
ලාංකික දේශපාලන කරළියේ ජනපතිවරණය පිළිබඳ සංවාදය මේ දිනවල උණුසුම්ම තේමාවයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදන අනුව මීට පෙර ජනපති ධුරය දෙවරක් දැරූවන්ට ඉදිරි ජනපතිවරණය සඳහා ඉදිරිපත් විය හැකිද? මෙම කරුණ පිළිබඳව මත දෙකකි. අප පසුගිය සතියේදී හිටපු ජනපතිවරුන්ටත් ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත් විය හැකියි යන මතය ඉදිරිපත් කරන හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාගේ මතය වෙනුවෙන් දේශයේ ඉඩකඩ වෙන් කළෙමු. මෙවර ඊට විපක්ෂ මතය දරන නීති විශාරදයකු වන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ මතයට අපි ඉඩකඩ වෙන් කරමු.
ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අධික බලතල සහිත ජනාධිපතිවරයෙක් නිර්මාණය කළද එම තනතුරේ බලතලවලට තිරිංග දෙකක් සවිකරයි. බලතල හේතුවෙන් රටත් ජනතාවත් ජනාධිපතිවරයාත් අමාරුවේ වැටීම වළක්වා ගැනීම එදා මේ තිරිංග සවිකිරීම පිටුපස පැවති අරමුණ විය. මින් එක තිරිංගයක් නම් ජනාධිපතිවරයාට ධුරය දැරීමේ හැකියාව වාර දෙකකට සීමා කිරීමයි. අනෙක වූයේ ජනාධිපතිවරයා අයුතු ලෙස බලය යොදාගන්නා විට දෝෂාභියෝගයක් ගෙනැවිත් ඔහුව ධුරයෙන් ඉවත් කරීමට ව්‍යවස්ථාදායකයට බලය ලබාදීමයි. ඒත් කාලයත් සමඟ මේ කාරණා දෙක ප්‍රමාණවත් නොවන බවට සමාජ කතිකාවක් නිර්මාණය වූයේ ධුරය දරූ ජනාධිපතිවරුන් සිය බලතල භාවිත කළ ආකාරය අනුවය. හිටපු ජනාධිපතිවරුන්ට 19 වැනි ව්‍යස්ථා සංශෝධනය අනුව තෙවැනිවරටත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය හැකිද යන සංවාදයට අප ප්‍රවේශය ලබා ගත යුත්තේ මේ කරුණු සිහි තබා ගනිමිනි.
ප්‍රථමයෙන්ම ආණ්ඩුක්‍රම සංශෝධන පිළිබඳ විශ්ලේෂණ මඳකට පසකට තබමින් නීතිය දෙසට හැරෙමු. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණු ධුර කාලය සම්බන්ධව 19 වැනි ව්‍යස්ථා සංශෝධනයන් ඉදිරිපත් කරන්නේද ඊට සමාන තත්වයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31/2 උප ව්‍යවස්ථාවට අනුව ජනතාව විසින් ජනාධිපති ධුරයට දෙවරක් තෝරා පත්කර ගනු ලැබූ තැනැත්තකු ජනතාව විසින් නැවත එම ධුරය සඳහා තොරා පත්කර ගැනීමට සුදුස්සකු නොවන්නේය. මෙය ඉතා සරල සිංහලෙන් අවබෝධ කර ගත හැකි කරුණකි. නමුත් මෙම නීතියට අනුව තෙවැනි වතාවටත් ජනාධිපති ධුරය දැරිය හැකි එක පුද්ගලයකු පමණක් ඉතිහාසයේ සිටි බව කිව මනාය. ඒ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයායි. ඔහු පළමුවර ජනාධිපති ධුරයට පත්වන්නේ ජනතාව විසින් කළ තෝරා පත්කර ගැනීමකින් නොවේ. පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින් ඔහු පළමුවර තේරී පත්වෙයි. ඒ අනුව තෙවැනි වරට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට ජනපතිවරණයකට තරග කිරීමේ හැකියාව පැවතුණි. ඒ හැරෙන්නට ජනතාව විසින් ජනාධිපති ධුරයට දෙවරක් තෝරා පත්කර ගනු ලැබූ තැනැත්තා කවරකු වුවත් ඔවුනට ඊට සුදුසුකම් නැත. එහෙත් මෙයට විරුද්ධව නැගෙන තර්කය නම් මෙය අතීතය බලපාන බවට පේළියක් නොමැති බවයි. එම තර්කය මතුකරන තැනැත්තා කවරකු වුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙම වගන්තිය දෙස පමණක් බලා මෙම කරුණ මතු කරයි. 92 ව්‍යවස්ථාවේ ඇ වගන්තියට අනුවද ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත්කර ගැනීමට නොසුදුසුකම යටතේ “ඔහු ජනාධිපති ධුරය දෙවරක් තෝරා පත්කර ගනු ලැබ තිබීම” ලෙස පැහැදිලිව දක්වා ඇත.
