2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

මෙහෙම රටකට ආයෝජනයක් එයිද?

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 103

රටේ ව්‍යාපාර කටයුතු පිළිබඳ පහසුකම් සැලසීමේ කාර්යයේදී පසුගිය වසරේ ලෝක බැංකු දර්ශකවල 110 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මේ වනවිට 125 දක්වා පසුබැස ඇති බව ලෝක බැංකු වාර්තාවකින් පවසයි. එහි දැක්වෙන පරිදි මෙයට ප්‍රධාන හේතුව වන්නේ අලුතින් අරඹන ව්‍යාපාරවලට විදුලි බලය ලබා ගැනීමේදී සිදුවන අනවශ්‍ය ප්‍රමාදයයි. මධ්‍යම ප්‍රමාණයේ නව ව්‍යාපාරයකට විදුලි බලය ලබා ගැනීමට අවම වශයෙන් දින 100ක් ගතවන අතර ඒ සඳහා ගෙවිය යුතු අවම මුදල ලක්ෂ 45ක් පමණ වන බවද දැක්වේ.

මේ අන්දමට ව්‍යාපාර ආරම්භ කිරීමේදී සිදුවන අනවශ්‍ය ප්‍රමාදවීම් නිසා දේශීය හා විදේශීය වශයෙන් ව්‍යාපාර ඇරඹීමට බලාපොරොත්තු වන වැඩි දෙනකු ඉච්ඡා භංගත්වයට පත්ව තම ආයෝජන අතහැර දැමීමට කටයුතු කරන බව දැනගන්නට තිබේ. එසේම ආයෝජකයන්ට සිය මූලික පහසුකම් ඉටුකර ගැනීම සඳහා රජයේ විවිධ ආයතනවලට යාමට සිදුවන අතර ඒ සඳහා අනවශ්‍ය කාලයක් මිඩංගු කිරීමට හා විශාල මුදලක් වැය කිරීමට ද සිදුව තිබේ. විදේශ ආයෝජකයන් සඳහා රජයේ කාර්යාලවල විශේෂ පහසුකම් නොසපයන අතර ඔවුන්ට ද සාමාන්‍ය ජනතාවට මෙන් පෝලිම්වල ගොස් හිරිහැර විඳීමට සිදුව තිබේ. අපේ රාජ්‍ය ආයතනවල කටයුතු සිදුවෙන මන්දගාමී ස්වරූපය ආයෝජකයන් කලකිරීමට පත්කරන අතර ඔවුන් සිය අපේක්ෂා අතහැර දැමීමට පවා කටයුතු කළ අවස්ථා ඇත.

එසේම අපේ ඇතැම් දේශපාලකයන් සහ රාජ්‍ය නිලධාරීන් මෙරටට පැමිණෙන ආයෝජකයන්ගෙන් කොමිස් හා විවිධ ආදායම් උපයා ගැනීමට බලපෑම් කිරීම නිසා ඔවුන්ට සිය ආයෝජන ව්‍යාපෘති කටයුතු පිළිබඳ විචිකිච්ඡාවක් ඇතිවන තත්ත්වයට පත්ව තිබේ. මෙවැනි බලපෑම් නිසා ඇතැම් අය තම ව්‍යාපාර මෙරටින් ඉවත් කරගෙන ගිය බවට ද පසුගියදා ආරංචි පළවිය.

රටේ ආයෝජනය දිරිමත් කිරීම සඳහා පවත්වාගෙන එන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන්ද එහි පරමාර්ථය ඉෂ්ට කරගැනීම සඳහා සාර්ථක වැඩපිළිවෙළක් දියත් කර ඇති බවක් දක්නට නැත. සමහරුන් පවසන්නේ ආයෝජන මණ්ඩලයේ ඇතැම් අයගේ ක්‍රියා නිසා ආයෝජකයන් දිරිමත් කිරීම වෙනුවට ඔවුන් අධෛර්යමත් කිරීමක් සිදුවන බවය. පසුගිය සමයේ ආයෝජන මණ්ඩලයේ ඇතැම් ප්‍රධානීන් තම රාජකාරි වගකීම් ඉටු කිරීමේදී ඇතිවූ ගැටලු හේතුවෙන් ඉල්ලා අස්වූ බවද වාර්තා විය.

