
“පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කැණීම් කර සංරක්ෂණය කරන නැගෙනහිර පළාතේ ප්‍රධාන ස්මාරකයක් වශයෙන් නීලගිරි සෑය හඳුන්වන්න පුළුවන්. දැනට නීලගිරි සෑයේ සංරක්ෂණ කටයුතු පිළිබඳව හා ඉදිරියට අවශ්‍ය අමුද්‍රව්‍ය, ශ්‍රමය පිළිබඳව වාර්තාවක් ලබාගෙන මේ දාගැබේ සංරක්ෂණ කටයුතු තවදුරටත් වේගවත් කිරීමට අපි අදහස් කරනවා. දැනට දාගැබ තිබෙන පැරණි ගඩොල්වලින් සංරක්ෂණය කරන්නේ.
මේ සඳහා අවශ්‍ය විශේෂ ගඩොල් එක්වරම සපයා ගැනීමට අපහසුයි. ටෙන්ඩර් කැඳවා මිල ගණන් ලබාගෙන සපයාගත යුතුයි. නීලගිරි සංරක්ෂණයට ජනතා සහායත් ලැබෙනවා. කොළඹ පරිත්‍යාගශීලී මහත්මයෙක් අපට සිමෙන්ති සපයා දෙනවා. ඉදිරියේදී ජනතාවගේ ශ්‍රම දායකත්වය ලබාගැනීමේ සැලසුමක්ද පවතිනවා.*අපට එලෙස අදහස් දැක්වූයේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රශාන්ත මණ්ඩාවල මහතාය.
අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි නීලගිරි දාගැබ නැගෙනහිර පළාතේ දෙවැනි විශාලතම දාගැබයි. (පළමු තැන දීඝවාපිය හිමිකර ගනී.) ලාහුගල පොතුවිල් ප්‍රධාන මාර්ගයේ 10 කණුවෙන් හැරී කොන්ක්‍රීට් දැමූ පාරක කී.මී. 3ක් ගමන් කළ විට හැඩ ඔය හමුවේ. මෑතකදී මෙහි සිට එතෙරවීමට කොන්ක්‍රීට් පාලමක් ඉදිකිරීම නිසා ගමන පහසු වී තිබේ. පාලමෙන් එතෙර වී මහ වන මැදින් තවත් කී.මී. තුනක් ගමන් කළ යුතුවේ. පුරාවිද්‍යා ස්ථානය දක්වා මේ මාවත දැන් කොන්ක්‍රීට් අතුරා සකස් කර ඇති නිසා කුඩා වාහනයකට වුවද ගමන් කිරීමේ අවස්ථාව හිමිව තිබේ. මේ නිසා බොහෝ බැතිමතුන් නීලගිරිසෑය දැකබලාගෙන සිත්පහන් කර ගැනීමට පැමිණෙන බව අපට පෙනුණි.

මහවන මැද තාවකාලික ටකරන් ගොඩනැගිලිවල නවාතැන් ගනිමින් පුරාවිද්‍යා නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ දාගැබේ සංරක්ෂණ කටයුතුවල යෙදෙන විශාල පිරිසක් අපට දැකගත හැකිවිය. එක් පිරිසක් ගඩොල් දාගැබට ලබාදෙන අතර තවත් පිරිසක් සියුම් ආකාරයෙන් ගඩොලින් ගඩොල තබමින් ගර්භ ගෘහය බැඳීමේ කටයුතුවල නිරත වෙති. දැඩි අව්ව නොතකමින් ඔවුහු සිය කාර්යය ඉටුකරති. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල යන ආයතනවල සේවකයෝ සහ අවට ප්‍රාදේශවාසීහු ද මෙහි සේවය කරති. දිනකට පනහක පමණ පිරිසක් එලෙස සේවයට පැමිණෙති.
අපි පුරාණ ස්වරූපය පිටතට පෙනෙන ආකාරයට තමයි ගර්භයේ ඉදිකිරීම් කරගෙන ගන්නේ. දැනට අඩි 8ක් පමණ උසට එහි බැඳීම් කරලා තිබෙනවා. ගඩොල් අතරින් කාසියක් පවා ඇතුළු කළ නොහැකි ආකාරයෙන් කුස්තූර නොසිටින ලෙස බඳින්නේ. පුරාණ දාගැබට යොදාගත් පැරණි ගඩොල්ම තමයි නැවත පොලිෂ් කර පාවිච්චි කරන්නේ. දාගැබ් භූමියේ දී හමුවූ පුරාවිද්‍යා තාක්ෂණික නිලධාරි තරිඳු වික්‍රමසිංහ අපට පැවසුවේය.
