2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

සෝමාවතියේ එකම තැනක අවසන් ගමන් ගිය සද්දන්තයන්ගේ ඛේදවාචකය

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 136

වනපෙත තුළ දිවි ගෙවූ අලි රංචුවකගේ ජීවිත පසුගියදා පෙරිය ආරු ගඟේ දිය යට සැඟව ගිය පුවත සැබැවින්ම දුක්මුසුය.

සෝමාවතිය ජාතික වනෝද්‍යානය, ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය යන වන උයන් තුළ සැරිසැරූ මේ වන අලි රංචුව අකල් මරණයට ගොදුරු වූයේ පොළොන්නරුව, ඕනෑගම, පුදූර් ගම්මානය ආසන්නයේ තුම්මෝදර ප්‍රදේශයේදීයි.

රාත්‍රී කාලයේ ආහාර සොයා යමින් සිටියදී පෙරිය ආරු ගඟේ ජපන් ජබර ඇතුළු ජලජ ශාකවලින් පිරී තිබූ තෙත් බිමකදී අලින් මේ අකරතැබ්බයට පත්වී ඇත. එහි එරී නැවත ගොඩට ඒමට නොහැකිව දියේ ගිලී මිය ගිය අලින්ගේ ගණන 09කි. මුලින්ම අලි 7 දෙනකුගේ මළ සිරුරු හමුවූ අතර ඊට දෙදිනකට පමණ පසුව තවත් අලි දෙදෙනකුගේ මළ සිරුරු වනජීවී නිලධාරීහු ගොඩට ගත්හ.

මේ අන්දමට අලි විශාල සංඛ්‍යාවක් එකම ස්ථානයකදී අකල් මරණයට පත්වී එකම සුසානයක මිහිදන් කෙරුණු අවස්ථාව වනජීවී නිලධාරීන්ට පවා ආගන්තුක අත්දැකීමක් වූවාට සැක නැත. අලින් මියගොස් සිටිනු මුලින්ම දැක ඇත්තේ ඕනෑගම, පුදූර් ගම්මානයේ වැසියන් පිරිසකි. පසුව ඔවුහු පොළොන්නරුව වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට ඒ බව දැනුම් දී තිබේ.

ඒ ගැන අදහස් දැක්වූ පුදූර් ගම්මානයේ වෙසෙන ඒ. එම්. රම්ජාන් මහතා - 

“ගමේ අය වැඩි දෙනෙක් කිරි පට්ටි ගැන හොයලා බලන්න දිවුලාන විලට යන්නේ මෙතැනින්. මෙතැනට කියන්නෙ පෙරිය ආරු ගඟේ තුම්මෝදර කියලා. මම ගිය සෙනසුරාදා (1) උදේ මෙතැනින් යනකොට දැක්කේ අලි 05 දෙනෙක් මඩේ එරිලා තැන් තැන්වල මැරිලා ඉන්නවා. පසුව මම ගමේ අයට කියලා වනජීවී එකේ මහත්තුරුන්ට දැනුම් දුන්නා. පස්සේ ඒ මහත්තුරැ වැඩිදුරටත් හොයලා බලද්දී තවත් අලි දෙන්නෙක් හමුවුණා.”

පුදූර් ගම්මානයේ වෙසෙන ඒ. ජී. සමන්ත අබේසිංහ මහතා ද අලින්ට සිදුවූ මේ විපත මුලින්ම දුටු අයෙකි.

“දැනට සති කීපයකට කලිනුත් එක අලියෙක් මෙතැන මැරිලා ඉඳලා හමුවුණා. ඒ අලියා අවුරුදු 08ක් විතර වයසයි. අපි ඒ අලි පැටියා ගොඩට ගන්න වනජීවී එකේ මහත්තුරුන්ට උදව් කළා. පස්සේ ගිය සෙනසුරාදා මම පෙරිය ආරු ගඟ පැත්තට යන්න ආවා. බොහෝ වෙලාවට කෑමට මාළු කූරියෙක් අල්ලගන්න පෙරිය ආරු ගඟට තමයි අපි එන්නේ. ඒ එද්දී තමයි මේ අලි ටික මැරිලා ඉන්නවා දැක්කේ. පස්සේ ගමේ අයට කියලා වනජීවී එකේ මහත්තුරුන්ට දැනුම් දුන්නා.”

