2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

බාලගිරි දෝෂය බලෙන් ඔබ්බන පළාත් සභා ඡන්දය

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 118

නිල කාලය අවසන් වූ පළාත් සභා තුනක හා තවත් මාස දෙක තුනකින් නිල කාලය අවසන් වන පළාත් සභා තුනක මැතිවරණය ලබන දෙසැම්බර් මාසයේ පවත්වන බවට ආණ්ඩුවේ ඇමැතිවරැන් කිහිපදෙනකුම ප්‍රකාශ කරන අයුරු දක්නට ලැබිණ. එමෙන්ම මෙම මැතිවරණය පවත්වන්නේ අලුතින් සම්මත කරගත් කොට්ඨාස හා සමානුපාතික ක්‍රමයට නොව පැරැණි මනාප ඡන්ද ක්‍රමයට බවත් මැතිවරණ ක්‍රමය මෙම මාසය තුළදී පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නා බවත් ආණ්ඩුවේ නිල මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පසුගිය ජුනි 20 වැනිදා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබිණි.

මැතිවරණයක් නිසි කලකට නොපවත්වා කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරනු ලබන දැඩි පහරකි. එහෙත් සාධාරණ හා පිළිගත හැකි හේතුවක් මත මැතිවරණය කල් තබන්නේ නම් ඊට කිසිදු පාර්ශවයකින් විරෝධයක් එල්ල වන්නේ නැත. 
සමානුපාතික හා කේවල් යන මිත්‍ර ඡන්ද ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ සීමා නිර්ණය වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ පක්ෂ අතර එකඟතාවයක් නොමැති නිසා එම වාර්තාව සම්මත නොවීමේ තත්ත්වය තුළ පළාත් මැතිවරණය තවදුරටත් කල් යාමේ ලකුණු මතු වී තිබේ.

පසුගිය අගෝස්තු 24 වැනිදා පාර්ලිමේන්තුවේදී එම සීමා නිර්ණය වාර්තාව විවාදයට ගෙන සම්මත කිරීමට නියමිත වූ අතර ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ අතර අවසන් සාකච්ඡාව 23 වැනිදා පැවැත්වීය. එහිදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ කිහිපයක් සීමා නිර්ණය වාර්තාවට පක්ෂව ඡන්දය ලබා දෙන බව ප්‍රකාශ කර තිබිණි. එහෙත් 20 වැනිදා පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරැන් 139 දෙනාම වාර්තාවට එරෙහිව ඡන්දය පාවිච්චි කළහ.
පළාත් සභා තුනක කාලය අවසන්ව මේ වනවිට අවුරුද්දකට ආසන්න කාලයක් ගත වෙමින් පවතී. එනම් සබරගමු පළාත් සභාව (2017/ 09/ 26) නැගෙනහිර පළාත් සභාව (2017/ 09/ 30) සහ උතුරැ මැද පළාත් සභාව (2017/ 10/ 01) ලෙසටය. එමෙන්ම මෙම වසරේ (2018/ 10/ 08) මධ්‍යම පළාත් සභාව (2018/ 10/ 10) වයඹ පළාත් සභාව, (2018/ 10/ 24) උතුරැ පළාත් සභාව ද විසිරීමට නියමිතය. මෙලෙසින් පළාත් සභා හයක ධූර කාලය අවසන් වූ විට ජනතාවගේ බලපොරොත්තු සියල්ල බිඳ වැටෙනු ඇත.

පළාත් සභා මැතිවරණය කඩින් කඩ නොපවත්වා එකට පැවැත්වීමට ආණ්ඩුව සත්භාවයෙන් කටයුතු කරනවානම් කළ යුතුව තිබුණේ සියලු පළාත් සභා ඔක්තෝම්බර් මාසයේ විසුරුවා හැර මැතිවරණයකට යාමය.

ෆැෆරල් ආයතනයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා මේ ගැන අදහස් දක්වන්නේ මෙසේය.

පළාත් සභා ඡන්දය ප්‍රමාද වෙන්න හේතු දෙකක් තියෙනවා. එකක් තමයි දේශපාලනික හේතුව. ඒක තමයි ප්‍රධාන හේතුවත්. දෙවැනි එක තමයි තාක්ෂණික හේතු. දැන් තාක්ෂණික හේතු ටික අපි දන්නවා. අලුත් මැතිවරණ ක්‍රමය යෝජනා වීමත් එක්ක ඒකට අදාළ සීමා නිර්ණය කළ යුතුව තිබුණා. ඒ නිසා ඒකට සීමා නිර්ණය කමිටුවක් පත් කළා. ඒ කමිටුවට මාස 4ක් ඇතුළත සීමා නිර්ණය අවසන් කරන්න ඕන කියලා පනතෙම සඳහන් කරලා තිබුණා. ඔවුන් මේක ඒ කාලය තුළ සකස් කරලා විෂය භාර අමාත්‍යවරයාට දුන්නා. පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කළා. නමුත් ඔවුන් මේ ගැන කිසිදු සංවාදයක් පැවැත්වූවේ නැහැ. පනතේ තිබූ ආකාරයට මෙය මාසයක් ඇතුළත සංවාද කරලා සම්මත කරන්න තිබුණා. එහෙම නැත්නම් කතා නායකවරයාගේ වගකීම වෙනවා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සමාලෝචන කමිටුවක් පත් කරන්න. හැබැයි පාර්ලිමේන්තුවේ 2/3 සම්මත වෙන්න පාර්ලිමේන්තුව තුළ ඡන්දයට ගියේ නැති නිසා ඒක මාස ගාණක් එහෙමම තිබුණා. සමාලෝචන කමිටුවක් පත් කළෙත් නැහැ. පසුගිය සතියේ ඒක ප්‍රතික්ෂේප වුණාට පස්සේ මේ වෙනකොට අග්‍රාමාත්‍යවරයා ඒ පිළිබඳ සමාලෝචන කමිටුවක් පත්කරලා තියනවා. දැන් පනතට අනුව ඒකට මස දෙකක් තියනවා. ඒ කමිටු වාර්තාව බාරදුන්නම ජනාධිපතිවරයා ඒක වහාම ප්‍රකාශයට පත් කරන්න ඕන. ඒකට පාර්ලිමේන්තු අනුමැතිය ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. එතකොට මාස දෙකකින් මැතිවරණය පවත්වන්න පුළුවන්.

