
මේ ඈත දියඹේ වෙරළක් නොපෙනෙන ඉමක මහ සයුර මැද මාස කිහිපයක් පුරා මිනිසුන් කිහිපදෙනකු එක්ව කරන ජීවිතය අරගලය පිළිබඳව අන්දරයයි. බහුදින ධීවර යාත්‍රාවක නැගෙන පස් හය දෙනෙක් ලෝක සිතියමේ ඒ මේ අත මහ සාගරයේ යාත්‍රා කරන විට සිදුවන දෑ මොනවද? ඔවුන්ගේ ජීවිතය කෙබඳුද? මෙතෙක් බොහෝ දෙනාට රහසක්ව පැවති මේ අන්දර පළමු වරට දේශයෙන් අපි ඔබට කියමු. ඒ අනුව සොඳුරු රසබර මෙන්ම බිහිසුණු අත්දැකීම සපිරි කතා පෙළක දෙවැනි දිගහැරුම මෙලෙසය.
මුහුද සමඟ ජීවිතයෙන් හරි අඩකට වඩා ඔට්ටු වී තවමත් මුහුදු රැකියාව කරන අනුර මහතා මේ කතාව අපට කියයි. මහ මුහුදේදී මෙන්ම ගොඩබිමේදීත් වැඩි දෙනකු ඔහු හඳුනන්නේ රාළ අයියා නමිනි. අද සටහනින් අප, අඩසියවසකට අධික ජීවන අත්දැකීම් ඇති මේ අපූරු මිනිසා සමඟ මුහුදු ජීවිතේ කෑම බීම හා අපූරු රාත්‍රීන් පිළිබඳ මතකය අවදි කරමු.
“ට්‍රිප් එකේ හැටියට තමා කෑම බීම අරගෙන යන්නේ. ළඟ ට්‍රිප් එකක් යනවා නම් ලක්ෂ එකහමාරක විතර කෑම දානවා. දුරට යනකොට කෑමට ලක්ෂ හතරක් විතර දානවා.”
ඔහු කතාවට මුලපුරන්නේ බෝට්ටු හිමියකුගේ හා ධීවරයකුගේ අත්දැකීම එකට මුසුකරමිනි. අනුර මහතා එදා තරුණයකු ලෙස ඇරඹි මුහුදු ගමන අද යන්නේ තමන්ගේම කියා යාත්‍රාවක කැප්ටන් හෙවත් ස්කීපර්වරයා ලෙසය. අපට හමුවන විට ඔහු සිටියේ බෝට්ටුවට අවශ්‍ය ආහාරපාන ඊට පටවා ගමන් අරඹන්නට සූදානමිනි. අප යාත්‍රාවට ගොඩවැදෙන විට ඇතිපදමට කෑම බීම එහි තිබුණි.
“හාල්, මිරිස්, තුනපහ වගේ බඩුමුට්ටු, එළවළු ජාති එතකොට නූඩ්ල්ස්, ඉඳිආප්ප, ඇපල් ගෙඩිය පවා අපි ගෙනියනවා. කිසිම දෙයක් අඩු කරන්නේ නෑ. ගෙදර වගේ තමයි ඉතින් හැමදේම. කිසිදෙයක් අඩු නෑ.”
අනුර මහතා පැවසූ ලෙසම බෝට්ටුව තුළ මේ සියල්ල පිළිවෙළින් අසුරා ඇත. වේලන ලද ඉඳිආප්ප පැකට්, එක එක වර්ගවලට අයත් බිස්කට්, නූඩ්ල්ස් පැකට් බෝට්ටුවේ ලාච්චු පිරෙන්න තිබේ. තේ කොළ, සීනි, කිරිපිටි ඇති පමණට අසුරා ඇත.
බෝට්ටුවේ පුංචි මුළුතැන්ගෙයක් වැනි කොටසක් තිබේ. මෙහි ලිපක් සහ ආහාර පිසින්නට අවශ්‍ය බඩුමුට්ටු පිළිවෙළට අසුරා ඇති අයුරු අපි දුටුවෙමු. යට කොටසේ පිරිසුදු ජලය ගබඩා කර ඇති අතර ඒ ජලය ලබාගැනීමට කුඩා සින්ක් එකකට සවිකරන ලද කරාමයක් ද මෙහි තිබේ. මේ ගමනේ දී සියලුම ආහාරපාන ආදිය සකස් වන්නේ මෙතැනිනි.