වීර, පලු, කළුමැදිරිය, කළුවර, පතඟ, කරඹ, කුඹුක් වැනි රැක් සමූහයා පිරිවර කොටගත් වනපොත මැද ඉහළ නගින නීලගිරිය රෝහණ රාජධානි ඉතිහාසයේ සැඟවුණු පුවතක් අපට නිහඬ බසින් පවසන සාක්ෂියක් වැන්න. අද වනගතව අලි ඇතුන්ගේ නිජබිමක් බවට පත්ව ඇති මේ පෙදෙස සියවස් 20කට එපිට සිට ගොවිබිම්, ජනාවාස පිරැණු පුණ්‍ය භූමියක්ව පැවති බවට සාධක අවටින් හමුවේ. දාගැබේ විශාලත්වය අනුව මෙම මහා විහාරය නඩත්තු කිරීමට විශාල දායක දායිකාවන් පිරිසකගේ දානමානාදී අනුග්‍රහය එදා හිමිවන්නට ඇත.

හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ඒ.එම්. සෝකාට් 1928 දී වනාන්තරයේ මහගස් වැවී තිබූ මේ දාගැබ් ගොඩැල්ල මුල්වරට ගවේෂණය කළේය. දාගැබේ කැණීම් සහ සංරක්ෂණ කටයුතු 1979, 1983, 1998 යන වර්ෂවල කෙරැණද කොටි ත්‍රස්තවාදී බලපෑම් නිසා අතරමග නතර විය. කොටි පරාජය කිරීමෙන් පසු 2012, 2014, 2015 යන වර්ෂවල කැණීම් ඇරඹිණි. පේසාව සහ ගර්භය සකස් කිරීම 2016 දී ඇරඹුණු අතර මේ වනවිටත් අඛණ්ඩව සංරක්ෂණ කටයුතු සිදුකෙරේ.
ගරා වැටුණු දාගැබේ උස අඩි 72කි. විශ්කම්භය අඩි 628කි. වර්ෂ 2011 දී පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමක් නීලගිරි පුරාවිද්‍යා ගවේෂණයක් කළහ. එම ගවේෂණයට අනුව මෙම පුරාණ විහාරයේ නෂ්ටාවශේෂ අක්කර 89ක පෙදෙසක පැතිර තිබෙන බව හෙළිවිය. එය එවකට රෝහණ රාජධානියේ ප්‍රධාන පුදබිමක් වන්නට ඇත. මේ ප්‍රදේශය අයත් වන්නේ පානම් පත්තුවටය. රෝහණ දේශයේ නැගෙනහිර කොටසට අයත් මේ ප්‍රදේශය මහානාග යුවරජුගේ කාලයේ සිට පචින භූමි හෙවත් ප්‍රාචීන භූමිය ලෙස සලකා ඇති බව සෙල්ලිපිවලින් පෙනේ. ක්‍රිස්තු පූර්ව යුගයේ සිටම නීලගිරිය අවට කලාපය විශාල බෞද්ධ ජනගහනයක් විසූ පෙදෙසක් බවට සාධක අවට පැතිරී තිබෙන පුදබිම් හා සෙල්ලිපිවලින් සාධක සැපයේ.
මේ විශාල දාගැබේ විෂ්කම්භය අඩි 180කට ආසන්නයි. සිරිපතුල් ගල්, භික්ෂු විනය කිරීම කළ පෝයගෙය, ගොඩනැගිලි පාදම් රාශියක්, භික්ෂූන් වාසය කළ කුටිවල පාදම්, ගවේෂණයේදී හමුවුණා. දාගැබේ වාස්තු විද්‍යාත්මක විශේෂත්වය නම් ප්‍රාකාර බැම්ම මත ගොඩනැගිලි දෙකක නටබුන් හමුවීමයි. මහාචාර්ය රාජ් සෝමදේව පවසා සිටී.