ආර්ථික කටයුතු ඇමැතිවරයා ද වන අග්‍රාමාත්‍යවරයා පසුගිය දිනවල මෙරටට පැමිණෙන ලෙස විදේශ ආයෝජකයන්ට විවෘත ආරාධනයක් කළ බව අපට ද අසන්නට ලැබිණ. එසේම ඔහු සහභාගී වන විදේශ සමුළුවලදී ආයෝජකයන්ට මෙරටට පැමිණ ආයෝජන ආරම්භ කරන ලෙස ඇරැයුම් කළ අවස්ථා ද රැසකි. විෂන් 2025 වැඩසටහන හා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැනි වැඩසටහන් මඟින් ආයෝජකයන් රටට අද්දාගන්නා බව කියයි. එහෙත් අද පවතින වාතාවරණය අනුව විදේශ ආයෝජකයන් පමණක් නොව දේශීය අයද ආයෝජනයට පෙළඹීම අඩුවී තිබේ. විදේශ ආයෝජකයන් ශ්‍රී ලංකාව දෙස බලමින් වෙනත් පහසුකම් ලැබෙන රටවල්වලට ගමන් කරන බවක් පෙනෙන්නට තිබේ. රටේ පවතින මෙම කනගාටුදායක තත්ත්වය ඉවත් කරනතුරු අපේ ආයෝජනය වර්ධනය කරගැනීම උගහට බව කිව යුතුය.

2017 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව අනුව හෙළිවන්නේ 2016 වසරේ ආයෝජනවල වටිනාකමට වඩා 2017 ආයෝජන මිලියන 68,1009කින් පහළ බැස ඇති බවය. 2016 වසරේ විදේශීය හා දේශීය ආයෝජන පිළිවෙළින් රුපියල් මිලියන 1,012,419 හා 352868ක් වුවද 2017 වසරේදී එය රුපියල් මිලියන 457147 හා 227,132 වශයෙන් මිලියන 681009කින් අඩුව තිබේ. එසේම ආයෝජන මණ්ඩල පනත 1978 අංක 4 යටතේ ආයෝජන මණ්ඩලය අනුමත කළ ව්‍යාපෘති සංඛ්‍යාව 2016 වසරේදී 218ක් වුවද 2017 වනවිට 170 දක්වා 48කින් අඩුවී තිබෙන බව පෙනේ. එසේම ගිවිසගත් ආයෝජන වටිනාකම 2017දී 2016ට සාපේක්ෂව සියයට 35.5කින් අඩුව තිබේ. මේ තත්ත්වය දිගටම පැවතුණහොත් අප බලාපොරොත්තු වන ආයෝජන රටට ලබා ගැනීම සිහිනයක් බවට පත්වන බව ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසයි.

මේ පිළිබඳව අදහස් දක්වන කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න පවසන්නේ ශ්‍රී ලංකාව ආයෝජන ඇදගැනීමේ සැලසුමක් නැතුවා සේම ආයෝජනවලට හිතකර පරිසරයක් ද රට තුළ නොපැවතීම මෙයට ප්‍රධාන හේතුව බවයි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ පරමාර්ථ ඉටුව නැති අතර කාර්ය මණ්ඩලය මාරු කිරීමෙන් මෙම ගැටලුව විසඳිය නොහැකි බවද ඔහු කියයි.

ඔහු තවදුරටත් මෙසේ පවසයි.

“ආයෝජනයට අවශ්‍ය පරිසරය අපේ රටේ තියෙනවද කියන එක ප්‍රශ්නයක්. ලොව බොහෝ රටවල් ආයෝජකයන් සඳහා දොරවල් විවෘත කර තිබෙනවා. ඒ අයට විවිධ පහසුකම් සලසා ආයෝජන සඳහා ආකර්ශනය කර ගැනීමට කටයුතු කරන බව දක්නට ලැබෙනවා. එවැනි අවස්ථාවක විදේශ ආයෝජකයන්ට අපේ රටට පැමිණීමට ඇති සුවිශේෂ සුදුසුකම කුමක්ද යන්න ප්‍රශ්නයක්. මෙහි පැති කිහිපයක් තිබෙනවා.

කාලයක් තිස්සේ කතා කළත් අපේ ප්‍රතිපත්තිවල කිසිදු ප්‍රතිසංස්කරණයක් සිදුව නැහැ. අපේ දිගුකාලීන ආර්ථික දර්ශනය සමඟ ප්‍රතිපත්ති හා නීතිරීති සංශෝධනයට ලක්කළ යුතුයි. එහෙත් එවැන්නක් සිදුවන පාටක් පෙනෙන්නට නැහැ. අපේ රාජ්‍ය අංශය කිසිදාක ප්‍රතිසංස්කරණයක් සිදුකර නැත. විදේශිකයන්ට ආයෝජන පහසුකම් දීමේදී කාර්යක්ෂම නැහැ. පැරණි ගමන් මාර්ගයේමයි යන්නේ.

එසේම විවිධ ජාත්‍යන්තර දර්ශක හා දත්ත මගින් විදේශිකයන් අපේ රට ගැන මනිනවා. මෙවැනි දර්ශක රාශියක් තිබෙන අතර ඒ මඟින් රට පිළිබඳ දර්ශනයක් ඇතිකර ගන්නට ඔවුන්ට අපහසු නැහැ.

