2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

බොරු නඩු පෙන්වා මුදල් ගරණ පෙරකදෝරු ජාවාරම

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 144

ණය නැති නිවසකින් ලියුම්කරු අබ මිටක් රැගෙන එන්න යැයි ඔබට කීවොත් එය ලේසි පහසු දෙයක් වන්නේ නැත. ඒතරම් අමාරු දෙයකි. මේ රටේ අස්සක මුල්ලක ජීවත් වෙන දුප්පත් පුද්ගලයාගේ සිට කෝටි ප්‍රකෝටිපතියන් දක්වා මිනිසුන් කොහේ හෝ තැනකට ණය වී ඇත. එක් පැත්තකින් බැංකු ණයය. අනෙක් පැත්තෙන් ක්‍රෙඩිට් කාඩ් ණයය. තව පැත්තකින් රත්තරන් භාණ්ඩ උකස් කර ගත් ණයය. නැත්තන් යාන වාහන ගෙවන්න ගැනීම නිසා ඇති වූ ණයය. මේ සියල්ලම තුළම ජනතාව හිරවී ඇත්තේය.

කෙසේ වෙතත් මේ ණය නිසා පීඩාවට ලක්වන ඇතැම් පුද්ගලයන් බැංකුවට පොලු තියන්නට පුරුදු වී තිබේ. ඒ ගෙවාගන්නට නොහැකි වීම නිසාය. මේ නිසා ඇතැම් පුද්ගලයන් බැංකු වංචාකරුවන් බවට පත්වී ඇත්තේ ඔවුන්ටවත් නොදැනීමය.

මේ කියන්නට යන්නේ එවැනි ණයකරුවන් කේන්ද්‍රකරගෙන සිදුකරන මහා පරිමාණ හොරකමක් ගැනය. මෙයට නීතිය පවා යොදාගෙන ඇත්තේ ඉතාම සූක්ෂම ලෙසය.  

සාමාන්‍යයෙන් බැංකුවෙන් ලබාගත් ණය මුදලක් ගෙවීම දීර්ඝ කාලයක් පැහැර හැරියහොත් අදාළ පුද්ගලයාට විරුද්ධව නඩු පැවරීම සාමාන්‍ය දෙයකි. එසේ සිදුකරන්නේ කිහිප වතාවක් වාචිකවත්, ලිඛිතවත් ණයකරුට දැනුම් දීම හරහාය. එසේ දැනුම් දී තිබියදී  පවා ණය මුදල ගෙවන්නේ නැති නම් ඔහුට විරුද්ධ නඩු පවරණ බව දන්වා බැංකුවේ නීතිඥයකු මාර්ගයෙන් එන්තරවාසියක් එවනු ඇත. එම එන්තරවාසිය ලැබුණු පසුව හැකි ඉක්මනින් වාරිකයක් හෝ ගෙවාගත හැකි නම් නඩු දැමීම නවතාලිය හැක. සාමාන්‍යයෙන් මෙලෙස එන්තරවාසි එවන විට ණයකරැට පමණක් නොව ඔහු වෙනුවෙන් සාක්ෂියට අත්සන් කළ පුද්ගලයන්ට ද එම නිවේදනය ලැබෙනු ඇත.

කෙසේ වෙතත් මේ කියන්නට යන සිද්ධිය පහුගිය කාලයේ සිට සිදුවෙමින් පවතින ක්‍රියාවකි. එනම් බැංකුව පොලු තැබු පුද්ගලයන්ට නීතිඥයකු ලෙස පෙනී සිටින අයකුගේ නමින් එන්තරවාසියක් එවනු ලබයි. ඒ මෙන්න මේ දින මෙන්න මේ අධිකරණයේ නඩු පවරණ බවත් එයට සහභාගි වන ලෙසත් දන්වාය. එහෙත් එහි ලබාගත් මුදලක් බැංකුවක් ගැන සඳහන් වන්නේ නැත. බොහෝ විට ඇත්තේ බැංකුවකින් ලබාගත් මුදලකට වංචාවක් සිදුකිරීම නිසා මෙලෙස නඩු පවරණ බවය.

මෙම පණිවිඩය දුටු සැණින් බොහො දෙනා ගැස්සෙන අතර කිසිදු ණයක් ලබාගෙන නොමැති අයෙක් නම් කුමක් වෙන්නට යන්නේද කියා උඩ බිම බලනු ඇත. කෙසේ වෙතත් එම ලිපියේම කොනක නීතිඥයාගේ බවට දන්වන දුරකථන අංකයක් ද ඇති අතර එම අංකයට බොහෝ දෙනා ගන්නේ එක්කෝ මේ නඩුවෙන් ගැලවෙන්නටය. නැත්තම් මේ හතර බීරි කතාවේ තේරුම දැන ගන්නටය.

එසේ ඇමතුම ලබාගත් විට නීතිඥ්‍යා නොව ඔහුගේ ලේකම්වරිය බව පවසන කාන්තාවක් ඇමතුමට පිළිතුරු සපයනු ලබයි. ඇත්තටම බැංකුවකින් ණයක් ලබාගත් අයකු නම් ඔහුව සිද්ධියට පටලවා ගන්නේ මෙසේය.

