
රජයේ විගණකාධිපතිවරයාගේ වැටුප් වර්ධනය අනුමත නොකරන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනා සිය වැටුප වැඩිකරන්නට තර්ක විතර්ක කරමින් සිටිති. බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 104කට රුපියල් 6,40,000 බැගින් “පුදුම පුටු” ඇණවුම් කෙරුණේද මේ අතරය.
කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් 119කගේ ගරුත්වය ආරක්ෂා කිරීමට එහි නගරාධිපතිනිය මන්ත්‍රී දීමනාව රුපියල් 25,000කින් වැඩිකර ගන්නට යෝජනාවක් ගෙනාවේ, ඉකුත් 24ද පැවති මහ සභාවටය. කෙසේ වෙතත්, විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ගාලගෝට්ටි බාධා කිරීම් හමුවේ මෙම යෝජනාව සම්මත වූයේ ඊට පක්ෂව ඡන්ද 64ක්ද හිමිකර ගනිමිනි. ඊට විපක්ෂව ලැබූ ඡන්ද 5 ජවිපෙයෙනි.
මෙම යෝජනාව සම්මත වීමත් සමඟම, නාගරික මන්ත්‍රීවරයෙකුගේ මාසික දීමනාව රුපියල් 45,000 කින්ද, ප්‍රවාහන, දුරකතන, තැපැල් ගාස්තුවද ඇතුළුව මුළු දීමනාව රුපියල් 68,000කින්ද ඉහළ යන බවට කරුණු හෙළිවිය. කොළඹ මහ නගර සභාව යනු, ඉංග්‍රීසි පාලකයන්ගෙන් අපට උරුම වූ නාගරික පාලන ක්රමයේ මහගෙදර බවට සැලකේ. 1866 ජනවාරි 16 වැනි දින ඉංග්‍රීසි ජාතික සභාපතිවරයකු යටතේ පාලනය වූ කොළඹ මහ නගර සභාව 1937 වසරේ සිට පාලනය වනුයේ නගරාධිපතිවරයකු යටතේය.
ප්‍රථම නගරාධිපති ආර්. සරවනමුත්තු මහතාගෙන් ආරම්භ වූ ඒ දිගු ගමනේ වසර 153කට පසු අද එහි මුල්පුටුව හොබවන්නේ කාන්තාවක වීමද සුවිශේෂී සිද්ධියකි. මෙම නගර සභාවේ කාන්තා නියෝජනයක් වරින්වර පැවතියද නගර සභා ඉතිහාසයේ එහි ප්‍රථම නගරාධිපතිනිය වීමේ ගෞරවය හිමිවන්නේ රෝසි සේනානායක මහත්මියටය. ලංකාවේ ප්‍රථම අගමැතිනියද, ජනාධිපතිනියද, විපක්ෂ නායිකාවද යන්නට අලුතින්ම එකතුවූයේ නගරාධිපතිනියයි. ලංකාවේ පැරණිම මහ නගර සභාවේ නගරාධිපති නිල කබාය හා නිල පළඳනාව පළඳින ප්‍රථම කාන්තාව මෙන්ම කොළඹ නගරයේ පළමු පුරවැසියාද වන්නේ ඇයයි.
නාගරික මන්ත්‍රීවරුන්ගේ දීමනාව ඉහළ නැංවීම මෙන්ම එහි විපක්ෂනායක ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා නොදීම පිළිබඳව ඉකුත් සභා වාරයේදී ඇතිවූ ගාලගෝට්ටිය මැද සභාවේ කටයුතු ගෙනයාටම නොහැකි තත්ත්වයක් මත මන්ත්‍රීවරුන් නම්කර ඔවුන් සභා ගර්භයෙන් ඉවත් කිරීමට පවා ඇයට සිදුවූයේ එම අභියෝගයට මුහුණ දෙමිනි. එවැන්නක් මීට පෙර සිදුවී ඇති බවක්ද හෙළි වී නැත.
ඒ අනුව, කුලතිස්ස ගීකියනගේ මන්ත්‍රීවරයා සභා ගර්භයෙන් ඉවතට රැගෙනයාමට උත්සාහ කිරීමත් සමඟම ඊට විරෝධය පළකරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 23 දෙනා රැස්වීම වර්ජනය කරමින් සභා ගැබෙන් ඉවත්වීමද මෙම මන්ත්‍රී දීමනාව සම්මත කරගැනීමට විශාල පිටුබලයක් වූ බවට ඔවුහු චෝදනා කළහ.
පසුගියදා පැවති නව පළාත් පාලන මැතිවරණ ක්‍රමයත් සමඟම, කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 53 සිට 119 දක්වා ඉහළ ගියේ තවත් බදු බරක් නගරයේ ජනතාව මත පටවමිනි. මේ වනවිට සභා වාර 5ක් අතරින් එකක් හැර අනෙක් 4ම නගර සභා ශාලාවේ පවත්වා ඇත්තේ ඉඩකඩ පහසුකම් අවම තත්ත්වයක් තුළය.