වන අලි රොත්තක් එකම තැන මියයාමේ සිද්ධිය පිළිබඳව සොයා බැලීම සඳහා වනජීවී හා තිරසාර සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සහ නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම යන මහත්වරුන් ද ඒ ස්ථානයට පැමිණ සිටියහ.

අලි රංචුවට මරු කැඳවූ ස්ථානයේ බහුලව වැවී තිබෙන ජපන් ජබර ඇතුළු ජලජ ශාක ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසද එහිදී ඇමතිවරුන්ගෙන් වනජීවී නිලධාරීන්ට උපදෙස් ලැබුණි. ඒ අනුව එහි ඝනව වැඩී තිබුණ ජලජ ශාක යන්ත්‍රානුසාරයෙන් ඉවත් කරමින් සිටියදී තවත් අලින් දෙදෙනකුගේ මළ සිරුර හමුවී ගොඩට ගැනීමට හැකි විය.

ඊට පෙර හමුවූ අලින් 07 දෙනාගේ මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම සඳහා ගොඩට ගැනීමට ද වනජීවී නිලධාරීන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බව මෙහිලා සඳහන් කළ යුතුය. බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් අලි මළ සිරුරු ගෙඩට ගන්නා විට බෙහෙවින් නරක් වී තිබූ අතර ප්‍රදේශය පුරා විශාල දුර්ගන්ධයක් ද පැවතුණි.

එසේ ගොඩ ගනු ලැබූ අලින් 07 දෙනාගේ මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන ලද්දේ අනුරාධපුර වනජීවී කලාපයේ වනජීවී පශු වෛද්‍ය නිලධාරී වෛද්‍ය චන්දන ජයසිංහ සහ පොලොන්නරුව හා ත්‍රීකුණාමලය කලාප බාර වනජීවී පශු වෛද්‍ය නිලධාරී, වෛද්‍ය සමීර කලිඟුආරච්චි යන මහත්වරුන් විසිනි.

ඒ අලි මරණවලට හේතුව දියේ ගිලී හුස්ම හිරවීම බව පශු වෛද්‍යවරුන් විසින් නිගමනය කළහ. සිද්ධියෙන් මියගිය අලි 9 දෙනා අතර වැඩි දෙනකු පැටවුන් බවද දැනගන්නට ලැබිණි. වයස අවුරුදු 25 – 30 අතර පසු වූ සතුන් ගණන 03කි. ගැහැනු සතුන් සිව් දෙනකු ද වූ බව වනජීවී පශු වෛද්‍ය නිලධාරී සමීර කලිඟුආරච්චි මහතා අප සමඟ කීවේය.

මේ අලි රංචුව මෙලෙස අහඹු අකරතැබ්බයට මුහුණපාන්නට ඇති අන්දම ද ඔහු අපට විස්තර කළේ මෙසේයි.

“මේ ප්‍රදේශය අලින්ට නුහුරු නුපුරුදු කලාපයක් නෙවෙයි. සෝමාවතිය ජාතික වනෝද්‍යානය, ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය යන වනෝද්‍යාන දෙකම ආසන්නයේ පිහිටලා තිබෙන්නේ. ඒවායේ ජීවත්වන අලි රංචු තමයි මේ ප්‍රදේශවලට එන්නේ. නමුත් මේ මඩේ එරිලා තියෙන්නේ ජපන් ජබර ඇතුළු ජලජ ශාක විශාල ලෙස වැඩී ඝන තට්ටුවක් හැටියට වතුර මතුපිට සැදී තිබුණු කොටසකයි. මේ තට්ටුව මතින් මනුස්සයකුට කිසිම අනතුරක් නොවී පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. නමුත් අලියා ගමන් කිරීමේදී අඩි 1 ½ක් 02ක් පමණ වන ඒ ඝනකම් තට්ටුව කඩාගෙන පහළට ගිලා බැස තිබෙනවා. එසේ ගිලා බැස්සට පසුව නැවත ගොඩට ඒමට බැරිවීම නිසයි අලි සියලු දෙනාම දියේ ගිලී මියගොස් තිබෙන්නේ.”