ණයකරැ:- මට මේ එන්තරවාසියක් එවලා තියෙනවා. ඇයිද දන්නේ නෑ.

ලේකම්වරිය:- මහත්මයා මොන කාරණාවක් සම්බන්ධයෙන්ද?

ණයකරු:- බැංකු ණයක් ගැන.

ලේකම්වරිය:- මහත්මයා සර් නෑ දැන් ඔෆිස් එකේ. මට කියනවද මහත්මයා ණය ගත්ත බැංකුව මොකක්ද කියලා. මම ෆයිල් එක බලලා කියන්නම්.

මේ දෙබසත් සමඟ බොහෝ ණයකරුවන් තමන් ණය ගෙන පොලු තැබූ බැංකුවත් මුදල් නොගෙවා මග හැරි ප්‍රමාණයත් පවසනු ලබයි. ඒ ලේකම්වරියගේ සුහදතාවය සමඟය. අවසානයේ ඇය ඉන් ගැලවීමට උපදෙස් දෙන්නේ මෙසේය.

“කොහොමත් බැංකුවෙන් කිව්ව දෙයක් නිසා මේක අයින් කරගන්න අමාරුයි. අනිවාර්යයෙන්ම නඩු දානවා. ඒත් ඔබතුමා කිව්ව දේත් එක්ක මට තේරෙනවා ලොකූ අමාරැවක වැටිලා ඉන්නේ කියලා. මට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඔයාට උදව්වක් හැටියට මම නඩු කොළේ අයින් කරලා දෙන්නම්. මමනේ සර්ගේ ෆයිල් බලන්නේ."

එම වචන ටික අමාරුවේ වැටුණු අයකුට ලැබෙන ජීවිත දානයක් බඳු වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. හතර අතේ වැඳ හෝ එවැනි දෙයක් කරගන්න හැකිනම් එය කොතරම් වාසනාවක්දැයි ඕනෑම අයකුට වැටහේ.

කෙසේ වෙතත් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ජාවාරම්කරුවන් පවසන්නේ වැඩේ යට ගැසීම සඳහා රුපියල් 5000හෝ 10000 ක් ලබාදෙන ලෙසය. ලක්ෂ දෙකක් තුනක් ගෙවන්න ඇති අයකුට රුපියල් 10000 කින් පමණ බේරීමට හැකිනම් නියත වශයෙන්ම බොහෝදෙනා මුදල් දෙනු ඇත. ඒ නිසා මිනිසුන් මොවුන්ට රුවටී මුදල් දෙන්නේ තමන් කළ වංචාවෙන් බේරෙන්නටය.

එසේම බැංකුවකින් ණයක් නොගත් අයට පවසන්නේ වෙනත් දෙයකි.

“සර් නෑ කිව්වට මේ සර්ගේ නම තියෙනවා ෆයිල් එකේ. කාටහරි අස්සන් කළාද සාක්ෂියකට? මේකේ තියෙන්නේ එහෙම." යනුවෙන් කියා ඔහුගෙන්ද කීයක් හෝ ලබාගැනීමට උත්සාහ ගනු ලබයි. 

මේ ආකාරයෙන් බොහෝ දෙනකු මේ වංචාකාරයන්ට හසුවන්නේ කිසිදු සොයා බැලීමක් නැතිවය. ඇතැම් අය සියලු දෑ ජාවාරම්කරුවන්ට පවසා තුන්ගුණයක මුදල් ලබාදුන් අවස්ථා ද එමට ඇත.

කෙසේ වෙතත් මෙම සිද්ධි අධිකරණ ක්ෂේත්‍රයේ බොහෝ දෙනා දන්නා සිද්ධියක් බවට පත්ව ඇත. ඇතැම් අය ව්‍යාජ නඩු දිනවලට අධිකරණයට පවා පැමිණ ඇත. මේ තත්ත්වය නිසා නීතිඥවරුන් පවසන්නේ මෙවැනි ලිපියක් ලැබුණු පසු කලබල නොවන ලෙසය.

එවැනි ලිපියක් ලැබෙන්නේ නම් ඊට කලින් මුදල් ගෙවන ලෙස දන්වා එන්තරවාසියක් ලැබිය යුතුය. එසේම ණය ලබාගත් බැංකුවේ නම තිබිය යුතුය. එසේම ගෙවන්නට ඇති මුදල සටහන් විය යුතුය. එහෙත් එවැනි කිසිම සටහනක් නැති ලිපියකට මෙලෙස හසු නොවිය යුතු බව නීතිඥවරැ පෙන්වා දෙති.

කෙසේ වෙතත් නීතිය නොදත් අසරණ ජනතාව මෙවැනි සිද්ධියකට කොටු නොවෙතැයි සිතන්නට හැකියාවක් නැත. එකවර ලැබෙන මෙවැනි ලිපියකින් අනන්ත අප්‍රමාණ අසරණ වනු ඇත. ඒ නිසා මෙවැනි වංචා සිදුකරන උන් එකෙක් දෙන්නෙක් හෝ අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළ යුතුය. එවිට කරන්නට උන් පවා එය මඟහරිනු ඇත.

 අසංක කළුබෝවිල