Doing Business Index - ව්‍යාපාරවලට පහසුව පිළිබඳ දර්ශකය, competitiveness Index - තරගකාරීත්වය පිළිබඳ දර්ශකය, corruption perfection Index - දූෂණ වංචා පෙළ ගැස්වීමේ දර්ශකය, economic freedom Index - ආර්ථික නිදහස පිළිබඳ දර්ශකය.

මෙවැනි සංඛ්‍යාත්ම ගණනාවක් තිබෙනවා. ඒවා අනුව අපේ රටේ තත්ත්වය ඕනෑම ව්‍යාපාරිකයකුට දැනගත හැකියි. ඒ අනුව යථා තත්ත්වය අවබෝධ කරගත් විට කිසිදු ආයෝජකයෙක් අපේ රටට නැඹුරු වෙයි කියා සිතන්න අමාරුයි. තම මුදල් අවිනිශ්චිත වාතාවරණයක් තුළ වැයකර නාස්ති කරන්නට ඒ අය ඉදිරිපත් නොවීම අප බලාපොරොත්තු විය යුත්තක්. අපේ අඩුපාඩු සකස් කරගන්නා තෙක් ආයෝජකයන්ට ආරාධනා කිරීමෙන් ප්‍රතිඵලයක් වන්නේ නැහැ.

ආයෝජනයට එන අයගේ අවශ්‍යතා සියල්ල එක ස්ථානයකින් කරගැනීමේ පහසුකම් තිබිය යුතුයි. ලොව බොහෝ දියුණු රටවල එවැනි පහසුකම් සලසා තිබෙනවා. එහෙත් අපේ රටේ තවම පවතින්නේ පැරණි සාම්ප්‍රදායානුකූල රාමුවක්. ඒ නිසා ආයෝජකයන්ට ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය වන මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විවිධ රාජ්‍ය ආයතනවල රස්තියාදු වීමට සිදුව තිබෙනවා. එම ස්ථානවල නිලධාරීන් ආයෝජකයන් පිළිබඳ කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඔවුන්ගේ හැසිරීම අනුව ආයෝජකයන් රට පිළිබඳ කලකිරී ආයෝජනවලින් ඉවත්වීමට කටයුතු කරනවා. සියලුම අවශ්‍යතා එකම ස්ථානයකින් ඉටුකර ගත හැකි මධ්‍යස්ථාන තනන බවට අයවැයේදී ද ප්‍රකාශ කළ නමුත් එවැනි පහසුකම් ඇති කළ බවක් පෙනෙන්නට නැහැ.

අපේ රටේ දේශපාලන ප්‍රතිපත්තිවලට අස්ථාවරභාවය ද විදේශ ආයෝජකයන්ගේ පැමිණීම දුර්වලවීමට හේතු වී තිබෙනවා. අපට අද සහතික කරලා කියන්න බැහැ තව අවුරුදු පහකින් අපේ රට කොහේද තියෙන්නේ කියලා. අද ඇති දේශපාලන තත්ත්වය හෙට වුණත් වෙනස් විය හැකියි. එවිට දේශපාලන හා ආර්ථික ප්‍රතිපත්ති වෙනස් වෙනවා. එය ආණ්ඩුවෙන් ආණ්ඩුවට විතරක් නෙවෙයි එකම ආණ්ඩුව තුළත් විටින් විට වෙනස්වීමක් සිදුවිය හැකියි. යහපත් ව්‍යාපාරික පරිසරයක් ඇති සිංගප්පූරුව, නවසීලන්තය, මැලේසියාව වැනි රටවල දේශපාලන ප්‍රතිපත්ති අවුරුදු 50ක් ගියත් වෙනස් වෙන්නේ නැහැ. ආර්ථික ප්‍රතිපත්තිත් එහෙමයි. ආණ්ඩු කොතරම් මාරු වුණත් ප්‍රතිපත්ති ස්ථාවරයි. ඒ බව දන්නා ව්‍යාපාරිකයන් ආයෝජනයට ඉදිරිපත් වෙනවා. මම බලයට ආපුවාම සතියකින්, මාසයකින් ප්‍රතිපත්ති අනිත් පැත්ත හරවනවා යැයි හිටපු ජනාධිපති මහින්ද පසුගියදා පැවසුවා. ඔහු විතරක් නොව වෙනත් ඇතැම් දේශපාලන නායකයන්ද එලෙස පවසා තිබෙනවා. ඉතින් මෙවැනි කතා ඇසූ විට ආයෝජකයන් අපේ රටට එයිද? ලබන ඡන්දෙන් පස්සේ මොකද වෙන්නෙ කියලා අද කවුරුත් දන්නේ නැහැ. විදේශිකයන්ට පමණක් නොව අපේ රටේ අයටත් ඒ පිළිබඳ පැහැදිලි පිළිතුරක් දෙන්නට අපහසුයි.

