
ජලභීතිකාව නැතිනම් කටවහරට කියන අන්දමට පිස්සු බලු රෝගය වෛද්‍ය විද්‍යාව තුළ (Rabies) නමින් හැඳින්වෙයි. මෙහි ලතින් අර්ථය වන්නේ මෝඩකම යන්නයි. මෙය වෛරස් රෝග ආසාදනයක් වන අතර වෛරසයේ ඇති භයානක තත්ත්වය වන්නේ මොළයේ අභ්‍යන්තර පඨක තුළ (Acuteencerhalitis) ආසාදනය ඇති කිරීමයි. මෙය තවත් සත්වයන්ගෙන් සත්වයන් අතරට බෝ වන රෝගී තත්ත්වයක් නිසා (Zoohotic) රෝගයක් ලෙස හැඳින්වෙයි. ජලභීතිකා රෝගය වැළඳුණු පසුව කඩිනමින් ප්‍රතිකාර නොගතහොත් මරණය අනිවාර්යයෙන්ම උරුම වන නිසා කලින්ම රෝගය ඇතිවිම වළක්වා ගැනිම ප්‍රතිකාර ගැනිමට වඩා ඉතා වැදගත්ය.
සාමාන්‍ය අප අසා තිබෙන්නේ ජලභීතිකාව වැළඳෙන්නේ වෛරසය ආසාදිත බල්ලකු හෝ බළලකු විසින් සපා කෑමෙන් බවය. එහෙත් දැන් ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වන්නේ ගවයන් සහ එළුවන් අතරද ජලභීතිකාව පැතිරෙන බවය. එය එසේ නම් වහාම අවධානය යොමුවිය යුතු තත්ත්වයකි.
කාලාන්තරයකට පසුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ජලභීතිකා රෝගය හේතුවෙන් මරණ දෙකක් වාර්තා වි තිබිණි. ගවයන් සහ එළුවන් අතරද මෙම රෝගය පැතිරෙන බවට ලැබි ඇති සාධක ගැන හෙළි වි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍යය සේවා කාර්යාලය පවසන්නේ ඒ සමඟය.
ලොකු අනතුරකට පෙර මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා විවිධ වැඩසටහන් ආරම්භ කරමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්ද දැනට පැවැත්වෙයි. නිලධාරීන් පෙන්වා දෙන ආකාරයට එලෙස ජල භීතිකාව වැළඳුණු එළුවන් හා ගවයන් දිස්ත්‍රික්කය පුරාවටම 3%ක් වැනි ප්‍රමාණයක් සිටින බව සඳහන්ය.
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ වාර්තා අනුව 2014 වසරේ ජලභීතිකාව වැළඳුණු සතුන් ප්‍රමාණය 46කි. එය 2015 වසරේ 35ක්, 2016 වසරේ 27ක් ලෙස සටහන් වී ඇති අතර පසුගිය 2017 වසරේදී එම තත්ත්වය 46ක් දක්වා මඳක් වර්ධනය වී තිබිම මේ ගැන රතු එළියක් දල්වා තිබේ. 2018 වසරේ මේ දක්වා කාලය තුළ ජලභීතිකාව වැළඳුණු සතුන් 11ක් හඳුනාගෙන ඇති අතර ඒ අතරට හරක් 3 දෙනකු සහ එළුවන් 3 දෙනකු සිටින බවද එම වාර්තාවල සඳහන්ය.
ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වාර්තාවලට අනුව ජලභීතිකාව සහිත විවිධ සතුන්ගේ සපාකෑම් හේතුවෙන් 2010 වසරේ සිට මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 14කි. වැඩිම සංඛ්‍යාවක් මරණ වාර්තා වී ඇත්තේ 2010 වසරේ වන අතර එම සංඛ්‍යාව 6කි.
ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ වෛද්‍ය නලීන් විජේසේකර මහතා මේ සම්බන්ධයෙන් මෙසේ පවසයි.
“බල්ලන් හා පූසන් වැනි සතුන්ට ජලභීතිකාව වැළඳෙන බව අපි කවුරුත් දන්නා කරුණක්. නමුත් අනෙක් ක්ෂීරපායි සතුන්ටත් මේ රෝගය වැළඳෙනවා. දඬුලේනුන්, වඳුරන්, ලේනුන්, මුගටියන් වැනි සතුන් අතර මේ රෝගය දක්නට ලැබෙනවා. නමුත් පහුගිය දිනවල මියගිය සතුන් අතර මේ රෝගය වැළඳුණු එළුවන්, හරකුන් වැනි සතුන් සිටීම සම්බන්ධයෙන් අපේ දැඩි අවධානයක් යොමු වී තිබෙනවා. කිරි සහ මස් පිණිස ඇතිකරන මෙම සතුන්ට රෝගය වැළඳීම ගැන ජනතාවගේ වැඩි අවධානයක් නැහැ. මේ වගේ සතුන් සපා කන්නේ නැති වුණත් ඔවුන්ගේ කෙළ ශරීරයේ ස්පර්ශ වීමෙන්ද මෙම රෝගය බෝවීමට හැකියාව තිබෙනවා. ඒ නිසා බල්ලන්, පූසන් වගේම එළුවන්, හරකුන්ගෙනුත් ජනතාව ප්‍රවේශම් විය යුතුයි. මෙවැනි ආසාදිත සතෙකු මිනිස් සිරුර ලෙව කෑ අවස්ථාවකදී සම මත කුඩා සීරීමක් හෝ තිබුණහොත් රෝගය බෝවීමට තිබෙන ඉඩ වැඩියි. එවැනි අවස්ථාවක ගලා යන ජලයෙන් සබන් දාලා විනාඩි 10ක් පමණ හොඳින් සෝදා වෛද්‍යවරයකු වෙත යොමු කිරීමෙන් මෙම තත්ත්වය පාලනය කරගන්න පුළුවන්.”
පසුගිය ජූලි මාසයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ සත්ව මරණ 13ක් වාර්තා වූ අතර අගෝස්තු මාසය තුළ සත්ව මරණ 07ක් වාර්තා වී තිබිණි. කෙසේ වෙතත් මෙම තත්ත්වය තුළ ප්‍රදේශයේ හරක් සහ එළුවන් ඇති කරනා පිරිස් විශේෂ අවධානයක් තම පට්ටි වෙත යොමුකළ යුතු බවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන්ද අරඹා තිබේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ සුනඛයන් 10,000කට වැඩි ප්‍රමාණයට ජලභීතිකා එන්නත ලබාදී ඇති අතර අනෙක් සතුන් සඳහාද මෙම එන්නත ලබාදීමේ වැඩපිළිවෙළක්ද මේ වනවිටත් ක්‍රියාත්මක කරමින් ඇත.
ජලභීතිකා රෝගය තුරන් කිරීමට මේ වනවිට සෞඛ්‍යය අංශ පියවර ගෙන ඇති අතර මෙම ක්ෂීරපායි සතුන්ට විශේෂයෙන්ම ගවයන් සහ එළුවන්ට වැළඳී ඇති මෙම රෝග තත්ත්වය පිළිබඳව සොයාබැලීම සෞඛ්‍ය අංශවල වගකීමකි. එමෙන්ම ජලභීතිකා මර්දනය සඳහා ඇති වඩාත්ම ප්‍රතිඵලදායක ක්‍රමවේද හඳුනා ගැනීමටද දැඩි අවධානයක් යොමුවිය යුතුය.
♦ හසිත් අංජන