අලුතින් පත්වූ මන්ත්‍රීවරුන් 119ක් සඳහා මාසික දීමනාව රුපියල් 22,000ක් ලෙස පැවති සමයේ ඊට මාසිකව වැය වී ඇත්තේ රුපියල් ලක්ෂ 12ක් පමණ බවට වාර්තා විය. එහෙත්, නව යෝජනාවට අනුව, එම මුදල මාසිකව රුපියල් ලක්ෂ 30ක් දක්වා ඉහළ යන බවට මුදල් අංශ හෙළිකරයි. සභාවාරයකදී මන්ත්‍රීවරුන් 119 දෙනකුට සභා ශාලාවේ පහසුකම් සැපයීම සඳහා වායුසමීකරණ, ශබ්ද විකාශන හා අමතර පුටු කුලියට ගැනීම සඳහා රුපියල් ලක්ෂ 10ක් පමණ අමතර මුදලක්ද ආහාර පාන සැපයීම සඳහා රුපියල් ලක්ෂ 8ක් පමණද වැයවන බව කීවේ ජවිපෙ නාගරික මන්ත්‍රී හේමන්ත වීරකෝන් මහතාය.
මුදල් පිළිබඳ ස්ථාවර කමිටු වාර්තාවට අනුව, නිර්දේශ කරන ලද මෙම යෝජනාව පිළිබඳව පාලක පක්ෂයේ (එජාප) නාගරික මන්ත්‍රී සුනිල් විතානගේ මහතා සඳහන් කළේ මෙම වැඩි වැටුප් යෝජනාව නරගාධිපතිනිය සද්භාවයෙන් ගෙනා එකක් බවය. ආර්ථික අතින් ඉතා දුර්වල තත්ත්වයේ සිටින නාගරික මන්ත්‍රීවරුන්ගේ ගරුත්වය ආරක්ෂා කිරීම සඳහාත්, දැනට ලැබෙන සොච්චම් වැටුප ප්‍රමාණවත් නොවන නිසාත්, සියලුම එජාප මන්ත්‍රීවරුන් සමඟ එජනිස ඇතැම් මන්ත්‍රීවරුන්ද ඊට සහාය දැක්වූ බව සුනිල් විතානගේ මන්ත්‍රීවරයා කියා සිටියේය.
සභාවේ නොසන්සුන් ලෙස හැසිරුණු බවට නම්කර සභා ගර්භයෙන් ඉවත් කරන ලද නාගරික මන්ත්‍රී කුලතිස්ස ගීකියනගේ මහතා කියා සිටියේ වැටුප් යෝජනාව අනුමත කර ගැනීම සඳහා තමා එළියට දැමූ බවය. ඊට විරෝධය පළකරමින් සිය කණ්ඩායමේ 23 දෙනාම එළියට යෑම යෝජනාව හිතුමතයට සම්මත කර ගැනීමට වඩාත් හේතු වූ බවද ඔහු කීවේය.
ජවිපෙ මන්ත්‍රී හේමන්ත වීරකෝන් මහතා ඇතුළු එදින පැමිණ සිටි ජවිපෙ මන්ත්‍රීවරුන් 5 දෙනා මෙම වැටුප් වැඩිකිරීමට කෙළින්ම එරෙහි වූහ.
වැටුප් වැඩිකර ගැනීමේ යෝජනාවත් සමඟම නාගරික මන්ත්‍රීවරයකුගේ වැටුප් රුපියල් 70,000කින් ඉහළ යාමට නියමිතය. මාසිකව රුපියල් ලක්ෂ 53ක්ද, වාර්ෂිකව රුපියල් ලක්ෂ 642ක්ද වශයෙන් නගර සභාවට අමතර බරක් පැටවෙන බවද කී මන්ත්‍රීවරයා නගරයේ දුක්විඳින ජනතාව මුළුමනින්ම අමතක කර දමා මෙවැනි ආත්මාර්ථකාමී යෝජනා සම්මත කර ගැනීම පහත් ක්‍රියාවක් බවද සඳහන් කළේය. මට්ටක්කුලියේ “සතුටු උයන” ළමා ක්‍රීඩාංගණයේ පෞද්ගලික අංශයේ විදුලි කාර් සේවාවකට අනුමැතිය ලබාදී එක් කුඩා දරුවකුගෙන් විනාඩි 15කට රුපියල් 100ක් අයකර ගන්නා බවද, අනෙක් පැත්තෙන් මන්ත්‍රී වැටුප් වැඩිකර ගන්නා බවද මන්ත්‍රීවරයා අනාවරණය කළේය.
මෙම යෝජනාව පිළිබඳව නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර මහතා කීවේ මෙබඳු කතාවකි.
“මෙම යෝජනාව සභාවේ අනුමැතියෙන් පමණක් ක්‍රියාත්මක කරන්නට බැහැ. මධ්‍යම රජයෙන්ද අනුමත විය යුතුයි. එහෙම වුණොත් රටේ සියලුම මහ නගර සභා මන්ත්‍රීවරුන් සඳහා මෙය වලංගු එකක් වෙනවා.”