මේ අන්දමට අලින් විශාල සංඛ්‍යාවක් එකම තැනකදී මෙලෙස දියේ ගිලී මරණයට පත්වීම සම්බන්ධයෙන් පොළොන්නරුව කලාපය බාර වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඩී. එම්. ජේ. වික්‍රමසිංහ මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ද පරිසර පද්ධතීන්වල වෙනස්වීම නිසා මෙවැනි තත්ත්වයන් ඇතිවන බවයි. අධික පෝෂණ ගුණයන් නිසා හොඳින් වැඩී ඝන තට්ටුවක් බවට නිර්මාණය වී තිබූ කොටස කඩාගෙන අලියා ගිලීමත් සමඟ උඩට ඒම සඳහා විශාල බලයක් යෙදවීමට අපහසු වීමෙන් අලින් සියලු දෙනාම දියේ ගිලී තිබෙන බව වික්‍රමසිංහ මහතා කීය.

කෙසේ නමුත් අප රටේ සත්ත්ව ලෝකයේ ඔවුන්ගේ පරිසරයේ සිදුවී, අසන්නට දකින්නට ලැබුණු ඉතාමත් ශෝචනීය සිදුවීමක් ලෙස බොහෝ දෙනාගේ සිත් තුළ මෙය ගැඹුරින් තැන්පත් වනු නිසැකය.
රජරට ඇතුළු බොහෝ ප්‍රදේශවල මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණය නිසා අලි ඇතුන් ප්‍රමුඛ වන සතුන් ආහාර සහ ජලය සොයා සැතපුම් ගණන් දුර ගෙවන බව නොරහසකි. තමන්ට එතරම් නුහුරු නුපුරුදු ආගන්තුක පරිසරයක් නොවූවද මේ අලි රංචුව එදිනෙදා වේල සරිකර ගන්නට ගිය ගමනේදී අහඹු විපතකට පත්ව නොකල්හි දිවි ගමන නිමා කර තිබේ.

වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් පවසන පරිදි මේ මියගිය සද්දන්ත පරපුරේ සාමාජික සාමාජිකාවන් අතර ඉතා ජව සම්පන්න අලින් සහ පරම්පරාව බෝ කිරීමට හැකියාව තිබෙන ඇතින්නියන් ද වීම තවත් දොම්නස වඩවන කාරණයකි.

අලින්ට මරු කැඳවූ පෙරිය ආරු ගඟේ තුම්මෝදර කොටසේ බහුලව වැඩී පරිසරය වසාගෙන තිබෙන ජපන් ජබර ඇතුළු ජලජ ශාකා ඉවත් කිරීමට ගෙන ඇති තීරණය තාවකාලික පිළියමක් වුවද ඉදිරි දිනවලදී මේ අන්දමට අලි රංචු පැමිණ මරණය ළඟා කර ගැනීම වළක්වාලීමකි.

වනජීවී හා තිරසාර සංවර්ධන ඇමැතිවරයා සහ නියෝජ්‍ය ඇමැති යන දෙදෙනා සහ වනජීවී නිලධාරීන්ට ඒ වෙනුවෙන් පැසසුම් කළ බව එහි මහජනතාව අප සමඟ පැවසූහ. මියගිය අලින් 09 දෙනා වෙනුවෙන් ගරුතර මහා සංඝරත්නය ඒ ස්ථානයට වඩමවා, පාංශකූලය ආදී ආගමික වතාවත් ඉටු කර පින් අනුමෝදන් කරවීමට වනජීවී හා තිරසාර සංවර්ධන නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා මූලිකව ක්‍රියා කර ඇති බවද අපට දැනගන්නට ලැබිණි.

“මතු උපදින ආත්මෙකවත් මේ අසරණයන්ට මේ වගේ විපතක් සිද්ධ වෙන්න එපා”
මේ අලි මරණ දැක බලාගන්නට පැමිණි බොහෝ දෙනාගේ මුවින් කියැවෙනු අපට ද අසන්නට ලැබුණි.

සටහන සහ සේයාරූ - කරුණාරත්න ගමගේ