පහත්, අග්නිදිග ආසියාව නියෝජනය කරමින් මියැන්මාරය සහ තායිලන්තය යන රටවල් හතක් සාමාජිකත්වය දරයි.

දකුණු ආසියාවත්, අග්නිදිග ආසියාවත් එක්කරන සහයෝගිතා පාලමක් සේ කටයුතු කරන මේ සංවිධානය සාර්ක් සහ ඒසියාන් සංවිධානයන්ට අයත් රටවල්හි අන්තර් කලාපීය සහයෝගීතාව වැඩි වර්ධනයටද දායක වන්නකි. මේ අන්තර්කලාපීය එකතුව මගින් ලෝක ජනගහනයෙන් සියයට 22ක් නියෝජනය කරන බිලියන 1.5ක් වූ ජනතාව අතර නව සහයෝගිතා එකතුවක් ඇතිකර තිබේ. මේ මගින් දළ දේශීය නිෂ්පාදනය ට්‍රිලියන 3.5ක් වූ ආර්ථිකයක් නියෝජනය කරන අතර පසුගිය පස් වසර ඇතුළත ලෝක ආර්ථික බිඳවැටීම මැද්දේත් එහි සාමාජික රටවලින් අපේක්ෂිත ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීමට සමත් වූ සාර්ථක කලාපීය එකතුවක් බවට පත්ව තිබේ. මූලික වශයෙන් අංශ හයකට අයත් ආර්ථික වර්ධනය සඳහා එකමුතුව කටයුතු කිරීම මෙහි අරමුණය. ඒ අංශ ලෙස ඉදිරිපත් වූයේ, වෙළඳාම, තාක්ෂණය, බලශක්තිය, ප්‍රවාහනය, සංචාරක කටයුතු සහ ධීවර කටයුතුය. පොදු අරමුණු ජයගැනීම සඳහා කලාපීය භූ ලක්ෂණ සහ සම්පත් සහයෝගීත්වයෙන් යුතුව භාවිතය මේ එකතුව මගින් සිදුකරයි. 1997න් පසු මේ සහයෝගිතාව මගින් අරමුණු කරගත් ඒකමතික සංවර්ධන අංශ අතරට තවත් මාතෘකා නවයක් එක්කර ගන්නා ලදී. කෘෂිකර්මය, සෞඛ්‍ය, දරිද්‍රතාව මර්දනය, ත්‍රස්තවාදය වැළැක්වීම, පරිසරය, සංස්කෘතිය, මානව සබඳතා සහ ලෝක දේශගුණික විපර්යාසය යන අංශයන්ය.

මේ අරමුණු ජයගැනීම සඳහා විවිධ අංශ ප්‍රවර්ධනය වෙනුවෙන් මහලේකම් කාර්යාල කිහිපයක් පිහිටුවා ඇති අතර, සාමාජීය රටවල් අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් සඳහා සාකච්ඡා පැවැත්වෙමින් පවතියි. ධකා නුවර ප්‍රධාන ලේකම් කාර්යාලය පිහිටුවා ඇති මේ සංවිධානයේ නායකත්වය ඉංග්‍රීසි අකාරාදී අකුරු පිළිවෙළට යමින් එකිනෙක සාමාජික රටවල් වෙත වරින්වර පිරිනැමෙයි. සාමාජික රටවල සමාජ ආර්ථික කටයුතු වර්ධනය සඳහා මිත්‍රශීලී සහයෝගීතාවක් ගොඩනැගීම මේ කලාපීය එකතුව මගින් සිදුකෙරේ. කෙසේ වුවද මෙහි ආර්ථික බලවතුන් ලෙස වැඩිම දායකත්වය සහ බලය හිමිව ඇත්තේ ඉන්දියාවට සහ තායිලන්තයටය. කලාපිය රටවල් අතර බුද්ධි තොරතුරු හුවමාරුව, ත්‍රස්ත ක්‍රියා මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬ පැවැත්වීම සඳහාද මේ රාජ්‍ය සහයෝගිතාව කැපවී සිටියි.

