
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩු සමයේදී මෙරට කළඹන පුවතක් වූයේ මන්නාරම් ද්‍රෝණියේ ගෑස් නිධියක් තිබීමය. එය ලංකා ඉතිහාසයේ ඓතිහාසික මොහොතක් වූ අතර පත්තරවල මුල් පිටුවල පවා මේ නිධානය ගැන කීවේය. බොහෝ ආර්ථික විශේෂඥයන් පවා පැවසුවේ මේ හරහා රටේ ආර්ථි කය විශාල නැගීමකට යොමු වන බවය. ඒ 2012 සහ 2013 අතර කාලයේදීය. අවසානයේ එකී ස්ථානයේ කැණීම් පවා ආරම්භ කළේය. එහෙත් අද වනතෙක් ගෑස් ගත්තේ නැත. එක පැත්තකින් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන තිබුණේ නැත. තව පැත්තකින් ආයෝජකයන් හිටියේ නැත. අවසානයේ ව්‍යාපෘතිය ලත් තැනම ලොප් විය.
එහෙත් එම කැණීම් හරහා මේ වන විට ඛනිජ සම්පත් ඇති බවට හඳුනා ගත් කලාප තුනක් හඳුනා ගත්තේය. එකක් මන්නාරම් ද්‍රෝණියේ M 01 සිට M 10 දක්වා කලාපයය. අනෙක කාවේරි ද්‍රෝණියේ C1 සිට C5 දක්වා කාලාපයය. අනෙක් කාලාපය වන්නේ ලංකා ද්‍රෝණියේ JS01 සිට JS06 දක්වාය. මේ කාලාප තුනෙහි ඛනිජ සම්පත් ඇති බවට මේ වන විට තහවුරු කරගෙන ඇත. ඒ නිසාම ඇතැම් අවස්ථාවල එම ස්ථාන කැණීම් කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීම් පවා සිදු කළේය.
කෙසේ වෙතත් පසුගියදා මෙම කතාව අලුත් කරමින් නව පිටුවක් ඛනිජ තෙල් අමාත්‍යංශයෙන් ආරම්භ කළේ මෙතෙක් නැවති තිබූ ව්‍යාපෘතියකට පියවර තබමනි. ඒ මෙතෙක් නතර වී තිබී තෙල් කැණීම් නැවතත් ආරම්භ කරමිනි.
මේ සඳහා පූර්ණ දායකත්වය ලබා දෙන්නේ ලෝ ප්‍රකට schlumberger ආයතනයට අයිති Eastern Echo DMCC සමාගම විසින්ය. ඔවුන් මේ සඳහා BGP Pioneer නැමති නෞකාව යොදාගෙන ඇත. මෙම සමාගම අමෙරිකාවේ පිහිටි ප්‍රධානතම ආයතනයකි.
මෙවර කැණීම් කටයුතු මෙම සමාගම විසින් සිදුකරන්නේ ලංකා ද්‍රෝණියේ පිහිටි JS5 සහ JS6 යන කොටස් දෙක තුළය. මේ කැණීමෙහි සුවිශේෂීත්වය වන්නේ පසුගිය කැණීම්වලදී මීටර් 4000ක ප්‍රමාණයක කැණීම් සිදුකළත් මෙවර මීටර් 5000කට එහා කැණීම් සිදුකිරීමය.
නැගෙනහිර මුහුදේ සිදුකෙරෙන මෙම කැණීම සඳහා ත්‍රිමාණ භූකම්පන ලබා ගැනීමට ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇත. එසේ ලබා ගන්න ත්‍රිමාණ දත්තවලින් සිදුකරන්නේ ඛනිජ තෙල් රැස්ව ඇතිද නැතිද යන්න තීරණය කිරීමය. එසේ ලබාගන්න ත්‍රිමාණ දත්ත පසුව මැලේසියාවේ පිහිටි ස්ලම්බර්ජ් තාක්ෂණික රසායනාගාරයක් සඳහා යොමු කෙරෙන අතර එහිදී දත්ත පරීක්ෂාවකට ලක්කරනු ලබයි. ඒ සඳහා මාස පහක් ගතවන බව සඳහන්ය. එම වාර්තාව පැමිණි පසුව පී.ආර්.ඩී.එස් ආයතනයේ සිටින භූ විද්‍යාඥයෝ ටොටාල් ආයතනයේ සටින භූවිද්‍යාඥයන් සමඟ අදාළ දත්ත සම්බන්ධයෙන් විශ්ලේෂණයක් සිදුකරනු ලබති. එයින් ලැබෙන පිළිතුරැ සුබදායී අදාළ කැණීම් කටයුතු සඳහා මූලික අඩිතාලම ආරම්භ කරන බව සඳහන් වේ.