කෙසේ වෙතත් මෙම පනතට අනුව එම පනත සම්මත කිරීමේදී ඇතැම් කාරණා අනුපාතික විය යුතු දේවල් කිසිවක් කර නොමැත. උදාහරණයක් ලෙසට නාම යෝජනා පත්‍ර ආකෘතියක්, ඇප මුදල් තැන්පත් කිරීම පිළිබඳව ද මෙහි සඳහනක් නොමැත. නමුත් මෙහි ඇති තාක්ෂණික ගැටලුවලට වඩා ප්‍රබලම සාධකය වන්නේ දේශපාලන බලපෑමය.

මීට පෙරද ලංකා මැතිවරණ ඉතිහාසයේ අවස්ථා කිහිපයකදී මැතිවරණ කල් දැමීම් සිදුවී ඇත. 1970දී බලයට පත් සිරිමාවෝ මැතිනියගේ ආණ්ඩුවේ ධූර කාලය අවසන් වීමට නියමිත වූයේ 1975 දීය. නමුත් එම ආණ්ඩුව 72 ව්‍යවස්ථා සංශෝධනය සිදු කර ගනිමින් 1977 දක්වා එම ආණ්ඩුවේ ධූර කාලය දික්කර ගත්තේය. මීට අමතරව වඩුක්කෝට්ටේ හා චාවකච්චේරි ආදී අතුරැ මැතිවරණ ද කල් දැමීය. මේ සියල්ලේම ප්‍රතිඵලය වූයේ තුනෙන් දෙකක බලය තිබූ ආණ්ඩුව ඊළඟ මැතිවරණයේදී ආසන අටකට ඇද වැටීමය.

නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පෙනී සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණි. පක්ෂයේ පවතින අර්බුද හේතුවෙන් මැතිවරණ කල් දමා ගැනීමට එම පක්ෂය ගන්නා උපක්‍රමයක් ලෙස නව මැතිවරණ ක්‍රමය ශ්‍රීලනිපය වෙනුවෙන් පෙනී සිටින බවට යමෙකු කරන තර්ක සත්‍යක් බවට හැඟී ගියත් මේ තුළින් හෝ නිවැරදි ඡන්ද ක්‍රමයක් සකස් කර ගැනීමට ශ්‍රීලනිපය හෝ කිසිදු පක්ෂයකට අවශ්‍ය නොවූ බව පළාත් පාලන මැතිවරණයෙන් රටට හොඳින් පෙනී යන කරුණකි.

අලුත් මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීමේදී සුළු සුළු අඩුපාඩු වීම සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් මෙවර නව මැතිවරණ ක්‍රමයේ ද මහ පරිමාණ අඩුපාඩු සිදුවූ බවට ආණ්ඩුවේ නායකයෝ ප්‍රසිද්ධියේ පිළිගත්හ. එසේනම් ඔවුන් මුලින්ම කළ යුතුව තිබුණේ පළාත් පාලන ඡන්ද ක්‍රමයේ අඩුපාඩු දෙස බලා පළාත් සභා මැතිවරණ ක්‍රමය නිවැරදිව සකස් කර ගැනීමය. එලෙස කටයුතු කළේ නම් රටට ඉතා හොඳ මැතිවරණ ක්‍රමයක් මෙම මාස කිහිපය තුළ හෝ සකස් කර ලබන දෙසැම්බර් මාසයේදී ඡන්දය පැවැත්වීමය. නමුත් මේ දක්වා එය සිදුවන බවක් පෙනෙන්නට නැත.

පැවති ආණ්ඩුව යටතේ මැතිවරණ පැවැත්වූ බව සැබෑය. එහෙත් ඔවුන් කිසිවිටකත් පුරවැසියා ඡන්ද පොළට ගොස් ඡන්ද ප්‍රකාශ කිරීමේ අයිතිය වැළැක්වූයේ නැත. එහෙත් මේ සිදුවෙමින් තිබෙන්නේ පැවැත්විය යුතු මැතිවරණ සියල්ල කල් දමමින් ඡන්ද අයිතිය උල්ලංඝනය කිරීමකි. මහජන පරමාධිපත්‍යය විකෘති කිරීමකි. යහපාලන මූලික සංකල්පවලට පටහැනිව කටයුතු කිරීමකි.

 හසිත් අංජන