පසුගිය අගෝස්තු 30-31 දෙදින නේපාලයේ පැවැතියේ හතරවැනි BIMSTEC සමුළුවයි. එහිදී ලංකාවේ ජනාධිපතිවරයා හට නව සභාපතිත්වය හිමිවිය. ඒ අනුව පස්වැනි BIMSTEC සමුළුව ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ලංකාවේදී පැවැත්වෙනු ඇත. විනිවිද භාවයෙන් යුතු පැහැදිලි න්‍යාය පත්‍රයක් යටතේ සහයෝගිතා අරමුණු සාක්ෂාත් කරගැනීම සිය අරමුණ බවත් ඒ සඳහා සාමාජික රටවල උපරිම සහාය ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එහිදී කීය. කත්මණ්ඩු ප්‍රකාශනය පිළිගැන්වීමත් විදෙස් ඇමැතිවරුන් අතර බිම්ස්ටෙක් අන්තර් සබඳතා ජාලය සම්බන්ධයෙන් වූ අවබෝධතා ගිවිසුම් අස්සන් තැබීමත් මෙහිදී විශේෂයෙන් සිදුවිය.

අන්තර්ජාතික සාමයට සහ ආරක්ෂාවට ත්‍රස්තවාදය මහා තර්ජනයක් බව විස්තර කරමින් ඒ සඳහා ආධාර අනුබල සහ රැකවරණ දෙන රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන හඳුනා ගනිමින් ඔවුන්ට එරෙහිව පියවර ගැනීමේ අවශ්‍යතාව මෙහිදී දැඩි කතාබහට ලක්විය. ඉන්දීය අගමැති මෝදි විසින් බිම්ස්ටෙක් රටවල් ප්‍රමුඛ ජාත්‍යන්තරය පුරා සිදුවන සමස්ත ත්‍රස්ත ප්‍රහාර කටයුතු හෙළා දකින ලදී. සමුළුව අවසනදී එළිදැක්වූ කත්මන්ඩු ප්‍රකාශනය මගින්ද ත්‍රස්තවාදය සඳහා කිසිදු සාධාරණීකරණයක් ලබාදිය නොයුතු බව අවධාරණය කර තිබුණි. සමුළුවේ ඒකමතිකත්වයෙන් පිළිගැනීමට ලක්වූ කත්මන්ඩු ප්‍රකාශය ත්‍රස්තවාදයට පමණක් නොව එයට උඩගෙඩි දෙන රටවල් පුද්ගලයන් සහ ආයතනවලට එරෙහිව දැඩිව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබුණි. මේ ප්‍රකාශය මගින් ත්‍රස්තවාදයට උදව් කරන කිසිදු රටක් හෝ සංවිධානයක් ගැන කෙලින්ම සඳහනක් කර නොතිබූ නමුත් කලාපයේ මෙබඳු ක්‍රියා සඳහා කුප්‍රකටව ඇත්තේ පාකිස්තානය සහ ඉන්දියාවයි. ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින දුරස්ත සබඳතාව හේතුවෙන් කලාපය තුළ සිය බලය තහවුරු කරගැනීම සඳහා ඉන්දියාව බිම්ස්ටෙක් වෙත වැඩි ආකර්ෂණයක් දක්වන බව විචාරක මතයයි. බහුමානීය වශයෙන් කලාපීය සබඳතා වර්ධනය කර ගනිමින් ආර්ථික සෞභාග්‍යය බෙදාහදා ගැනීම සඳහා ක්‍රියාත්මක වීම නව අවබෝධතා ගිවිසුමේ මූලික හරයයි. ඒ සඳහා මූලික වශයෙන් කලාපීය බලශක්ති ප්‍රභවයන් උපරිම වශයෙන් සහයෝගීතාවයෙන් භාවිතයට යොදා ගැනීමද එහි මූලික අරමුණකි. ඩිජිටල් පහසුකම් ඇතුළු යටිතල පහසුකම් දියුණුව සඳහා කලාපීය වශයෙන් ලැබෙන සහයෝගීතාව මෙහිදී අපට උදාවන වාසියකි. සමස්ත ප්‍රවාහන මාර්ග පද්ධතිය, ගුවන්, නාවුක සහ ගොඩබිම් මගින් කලාපීය රටවල් අතර පුළුල් ව්‍යාප්තියක් සහිතව නිදහස් පිවිසුම් අවසර සහිතව ක්‍රියාත්මක වන්නට නියමිතය. බිම්ස්ටෙක් සහයෝගීතාව ඇරැඹීමට මූලික හේතුව ලෙස දැක්වෙන්නේ දශක තුනක ඉතිහාසයක් සහිත සාර්ක් සහයෝගීතාව අසාර්ථක විමයි. එයටද මූලිකව ඇත්තේ ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති මතභේදාත්මක සබඳතාවයයි.

සුගත්