කෙසේ වෙතත් ඛනිජ තෙල් අමාත්‍යංශය පවසන්නේ මෙම ව්‍යාපෘතිය සඳහා අමෙරිකන් ඩොලර් මිලියන 9ක් වැය කර ඇති බවයි. අදාළ පරීක්ෂණ සඳහා දවස් 45 ක් වැයවන බව සඳහන්ය.
කෙසේ වෙතත් මීට පෙර සිදුකළ කැණීම්වලට අනුව දැනට මන්නාරම් ද්‍රෝණියේ ස්ථාන දෙකක ගෑස් ඇති බවට හඳුනාගෙන ඇත. එහෙත් එය තවම ස්ථිර නොමැති නිසා ඒ පිළිබඳව ද ඉදිරියේදී පරීක්ෂණයකට ලක්කිරීමට යෝජිතව ඇත. දැනට ඇතැම් ස්ථානවල පරීක්ෂණ සිදුකළත් ඉතා සාර්ථක මෙන්ම ඉතා පුළුල් මෙහෙයුමක් සිදුකරන්නේ මෙවර බව සඳහන් වේ.
කෙසේ වෙතත් ලෝකයේ සිටින ආර්ථික විද්‍යාඥයන් සඳහන් කරන්නේ තවත් අවුරුදු 20කින් ලෝකයේ තෙල් සම්පත හීන වී යන බවය. තෙල්වලට වටිනාකමක් නැති බවත් ඔවුහු සඳහන් කරති. එසේම ඒ වෙනුවෙන් පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි ලෝකය වේගයෙන් ඇදී යයි. එවන් යුගයක 2040 දී තෙල් ගැනීම සඳහා සිදුකරන මේ උත්සාහය සාර්ථක වේද නැද්ද යන්න කියන්නට දන්නේ නැත. ප්‍රතිඵලයක් තියේද යන්නත් කියන්නට දන්නේ නැත. එහෙත් එක් දෙයක් ගැන සතුටු විය හැක. ඒ රට තුළ වූ සම්පත් ආර්ථික ශක්තියක් සඳහා යොදවා ගැනීමට පැමිණි අවස්ථාව ගැනය. එයින් ඵල ප්‍රයෝජන ගැනීම රටේ නායකයන් සතු වගකීමකි.
මේක විශාල ජයග්‍රහණයක්
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග
මට පුළුවන් වුණා පහුගිය මාස දෙකකට කළින් අමෙරිකාවේ ගිය වෙලාවක මේ සමාගම එක්ක සාකච්ඡාවක් කරන්න. ඒ අනුව තමයි මාස දෙකක් ඇතුළත ගිවිසුම් ගහලා මේ ආයෝජනයට යන්න පුළුවන් වුණේ. ඒක විශාල ජයග්‍රහණයක්. අපි කිසිම ආණ්ඩුවකට දොස් කියන්නේ නෑ. හැම ආණ්ඩුවක්ම අවුරුදු 20-30ක ඉඳලා මේ ව්‍යාපෘතියට මහන්සි වුණා. ඒත් අපි වෙනම කාර්යාලයක් හදලා ඒකට වෙනම අධ්යක්ෂ කෙනෙක් දාලා වෙනම ව්‍යාපෘතියක් හැටියට අමාත්‍යංශය යටතේ පටන් ගත්තා.
අපි මේ පළමු අඩිතාලම දාන්නේ. මේ ලබාගන්නා දත්තවලින් සාර්ථක ප්‍රතිඵලයක් තියෙනවා නම් අපිට ආයෝජකයෝ ගෙනල්ලා තෙල් කැණීම් පටන් ගන්න පුළුවන්. ඒ ධනාත්මක අදහසින් තමයි අපි වැඩකටයුතු කරන්නේ. අපේ රට වටේම තෙල් තියෙනවා නම් අපිට පුළුවන් මේ රට උසස් තැනකට තවතවත් ගෙන එන්න. අපි අනෙක් කලාපවල ගවේෂණවලටත් ඉදිරියේ ටෙන්ඩර් කැඳවීම් සිදු කරනවා. ඒ හරහා මේ තෙල් සම්පත ලබාහන්න උත්සාහ කරනවා.
අදාළ ව්‍යාපෘතියට විශාල කාලයක් යයි. හැබැයි අපිට කාලය නෙමෙයි වැදගත් මේ වැඩේ කරන්න. ඒ හරහා රටේ ආර්ථිකයට ශක්තියක් වෙන එක. අපි ඉදිරි සති අටක කාලයකදී සතුටුදායක ආරංචියක් ලැබේවි.
අසංක කළුබෝවිල