“උයන්න කරන්න වෙනම එක්කෙනෙක් යනවා. එයා තමයි ඔක්කොම කරන්න ඕන. කාටත් දෙන පඩියම තමා එයාටත්. වෙනසක් කරන්නේ නෑ. මේ ගමනේ දී අපි හොඳට කනවා බොනවා. කෑමවලින් අඩුපාඩුවක් නෑ.”
අනුර මහතාට අනුව කෑම බීම මහ මුහුද මැද ජීවිතයේ දී පළමු තැනක ලා සැලකෙයි. බෝට්ටු හිමියාගේ යුතුකම වන්නේ මේ ගමනේ යෙදෙන සියලු දෙනා වෙනුවෙන් සියලු ආහාරපාන හා පහසුකම් සැපයීමයි. එය නොපිරිහෙලා බෝට්ටු හිමියෝ නිතර සිදුකරති. ගමනට අවශ්‍ය සියලු පහසුකම් සපුරන ඔවුන් හා මේ සේවක පිරිස අතර හොඳ බැඳීමක් තිබේ. ගොඩ පැමිණි විටද තම සේවකයන්ට අවශ්‍ය දේ සැපයීමට, ඔවුන් පිළිබඳව සොයා බැලීමට බෝට්ටු හිමියන් පෙළඹී සිටින්නේ මේ රැකියාවේ ඇති ජීවිත අවදානම නිසා විය යුතුය.
අයිස් සහ ආහාර ද්‍රව්‍ය ඇතුළු සියලු දේ යාත්‍රාවේ පුරවාගෙන ට්‍රෝලර් යාත්‍රාව ධීවර වරායෙන් පිටවී යයි. මේ සටහන් ඔබ කියවන මොහොත වන විටත් අප කතානායකයා වන රාළ මහතා ඇතුළු පිරිස සිටින්නේ මහා සාගරය මැදය. වසරේ ඒ ඒ කාල අනුව මහ මුහුදේ මත්ස්‍ය අස්වැන්න ඇති ඉසව් අත්දැකීම් බහුල ස්කීපර් තැන දැන සිටී. ඔවුන් යාත්‍රා කරන්නේ ඒ ඉසව්ව බලාය. මේ ගමනේ දී දින ගණනක් පුරා නිශ්චිත ඉසව්වට යනතුරු ධීවර යාත්‍රිකයන් හට යාත්‍රාව තුළ සිදුකරන්නට විශේෂ යමක් නැත. පන්න කිරීමට අවශ්‍ය කටයුතු ඔවුහු මේ කාලය තුළ සූදානම් කරති. ඒ අතර විවේකයේ දී යාත්‍රාවේ ඇති රූපවාහිනී යන්ත්‍රයෙන් DVD නැරඹීම, කාඩ් කුට්ටමකින් ඕමියක් බැලීම වැනි දෑ ඔවුන්ගේ දිනචර්යාවට අයත්ය. දැන් බොහෝ යාත්‍රාවල රූපවාහිනියක් හා නවීන පන්නේ ශබ්දවාහිනියක් දැකිය හැක. ප්‍රයිවෙට් බස් එකක මෙන් කන පැලෙන්නට සින්දු ඇසීම මේ යාත්‍රාවලද සිදුවෙයි.
අනුර මහතා අපට කියූ ලෙසට මහ මුහුදේ රාත්‍රිය විටක සොඳුරුය. තවත් විටක බිහිසුණුය. ඝන අන්ධකාරය මැද ගෙවෙන ඒ රාත්‍රිය පිළිබඳව මතකය ඔහු අවදි කරයි.
“රෑට අහස හරිම ලස්සනයි. පෝයට එහෙම හඳ එහෙම ලස්සනට පේනවා. වරුසාව ඇවිල්ලා මාරියාව ගැහුවම තමා රෑට අමාරු වෙන්නේ. ඔය කොල්ලෝ රෑට සෙට්වෙනවා. ගංජා සුරුට්ටු එහෙමත් ගහනවා. සමහරු අරක්කු අරගෙන යනවා බෝතල් හතර පහක්. වැඩිය නෙවෙයි. මං නම් බෝට්ටුවේ ඔය වැඩවලට ඉඩ දෙන්නේ නෑ."
