
ආපදා අවම කිරීමේ වැඩසටහන යටතේ මල්වතු ඔය ආශ්රිත ගංවතුර අවම කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව සිදුකර කරන වැඩ විෂය පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීමේ විශාල ප්‍රදර්ශන පුවරුවක් අනුරාධපුර නගරයට පිවිසීමේදී දැක ගත හැකිවේ.
වාරිමාර්ග හා ජලසම්පත් ආපදා කළමනාකරණ අමාත්‍යංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කර ආරම්භ කර ඇති මෙම වැඩසටහන 2018.07.07 වැනි දින අනුරාධපුර බන්ධනාගාරය ඉදිරිපිට ජර්මන් පාලම අසලින් ආරම්භ කර ඇත.
දැනුම්වත් කිරීමේ පුවරුව අනුව සඳහන් කර ඇති මූලික වැඩ විෂය වී ඇත්තේ ගඟ දෙපස ඉවුරු ශක්තිමත් කිරීම, ජල මාර්ග, ඇළ වේලි ශුද්ධ කිරීම, රොන්මඩ ඉවත් කිරීම, පැති බැමි ඉදිකිරීම ඇතුළු ගංවතුර පාලනය සඳහා වූ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමයි. පාරිසරික ඇගැයීම් වාර්තා කිසිවක් නැතිව සිදුකරන බව කියන මල්වතු ඔය ආශ්රිත ගංවතුර පාලන වැඩ සටහන පූර්වාදර්ශයක් කර ගනිමින් ගංවතුර තත්ත්වයන් පවතින ශ්‍රි ලංකාවේ සෑම ගංඟාවක් ආශ්‍රිතවම මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදු වුවහොත් සිදුවන පරිසර විනාශය කොතෙක්ද කිව නොහැකිය.
මල්වතු ඔය ආශ්රිත වැඩ විෂයන් සියල්ල දැනුම්වත් කිරීමේ පුවරුවේ සඳහන් වෙද්දී දිරාගිය හෝ වැටුණු කුඹුක් ගසක්වත් ඉවත් කරන බවට සඳහන් වී නැත්තේ ඇයි දැයි ප්‍රශ්නාර්ථයකි. දැන්වීම් පුවරුවේ සඳහන් නොවුණ ද කුඹුක් ගස් ඉවත් කිරීම වැඩ විෂයේ මූලික අංගයක් බවට පත්වී තිබීම තුළ විශාල වන සංහාරයක් සිදුවී ඇති ආකාරය ගවේශණයේදී දැක ගත හැකිය.
පවතින අධි වැසි සමයේදී ගංවතුර තත්ත්වයට මුහුණ දෙන අනුරාධපුරය සහ අවට ප්‍රදේශවල ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා ගෙන ඇති පියවර අගය කළ යුතු වුවද එයට ආදීනව සිදුවන අයහපත් ක්‍රියාකාරකම් පැවසිය නොහැකි තරම්ය. මල්වතු ඔය පිටාර ගැලීමෙන් අවට නිවාස, රාජ්‍ය ආයාතන, ආගමික ස්ථාන යටපත් කරගෙන අඩි කිහිපයක් උසින් ගලා යන ජලය රඳවා ගැනීමට මල්වතු ඔය වැනි කිහිප ගුණයකින් විශාල ගංඟාවක් තිබුණ ද ප්‍රමාණවත් නොවන බව වටහා ගැනීම අසීරු කාරණාවක් නොවේ.
එවන් තත්ත්වයක් තුළ ඔය පිරිසිදු කිරීම යම් තරමක් හෝ ගංවතුර පාලනයක් විය හැකි වුවද කුඹුක් ගස් කපා ඉවත් කිරීම, ඉවුරු කැපීම වැනි ක්‍රියාවන් නිසා බාධක නොමැතිව ජලය ගලා යාමෙන් ඔයේ ඉවුරු සේදී යාම පාලම්වලට හානි සිදුවීම විය හැකිය. විශාල කුඹුක් ගස් වටා ඇති ස්වභාවික පස් ඉවත් කිරීම තුළින් ගස් මුල් සේදී ගොස් ගස් පෙරළී යාම, එලෙස පෙරළී යන ගස් පාලම්වල සිරවීම වැනි ආපදාවන් සිදුවීම වැළැක්විය නොහැක්කකි.

ආපදාවට පෙර සූදානම වැඩ සටහනේ නිමාව ආපදා වර්ධනය කිරීමක්ද යන්න ප්‍රශ්නාර්ථයකි. මෙරට පවතින පරිසර නිතිය අභිභවා කටයුතු කිරීමට කිසිම රාජ්‍ය ආයාතනයකට, රාජ්‍ය නිලධාරියකුට නෛතික බලයක් නොමැති බව දන්නා කරුණකි.
මාතෘ භූමිය සුරැකීමේ සංවිධානයේ සභාපති අයි. එම්. චන්ද්‍රදාස මහතා “මට ඔය පිළිබඳ දැන ගන්නට ලැබුණු ගමන් ගිහින් බැලුවා. රටේ පුරවැසියෙක් විදිහට මේ රටේ සෑම ස්වභාවික සම්පතක් රැක ගැනීම අපේ වගකීමක්. මල්වතු ඔය පිරිසිදු කරන එක හොඳයි. ප්‍රශ්නෙ තිබෙන්නේ ඔය දෙපස තිබෙන ගහ කොළ ඉවත් කරන්න ඉස්සර තිබෙන්නේ මොනවාද කියලා ගණනය කරලා පරිසරයට හානියක් නොවන අයුරින් කරන එක.