කොළඹ මහ නගර සභාවේ නගරාධිපති නිල නිවෙසේ වැසිකිළි ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් ලක්ෂ 57ක වැයබරක් දරන බවට කතා පෙර දිනයක කරළියට ආවද එය ප්‍රතික්ෂේප කරමින් නගරාධිපතිනිය කීවේ මෙම ඓතිහාසික නිල නිවස මුළුමනින්ම ප්‍රතිසංස්කරණය සඳහා එම මුදල වෙන්කරගත් බවය. එහෙත් නාගරික මන්ත්‍රී හේමන්ත වීරකෝන් (ජවිපෙ) මහතා පවසන්නේ, නගරාධිපති නිල නිවෙසේ වැසිකිළි අලුත්වැඩියාව සඳහා පමණක් රුපියල් ලක්ෂ 57ක් වැය කිරීම සත්‍යයක් බවය. කොළඹ නගර සීමාවේ පොදු වැසිකිළියකට යාමට නොහැකි තත්ත්වයක් තුළ මෙබඳු යෝජනා අනුමත කරගැනීම සහගහන අපරාධයක් බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
නාගරික මන්ත්‍රී ජේ.ජී. සම්පත් ප්‍රසන්න කුමාර මහතා (පො.ජ.පෙ.) නගරාධිපතිනියගේ ඒකාධිපති පාලනය නිසා මුළු නගර සභාවම වැනසී යන බවත් මාස 7ක් ගතවීත් වෙන්කළ මන්ත්‍රී ප්‍රතිපාදන රුපියල් ලක්ෂ 20න් සතයක්වත් ලැබී නැති බවත්, කියා සිටියේය. පසුගියදා නීති විරෝධී ඇසුරින් කාර්ය මණ්ඩල සංස්ථාවට පිටින් කම්කරුවන් 14ක් බඳවාගෙන ඇතැයි කී ඒ මහතා නගරාධිපතිනියගේ කාර්ය මණ්ඩලයට බඳවාගන විසි ගණනක් නිකරුණේ සිටින බවද පෙන්වා දුන්නේය.
සභා ශාලාවේ වාඩිවෙන්නට පුටුවක්, මන්ත්‍රීවරුන්ට කෑම කන්නට සුදුසු ස්ථානයක් නොමැතිව තිබියදී ඇය තම සුඛ විහරණය සඳහා මුදල් ලක්ෂ ගණනින් වෙන් කරගන්නා බවද සභා දිනයන්වලදී තම හිතවතුන්ගේ සමාගම් මගින් ශබ්ද විකාශන වායුසමීකරණ යන්ත්‍ර කුලියට ලබාගනිමින් සිටින බවද මන්ත්‍රීවරයා අනාවරණය කළේය.
මේ අතර නගරාධිපති නිල නිවසේ පවිත්‍රතා කටයුතු සඳහා පෞද්ගලික සමාගමකට වසර දෙකකට කොන්ත්‍රාත්තුවක් රුපියල් ලක්ෂ 85කට ලබාදීමේ යෝජනාවක් නගරාධිපතිනිය පසුගිය සභාවේදී අනුමත කරගෙන ඇත්තේ, නගර සභාවේ අතිරික්ත කම්කරුවන් සිටියදී බවට එහි සේවකයෝ චෝදනා කරති. මේ සියල්ල සිදුවන්නේ, නගර සභාවේ බැංකු අයිරාව රුපියල් මිලියන 800ක්ව තිබියදී බවද වැඩි දෙනෙකු දන්නේ නැත.
නගරාධිපතිනිය යටතේ නගර සභාව ස්ථාපනය කොට මාස 7ක් ගතවන තැන පසුගිය මාස දෙක තුළ බැංකු අයිරාව මිලියන 800 දක්වා නැග ඇත්තේ, මෙවැනි නාස්තිකිරීම් නිසා බවට සේවකයෝ පවසනුයේ නිකමට නොවේ. නගර සභාවේ බැංකු අයිරාවේ සීමාව තවත් මිලියන 200ක් පමණක් බවටද මේ අතර භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවෙන් අනාවරණය වේ.
නගර සභාවේ ස්ථාවර තැන්පතුවේ දැනට රුපියල් කෝටි 2380ක් ඇතැයිද, “අපට ඕනෑ තරම් මුදල් තිබෙනවා” යැයි නගරාධිපතිනිය කියන්නේ ඒ නිසාදැයි සේවකයන් ප්‍රශ්න කරන්නේද නිකමට නොවේ. නගරයේ බදු ගෙවන ජනතාවගේ මුදල් තම පෞද්ගලික බූදලයක් ලෙස සිතා කටයුතු කරන මෙවැනි දේශපාලනඥයන් පිළිබඳව නගරයේ ජනතාව දෙවරක් සිතිය යුතු නොවන්නේද?
►ජයන්ත සමරකෝන්