2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

අමෙරිකානුවන්ට බණ දහම් එක්ක කරාටේත් උගන්වන රජරට හාමුදුරුවෝ

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 487

“යාස්හී... හූ...” ඒ කරාටේ පුහුණුවන්නන්ගෙන් නිකුත් වන සමූහ හඬකි.

“බුද්ධං සරණං ගච්ඡාමි...” ඒ බුදුන් වඳින සැදැහැවතුන්ගෙන් නිකුත් වන ශාන්ත ස්වරයකි.

තවත් විටෙක කිසිදු හඬකින් තොර ආශ්වාස ප්‍රශ්වාස රිද්මය පමණි.

අප ඉහතින් සඳහන් කළේ අමෙරිකා එක්සත් ජනපදයේ ලොස්ඇන්ජලිස්වල වෙස්ට්හිල්හි ශාන්ති නිකේතනය බෞද්ධ මධ්‍යස්ථානයෙන් පිටත සිටින්නකුට ඇසෙන ශබ්ද කිහිපයකි. බුදුදහමේ එන භාවනා, යෝග, ධර්ම දේශනා මෙන්ම මානසික උපදේශනය පමණක් නොව කරාටේ වැනි සටන් කලාද එහිදී ඉගෙනගැනීමට අමෙරිකානුවෝ පැමිණෙති. ඒ අතර බහුතරයක් තරුණ හා යොවුන් වියේ පසුවන්නෝ වෙති.

ශාන්ති නිකේතනය ආරම්භ කර පවත්වාගෙන යන්නේ කුරුන්දන්කුලමේ ශාන්ත හිමියෝ වෙති. වර්ෂ 1987 දී අනුරාධපුරයේ කුරුන්දන්කුලමේ සාමබෝධි විහාරයේ දී මහණ වූ උන්වහන්සේ කැකිරාව කලාකරඹෑවේ විද්‍යාධාර පිරිවෙණේ මූලික අධ්‍යාපනය හැදෑරූහ. ඊට පසු උන්වහන්සේ මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයට ඇතුළු වී වැඩිදුර අධ්‍යාපනය ලැබූහ. බොරැල්ල ඇක්වයිනාස් ආයතනයෙන් ඉංග්‍රීසි භාෂාවද ඉගෙනගත් උන්වහන්සේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ජනමාධ්‍ය ඩිප්ලෝමාවද හැදෑරූහ.

“අපි ලංකාවෙ ඉන්න ගමන් ලංකාව දකින විදිහයි, ලංකාවෙන් පිට අය ලංකාව දකින විදිහයි වෙනස්. අමෙරිකාවේ ලොස්ඇන්ජලිස් වගේ ප්‍රදේශයක බුදුදහම උගන්වන්න ගියාම ඒ මිනිසුන් තුළ පුදුම විදිහට බුදුදහමට නැඹුරුවක් තියෙන්නේ. හැම කෙනෙක්ම වගේ ආගම් භේදයකින් තොරව බුදුදහමේ කියන හැමදෙයක්ම ඉගෙනගන්න බලනවා. ඒක ජීවිතය ගැන කියාදෙන දර්ශනයක් නිසා. ඒ අතරම ඔවුන් තමන්ගේ ආගමේ කටයුතුත් වෙනම කරගෙන යනවා. නමුත් බුදුදහමේ කරුණු ජීවිතය හැඩගස්වා ගැනීමට ඔවුන්ට අවශ්‍ය වෙලා.

ලෝකෙ බුදුදහමට ලොකු ඉල්ලුමක් අවධානයක් තිබෙනවා. නමුත් අපේ පැත්තෙන් ඒකට අවශ්‍ය පහසුකම්, ලෝකයට ලබාදීමට අවස්ථාවක් නැහැ. අවුරුදු දෙදහස් පන්සිය ගණනක් ලංකාවේ තිබෙන මේ බෞද්ධ දර්ශනය හරහා ඇයි අපට එය ලෝකයට ලබාදීමට නොහැකි වුණේ කියන එක ප්‍රශ්නයක්.” ශාන්ත හිමියෝ අප සමඟ පැවසුවේ පසුගිය දිනෙක ලංකාවට පැමිණි අවස්ථාවකය.