අපේ අසල්වැසි රටක් වන ඉන්දියාව උදාහරණයකට ගතහොත් ඡන්දයකින් පස්සේ දේශපාලන හා ආර්ථික ප්‍රතිපත්තිවල කිසිදු වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. කවුරැවත් ආයෝජකයන් අධෛර්යමත් කරන ප්‍රකාශ කරන්නේ නැහැ. බල තණ්හාවට රට උගස් කරන්නේ නැහැ. විදේශ ආයෝජන වැඩි වශයෙන් ලැබෙන ලොව ප්‍රධාන රටවල් 10න් එකක් තමා ඉන්දියාව. පසුගිය වසරේ ආයෝජනවලින් ඩොලර් බිලියන 45ක ආදායමක් ලැබුවා. ඒ අතින් ලංකාව කොතැනද සිටින්නේ?

රටේ ජනතාවගේ ප්‍රශ්න ද ඊළඟට ප්‍රධාන වෙනවා. අද අපේ අටේ ප්‍රජාතන්ත්‍රවාදය කොතරම් දැඩිද කිවහොත් රට නීතියක් නැති රටක් බවට පත්ව තිබෙනවා. තමන්ට අවශ්‍ය දේ ඕනෑ කෙනකුට කළ හැකි මට්ටමට ප්‍රජාතන්ත්‍රවාදය ගුණාත්මකව හීන වෙලා තියෙනවා. දේශපාලන හික්මීමේ සීමා ඉක්මවා ගිහින්. උද්ඝෝෂණ, වර්ජන, පිකටිං, කඩාකප්පල්කාරී ක්‍රියා අධිකයි. ජන ජීවිතය අවුල් වෙලා. ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර කරගෙන යාමට බැරිවෙලා. මෙම තර්ජන නිසා ඇතැමුන්ට ස්වකීය ව්‍යාපාර වසා දැමීමට පවා සිදුවෙලා. රට තුළ ඇති මෙම අවුල් සහගත තත්ත්වය ආයෝජකයන්ගේ පැමිණීමට බාධාවක්. මෙම තත්ත්වය දකින  ආයෝජකයන් රට දෙස බලන්නේවත් නැති බවට පත්වෙලා.

ඇතැමුන් රටට විදේශ විනිමය ලැබෙන ආයෝජනවලට එරෙහි වෙලා ඒවා නවත්වනවා. සයිටම් අර්බුදය හොඳ උදාහරණයක්. පෞද්ගලික විශ්ව විද්‍යාල විශාල වශයෙන් ආයෝජන අවස්ථා තිබෙන ව්‍යාපෘතියක්. එහෙත් එවැනි ව්‍යාපෘති වසා දැමීමට සිදුව තිබෙනවා. අපේ විශ්ව විද්‍යාලවලට විදේශ ශිෂ්‍යයන් එක්තරා ප්‍රමාණයක් ගෙන්වීමට යන බව පසුගියදා ප්‍රකාශ වුණා. එහෙත් අද අපේ රාජ්‍ය විශ්ව විද්‍යාලවල පවතින තත්ත්වය අනුව විදේශ ශිෂ්‍යයන් පැමිණීමේ ප්‍රවණතාව අඩුවෙලා. විදේශ ශිෂ්‍යයන්ට අවශ්‍ය පහසුකම් අපේ විශ්ව විද්‍යාලවල නැහැ. ආරක්ෂාව නැහැ. අඩුගානේ වැසිකිලි කැසිකිලි පහසුකම්වත් නිසි පරිදි නැහැ. නවක වදය උත්සන්න වීමද තවත් අර්බුදයක් නිර්මාණය කරන්නක්. ඒ නිසා විදේශ ශිෂ්‍යයන් ගෙන්වන්න බැහැ.

ආයෝජන ඉහළ නංවා ගැනීමට කුමනාකාරයේ යෝජනා ආරම්භ කළත් ඒවා යථාර්ථවාදී වීමට නම් ප්‍රායෝගික පියවර ගත යුතු වෙනවා. ප්‍රදර්ශනාත්මක ස්වරෑපයෙන් මෙවැනි වැඩසටහන් ඉදිරිපත් නොකර ඒවායින් ආයෝජන ආකර්ශනය කර ගැනීමට යම් විධිමත් වැඩපිළිවෙළක් දැන්වත් ඇතිකිරීම වැදගත්.

යසවර්ධන රුද්රිගු