ඒ වගේම ඔය දෙපස වටිනා ඖෂධීය ගස්, වැල් තිබුණා. ඒ සේරම විනාශ වෙලා ඉවරයි. ස්වභාවික ගල් ඉවත් කරලා තිබෙනවා. මේ විදිහට කරන්න පුළුවන් නම් මේ රටට පරිසර නීති කිසිවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ගංවතුරට යටවෙන්නේ අනුරාධපුරය විතරක් නෙවෙයි. එහෙමනම් රටේ සෑම ගංවතුර ඇතිවන ගංඟා ආශ්රිත මෙහෙම කරන්න ගියොත් ගංඟා, ඔයවල් ආශ්රිත තිබෙන අලංකාර පරිසර පද්ධතිය නැතිව යයි. කලා ඔය, මී ඔය, දැදුරා ඔය පිටාර ගලනවා. දහස් ගණන් ජනතාව ආපදාවට ලක් වෙනවා. එහෙම නම් ඔය ගංඟා ආශ්‍රිතවත් ඕක කරන්න පටන් ගන්න හදයිනේ. මේවා කාගේ හරි උවමනාවට කරන වැඩක් පරිසරය රකින්නට නීති ගේන්නෙත් ආණ්ඩුව පරිසරය විනාශ කරන්නෙත් ආණ්ඩුව මම මේ පිළිබඳව ජනාධිපතිතුමාට ලිපි මඟින් දැනුම් දෙන්න කටයුතු කරනවා.
මේ ගැගෙන චෝදනා පිළිබඳව විමසීම සඳහා වාරිමාර්ග, ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ජංගම දුරකථනයට අවස්ථා කිහිපයකදී ඇමතුම් ලබා ගත්තද සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ අතර වාරිමාර්ග, ජල සම්පත් හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබංඩාර මහතාගෙන් විමසීමක් කළ අතර අමාත්‍යවරයා පැවසුවේ මේ පිළිබඳ කරුණු නොදන්නා බවත් සොයා බැලීමක් කරන බවයි.

පරිසරවේදී ජගත් ගුණවර්ධන මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු පැවසුවේ හරිහැටි කරුණු නොදන්නා බවත් යම් කටයුත්තක් නිත්‍යනුකූල නොවන ආකාරයෙන් සිදුකරනවා නම් එය වරදක් බවයි. අනුරාධපුර වාරිමාර්ග අධ්යක්ෂවරයාගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබා ගත්ත ද ඔහු ප්‍රතිචාර නොදැක්වීය.
පරිසර භාරය අධ්‍යක්ෂක පරිසරවේදී සජීව චාමිකර මහතාගෙන් විමසීමක් කළෙමු. “ගංවතුර ආපදාවලට කොයිම ආකාරයකින්වත් ශාකවලින් බලපෑමක් වෙන්නේ නැහැ. ඔය කරන ක්‍රියාවලිය වැරදිම වැරදි ක්‍රියාවලියක්. සීඝ්රයෙන් ජලය ගලාගෙන යෑම මන්දගාමී කිරීමට ශාක අවශ්‍යයි.
ඒවා හදන්න අවශ්‍ය යාන්ත්‍රණය හැදීම තමයි වියලි කලාපයට අවශ්‍ය වෙන්නෙ. කෙටිකාලීනව ඇතිවන ඊසාන දිග මෝසම සක්‍රීය වීම ගංවතුරවලට ප්‍රධාන වශයෙන් හේතු වෙනවා. ජලය රඳවන කලාපවල වැව් රොන්මඩවලින් පිරිලා එල්ලංගා පද්ධතිය හරි විදිහට සකස් වෙලා නැහැ. තෙත් බිම් මේ වන විට මහා පරිමාන වාණිජ වගාවන්ට භාවිතා කරනවා.
ජලය භූගතකරණය කරන්න වනාන්තර පරිසර පද්ධතිය අවශ්‍යයි. ගංවතුර ඇති වන්නේ ඔය වගේ හේතු නිසා පොලවට වැටෙන වර්ෂාපතනය වේගයෙන් මතුපිටින් ගලාගෙන යාම තමයි ප්‍රධාන වශයෙන් ගංවතුර ඇතිවෙන්න බලපාන්නේ. කළයුත්තේ පොළොව මතුපිටින් ගලායන ජලය රුඳවුම්කරණය සහ භූගත යාන්ත්‍රණය කිරීමයි.
ඒවා නොකර කුඹුක් ගස්වලට තිබෙන ලොල් බව හා පෙරේතකමට තමයි ඔය දේ කරන්නේ. කුඹුක් ශාකය ජලයේ තිබෙන ලවණ වර්ග උරා ගන්නවා, අධික ලවණ සාන්ද්‍රණය අඩු කරනවා, ජලයට එකතුවන රසායනික ද්‍රව්‍ය උරාගෙන ජලය පිරිසිදු කිරීම කරනවා. වියළි කාලයේදී භූගත කරන ජලය නැවත පසට එකතු කරනවා. ඔය ශාක පද්ධතිය ඔය ආශ්රිත ජීවින්ගේ බෝවීම සිදුකරනවා.
මිරිදිය ඉස්සා, කකුළුවා, විශේෂ මිරිදිය ගොලුබෙල්ලෝ බෝ වෙන්නේ ඔය ජලජ පද්ධතිය තුළයි. මේ කරන වැඩෙන් ස්වභාවික පරිසර පද්ධතියේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් බිඳ වැටෙනවා.
►රෝවන් පෙරේරා පුත්තලම