පිරිවෙන් අධ්‍යාපනයෙන් පමණක් සෑහීමට පත් නොවූ ශාන්ත හිමියෝ මිනිස් මනස සහ ශරීරය ගැන තවදුරටත් හැදෑරීමට කුතුහලයෙන් යුක්ත වූහ. ඒ නිසාම පේරාදෙණිය නීලඹේ භාවනා මධ්‍යස්ථානයේ භාවනා වැඩසටහන්වලට උන්වහන්සේ සම්බන්ධ වූහ. ඒ අතරම නුගේගොඩ අජිත් ධම්මික ජයකොඩිගෙන් ගොජුරියු කරාටේ සටන් කලාව ඉගෙනගැනීමට යොමුවූයේ 1993 දීය. කළුපටි 4 ශ්‍රේණිය දක්වා කරාටේ ඉගෙනගත් උන්වහන්සේ දොෂි කොමෙනුයි නම් ජපන් ගුරුවරයා හමුවී අයිකිඩෝ ඉගෙන ගත්හ. එම ජපන් සටන් කලාව කළුපටි 2 දක්වා ඉගෙනගැනීමට හැකියාව ලැබුණි. එපමණක් නොව චීන කටු චිකිත්සාවද ඉගෙනගැනීමට උනන්දු වූහ.

කරාටේ වැනි සටන් කලා උපත ලැබුවේ චීනයේ ෂැඔලින් වැනි භික්ෂු ආරාම ආශ්‍රයෙනි. එහෙත් අප රටේ නම් එය භික්ෂුන් වහන්සේලාට අකැප දෙයක් ලෙසට මතයක් පැතිර තිබේ. අද ඒ හිමියෝ අමෙරිකාවේ තරුණ පිරිසට සටන් කලා පුහුණුව ලබාදීමටද ඉදිරිපත්ව සිටිති. සම්ප්‍රදායට එරෙහිව යමින් නව ඉසව් ගවේෂණයට යොමුවූ කුරුන්දන්කුලමේ හිමියෝ ඒ ගැන පැවසුවේ මෙලෙසයි.

“මම හිතන්නේ ආත්මාරක්ෂක සටන් කලාව ඉගෙනගැනීම භික්ෂුන් වහන්සේලාට ඉතා වැදගත්. ස්වයං විනයක් හදාගැනීමට ඉන් මඟපෙන්වනවා. අද සමාජය කායිකව ලෙඩවෙලා තිබෙන්නේ. රටෙන් බාගයකට වඩා දියවැඩියාව. ශරීරය බාහිරින් ප්‍රිය නැහැ. සටන් කලාව නිරෝගී ප්‍රසන්න සැහැල්ලු සිරුරකට මඟපෙන්වනවා.

මම හාමුදුරු කෙනෙක් නිසා අපට විනයක් තිබෙන බව අමෙරිකානුවන් දන්නවා. කරාටේ වගේ සටන් කලා ඉගෙනගැනීමට අපි ළඟට ළමයි එවීමට දෙමාපියන් කැමතියි. එහේ බොරු උගන්වන්න බැහැ. මිනිස්සු හැම පැත්තෙන්ම ඉගෙන ගන්නවා. අපි කියන දේ හරිද වැරදිද කියලා ඔවුන්ට විනාඩියකින් හොයාගන්න පුළුවන්. ශරීරය කියන්නේ භෞතික දෙයක්. සටන් කලාවකින් කරන්නේ අපි තුළ තිබෙන බය නැතිකර ආත්මවිශ්වාසයක් ඇතිකිරීමයි. එහෙම නැතිව මේක ගහගන්න ඉගෙනගැනීමක් නොවෙයි. එමෙන්ම කායික වශයෙන් ශක්තිමත් වෙනවා.”

වර්ෂ 10කට වැඩි කලක් තිස්සේ ක්‍රියාත්මක ශාන්ති නිකේතන බෞද්ධ මධ්‍යස්ථානය අමෙරිකානුවන්ගේ අධ්‍යාත්මික ගැටලුවලට විසඳුමක් ලබාදෙන කේන්ද්‍රයක් බවට පත්වී තිබේ. අමෙරිකානු ජාතිකයෝ 220ක් පමණ එහි ලියාපදිංචි සාමාජිකයන් වශයෙන් සිටින අතර තවත් අමතර විශාල පිරිසක් කාර්යබහුල ජීවන රටාවෙන් මිදී සැනසුම සොයා භාවනා පන්තිවලට පැමිණෙති. කරාටේ හැදෑරීම සඳහා 40ක පමණ යොවුන් පිරිසක් මේ දිනවල පැමිණෙන බව ශාන්ත හිමියෝ පැවසූහ. යෝග ඉගෙනගැනීමටත් විශාල වශයෙන් පැමිණෙන අතර පාසල්වලට ගොස් ස්වේච්ඡාවෙන් යෝග ඉගැන්වීමද උන්වහන්සේගේ එක් කාර්යයකි.