මහාචාර්ය සෝමදේවගේ ගවේෂණයෙන් පසු 2012 දී නැවත නීලගිරි දාගැබේ විධිමත් පුරාවිද්‍යා කැණීම් ආරම්භ කෙරුණි. එවකට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකගේ උපදෙස් මත කැණීම් අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරාගේ මගපෙන්වීමෙන් එම කැණීම් සිදුවිය. එහිදී හෙළි වූ කරුණක් වූයේ හත්වන සියවසේදී දාගැබ විශාල කිරීමට කළ ප්‍රතිසංස්කරණයේදී එක්කළ ගඩොල් කංචුකයක් පසුව කඩාවැටී ඇති බවයි. පුරාවිද්‍යා කැණීම් ඇරඹුණේ කඩාවැටුණු ගඩොල් කන්ද අතරිනි. එහිදී හමුවූ පුරාවස්තු අතර කරඬු දෙකක් ද විය. ඊට අමතරව පළිඟු කරඬු 10ක් ද හමුවිය. මේ අතරින් නිදන් හොරුන්ගෙන් විස්මයකින් මෙන් බේරී හමුවූ එක් ශෛලමය කරඬුවක් තුළ බහා තිබුණේ රන්පත්‍රවලින් කළ කරඬුවකි. එය අලංකාර කැටයමෙන් යුත් පියන සහිත මංජුසාවකි. එම මංජුසාව තුළ සිලින්ඩරාකාර හැඩයෙන් යුත් කුඩා ප්‍රමාණයේ රන් පැහැති කොපු තුනක් හමුවිය. ඒවායේ ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇති බව පසක් විය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බාරයට ගත් මෙම ධාතූන් වහන්සේ සහිත කරඬුව ඊට පසු ශ්‍රී ලංකාව පුරා විවිධ ස්ථානවල ප්‍රදර්ශනය කෙරැණු අතර එයට විශාල මහජන ප්‍රතිචාරයක් ලැබුණි.
කැණීම් මගින් ස්තූප මළුවේ තිබී ඡත්‍ර 10කට ආසන්න ප්‍රමාණයක් ද ඡත්‍ර දණ්ඩ 2ක්ද, සූපගලක්ද හමුවී තිබේ. සිරිපතුල් ගල් 44ක් හා ආසන ගල් 15ක්ද මේ වටා තිබී මතු විය. මෙහි ඉදිකිරීම් සාධක අනුව ක්‍රිස්තු පූර්ව යුගයේ මුලින්ම තැනූ දාගැබක් බව හෙළිවී අවසානය.
පසුගියදා පුරාවිද්‍යා සංගමයේ පර්යේෂණ සමුළුවට
පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරි කේ. උදේනි අරුණසිරි සඳහන් කළේ මේ දාගැබේ ගොඩනගා තිබුණේ හතරුස් කොටුවක් නොව වැටක් ආකාරයේ මුග්ධවේදියක් බවයි. දාගැබෙන් ලැබුණු පාදම් ගල්, පැරණි කරඬුවල ස්වරූපය අධ්‍යයනය කිරීමෙන් ඔහු එම නිගමනයට එළඹ තිබේ.
දාගැබේ සිට කී.මී. 3ක් නුදුරින් නීලගිරි කන්දේ ලෙන් සංකීර්ණයක් හඳුනාගෙන තිබේ. සමහරක් ලෙනක පැරණි සිතුවම් කොටස් ඇත. මේ විහාරය භාතිකාභය තිස්ස (ක්‍රි.පූ. 1 සියවස) රජුගේ කාලයේ ද පැවතුණු බවට සාක්ෂි තිබේ. ඔහුගේ බිසව වූ චූලසීවලී දේවිය විසින් නීලගිරි සෑයට (උත්තර සීවලී පබ්බත විහාරයේ) කළ පූජාවක් ගැන සඳහන් සෙල්ලිපියක් නුදුරින් හමුවී ඇත.
නීලගිරි සෑයේ සංරක්ෂණ කටයුතුවලට ඔබටත් උදව් උපකාර කළ හැකිය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීමෙන් මෙන්ම, නොමිලේ ශ්‍රමය සැපයීමෙන්ද ඒ සඳහා දායකවීමට පුළුවන.
(විශේෂ ස්තූතිය සම්බන්ධීකරණය කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන නිලධාරී සුනිල් බණ්ඩාර කෝරළයේ මහතාට.)
සටහන සේයාරූ - කුසුම්සිරි විජයවර්ධන