පරිණත ධීවරයකු වන ඔහු දැන් ප්‍රිය කරන්නේ නිදහස් මුහුදු ගමනකි. රෑට බීමත්කම නිසා ගැටුම් ඇතිවිය හැකි බවද ඔහු දනී. එවන් විට ඒවා විසඳන්න වෙන්නේ ස්කීපර් ලෙස ඔහුටය. ඔහුගේ අණට ඉහළින් කිසිවෙක් නොයයි. එහෙත් මේ ගමන තුළ දැඩි විනයක් තබාගැනීමට ඔහු උත්සාහ කරයි. එ නිසාම ගොඩබිමේදීත් මහ මුහුදේත් රාළ අයියා යනු කිසිවකට බිය නැති දැඩි චරිතයකි. එහෙත් පවුල තුළ ඔහු ආදරණීය පියෙක්, සැමියෙක් ලෙස සංවේදී මිනිසෙකි.
මත්ස්‍ය අස්වනු ඇති තැන්වලට ළඟාවීමෙන් අනතුරුව පන්න කිරීම ඇරැඹෙයි. පන්න කිරීම පිළිබඳ වෙනම සටහනක් ලිවීමට ඔහු අපිට කරුණු කීය. ඒ පිළිබඳව පසුව ලියමු.
දැනට සරලව කිවහොත් දිවා කාලයේ දී දැල් දැමීම සිදුකරන අතර මත්ස්‍ය අස්වනු බෝට්ටුවට ගන්නේ රාත්‍රියේදීය. එය සංකීර්ණ ක්‍රියාවලියකි. මහ මුහුද මැද සීතල හිමිදිරියේ දෙකේ කනිසමට ඒ අනුව වැඩ ඇරුඹෙයි. එතැන් පටන් උදෑසන වරුවක් පමණ යනතුරු පිරිස එකදිගට වැඩය. ප්‍රමාද වුවහොත් නෙළාගන්නා අස්වනු නරක්වනු ඇත. ඒ නිසා පසු දින දිවා කාලය එළඹෙන්නට පෙර සියල්ල නිමකළ යුතුය. එය දැඩි අභියෝගයකි. පාන්දර එළියට පැමිණි පසු නැවත බෝට්ටුවට යන්න සිදුවන්නේ සියලු වැඩ නිමකිරීමෙන් අනතුරුවය. පාන්දර වැසි වැටුණද ඉන් කිසිදු සමාවක් නැත. වැඩ සියල්ල නිමකළ යුතුව තිබේ.
“එක දෙක වෙනකම් පරක්කු වුණොත් මාළු විසික්කරන්න වෙනවා. අව්ව වැදුණාම මාළු සවුත්තු වෙනවා. ඒක නිසා තමයි පාන්දර දෙකේ ඉඳන් වැඩ පටන් අරන් වරුසාවේ තෙමීගෙන දැල් බෝට්ටුවට අරගෙන මාළු ටික අයිස් කරනවා. කවුරුත් වරුසාවේ තෙමෙනවා කියලා ඇතුළට එන්න ද කියලා අහන්නේ නෑ. මම ඉන්නේ ඇතුළේ, මාව තෙමෙන්නේ නෑ . ඒ හතරදෙනා තෙමෙනවා.”
ඔහු මේ යාත්‍රාවේ කපිතාන්වරයායි. සෙසු ධීවරයන් ඔහුට සලකන්නේ පියකුට මෙන්ය. කෑම බීම පවා ඔහු වෙනුවෙන් සැලකිල්ලෙන් යුතුව ලබාදෙයි. සියල්ලන්ගේ ජීවිත රැඳී ඇත්තේ ඔහුගේ දෑත මත බව හැමදෙනාම දැන සිටිති. මුහුදු ජීවිතයේ අපූරු සම්ප්‍රදායන් තිබේ. ඒවා ගැනද අපි ඔබට ලියන්නෙමු.
►චමිඳු නිසල් ද සිල්වා