“සමහර වෙලාවට මානසිකව හුදෙකලාවට පත්වුණු අය අපේ බෞද්ධ මධ්‍යස්ථානයට එනවා. විවිධ පවුලේ ගැටලුවලට මුහුණදුන් අය එනවා. යහලුවන් තරහවුණු අය එනවා. මා ළඟට සමහරු එනවා සියදිවි නසාගැනීමට ආශිර්වාද ලබාගැනීමට. මම ඔවුන්ට ජීවිතයේ යථාර්ථය අවබෝධ කර දී ජීවිතය විනාශ කර ගැනීමෙන් වළක්වනවා. එහෙම ජීවිතය නැතිකරගන්න පැමිණි අට දෙනෙක් මගේ ශිෂ්‍යයන් බවට පත්වී සිටිනවා. අපේ රට සියදිවි නසාගන්න රටවල් අතරින් ඉහළටම ගිහින්. සමහරු ඒක වීරකමක් වගේ රෙකෝඩ් කරලා යූටියුබ් එකට පවා දානවා. නමුත් අමෙරිකාවේ අය අපේ ධර්මය අහලා ඒකෙන් ඉවත් වෙනවා.

මම ඔවුන්ට කියන්නේ ජීවිතය විනාශ කරගත හැකි ක්‍රමයක් තිබෙනවා. ඒක තමයි ආත්මාර්ථකාමී නොවී මමත්වය නැතිකරගැනීම කියලයි. ඊට පසු සමාජයට වැඩක් කරන්න කියලයි. ඉතින් එහෙම ජීවිතය ලබාගත් අමෙරිකානුවන් අද අපේ බෞද්ධ මධ්‍යස්ථානයේ කැපකරු දායකයන් වෙලා. සමහරු එහි උද්‍යානය රැකබලාගන්නවා. සමහරු බුදුපිළිම පිසදා පිරිසුදු කරනවා. ඔවුන් ඉන් මානසික සහනයක් ලබනවා.

අපි සිංහල බෞද්ධ කියලා පුංචි රාමුවකට කොටුවෙලා. නමුත් බුදුදහම කියන්නේ ලෝකයටම සැනසීම ගෙන දෙන්න පුළුවන් ධර්මයක්. නමුත් සිංහල බෞද්ධ කියල අපිටම සීමාකරගැනීමට යාමෙන් අපි ධර්මයට මෙන්ම ලෝකයටත් කරන්නේ ලොකු අසාධාරණයක්. දයාව, කරුණාව අපි ළඟ තබාගෙන ප්‍රඥාවෙන් වැඩ කළ හැකි නම් මුළු ලෝකයම සනහන පුණ්‍ය භූමිය බවට ලංකාව පත්වෙනවා. අද ලෝකයම හොයන්නේ අධ්‍යාත්මික සැනසීම. නමුත් ඒක හුඟ දෙනෙක් දන්නෙ නැහැ. ඒක ලෝකයට හඳුන්වා දිය හැකි නම් ලෝකයම වෙනස් කළ හැකියි.” ශාන්ත හිමියෝ පැවසූහ.

අද ලෝකය ආර්ථික හා විද්‍යාත්මක වශයෙන් බොහෝ ඉදිරියට ගොස් අවසානය. අප කරන්නේ ඉතිහාසය ගැන බුදුදහම සංස්කෘතිය ගැන වහසිබස් දොඩවමින් එක තැන පල්වීමය. “ඉන්දියාවේ මෝදි ජනාධිපතිතුමා මෑතකාලීනව කළ සෑම ජාත්‍යන්තර දේශනයකදීම වගේ බුදුන් වහන්සේ ගැන සඳහන් කර තිබෙනවා. ජාත්‍යන්තරයේ බුදුදහම වෙනුවෙන් ගොඩනැගෙන අවශ්‍යතාව ඉන්දියාව පැත්තට හරවාගැනීමට ඔවුන් උත්සාහ කරනවා. මෙතරම් වටිනා ථෙරවාදී බුද්ධ ධර්මයක් පවතිද්දී අපි අඩුපාඩු හදාගත්තෙ නැත්නම් ඒක අපට ලොකු පාඩුවක් වේවි. මම අමෙරිකාවෙ වගේම එංගලන්තෙත් භාවනා වැඩසටහන් කරනවා. භෞතික වශයෙන් ඉහළට ගොස් සිටින ඒ රටවල මිනිසුන්ට අවශ්‍ය අධ්‍යාත්මික පිළිතුර තිබෙන්නෙ අපි ළඟ. අපිට ලොකු වටිනාකමක් තිබෙනවා.”

අනුරාධපුරයේ ඉපදී සිවුරක් දරාගෙන අමෙරිකාවට ගොස් එරට සුද්දන්ට බුදුදහමින් මානසික සහනය ලබාදීමේ හුදෙකලා කාර්යභාරයක ශාන්ත හිමියෝ නියැලී සිටිති. ඒ අතරම බුදුදහම හිස්මුදුනේ තබාගෙන එහි අර්ථයක් නොදැන ජීවිතය අයාලේ යාමට ඉඩදෙන ශ්‍රී ලාංකිකයෝ කොපමණදැයි අපට සිතුණි.

♦ කුසුම්සිරි විජයවර්ධන