ඊළඟට ඉදිරිපත් වන අනෙක් තර්කය නාමයෝජනා ප්‍රතිෂේප කිරීමට මෙම කරුණු අදාළ නොවන බවයි. එම කාරණාවද මෙලෙස පහදා ගත යුත්තේය. නාමයෝජනා සම්බන්ධව තිබෙන ජනාධිපතිවරණ මැතිවරණ පනතේ 14/1/අ අනුව නාමයෝජනා පත්‍රයෙන් පෙනෙන පරිදිම ඔහු ජනාධිපති අපේක්ෂකයකු වීමට සුදුස්සකු නොවේයැයි කියා පෙනේ නම් ඒම නාමයෝජනාව ප්‍රතික්ෂේප කළ යුතුය. එයට අනුව මැතිවරණ කොමසාරිස්වරයා මෙරට ජනාධිපතිවරුන් වී සිටි පුද්ගලයන් කවුදැයි දනී. ජනාධිපති ධුරයට දෙවරක් තෝරා පත්කර ගනු ලැබූ පුද්ගලයකු නාමයෝජනා ඉදිරිපත් කළහොත් එය ප්‍රතික්ෂේප වෙයි.
මෙය අතීතයට බලපානවාද නැද්ද යන කරුණ ඉදිරියේදී එක පැනයක් පෙරළා ඇසිය යුතුය. ලෝකයේ කුමන ව්‍යවස්ථාවක හෝ අතීතයට බලපෑ යුතු බවක් සඳහන් වේද? ලෝකය තුළ අණ්ඩුක්රම ව්‍යවස්ථා සකසන ප්‍රජාත්‍රන්තවාදී රාමුවක් පවතියි. එය පදනම් කරගෙන විශේෂයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සකසනු ලබයි. අතීතයට මෙය බලපාන්නේ නැතිනම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2015 ජනවාරි 08 වැනි දින ජනාධිපති වනවිට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙවන් බාධාවක් නොතිබුණි. ධූර කාලය වසර 6 ක් ලෙස සඳහන්ව පැවතුණි. එහෙත් මාස 3 කට පසුව ගෙන එන ලද 19 වන ව්‍යස්ථා සංශෝධනය අනුව වත්මන් ජනාධිපතිවරයාගේ ධූර කාලයත් වසර 5 කට සීමා වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථ නිරූපණයක් ලබාදී තිබේ. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අතීතයට බලපානවා ද නැද්ද යන කරුණ පැහැදිලි වෙයි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමක් පිළිබඳ මෙම මාතෘකාවට අදාළව සාකච්ඡාවට බඳුන් වේ. අණ්ඩුක්රම ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට හැකියාව ඇත්තේ ජනාධිපතිවරයාට පමණි. දිසා අධිකරණයට ඉදිරිපත් කරන ඉල්ලීමක් හරහා ශේෂ්ඨාධිකරණයෙන් මෙය විමසිය හැකි බවට ද මතයක් පළව තිබේ. එහෙත් දිසා අධිකරණයට නඩුවක් පවරන්නට නම් සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ හෝ වෙනත් නීතියක් යටතේ නඩු නිමිත්තක් පෙන්විය යුතුය. නමුත් මෙහි ඇති නඩු නිමිත්ත කුමක්ද?
►අයි.ටී.එන් නාලිකාවේ “තීරණය” සංවාදයේදී පළකළ අදහස් ඇසුරින් සකස් කළේ චමිඳු නිසල් ද සිල්වා