2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

ඡන්දෙන් ඈත්වෙන තරුණයෝ

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 65

පළාත් සභා ඡන්දය ඉලක්ක කොට ගෙන මෙරට තිබෙනා දේශපාලන පක්ෂ මේ වනවිටත් එය තමන්ගේ ජයග්‍රහණයක් බවට හරවා ගැනීමට පිඹුරැපත් සකසමින් සිටී. එමෙන්ම පළාත් සභා මැතිවරණය ඉක්මණින් පැවැත්විය යුතුයැයි කියා විපක්ෂයේ දේශපාලන පක්ෂ බොහෝ වේදිකාවන්වල නිරතුරුවම හඬ නගන බවත් පෙනී යයි. කලින් කලට එන අර්බුද හමුවේ මෙරට ජනතාවට “ඡන්දය” යන වචනය නුපුරුදු වචනයක් නොවන බව කිවයුතුය.

ඉන්දියාවේ ප්‍රබලම ආයතනයක් වන එරට මැතිවරණ කොමිසමේ ආදර්ශ පාඨය වන්නේ “Greater Participation for a Stronger Democracy” (වඩා ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා වැඩි දෙනාගේ සහභාගීත්වය) යන්නයි. වැඩිපුර ජනතාව ඡන්ද පොළට ගෙන්වා ගැනීම මගින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට දායක කර ගැනීම එම ආයතනයේ අරමුණයි. ශ්‍රී ලංකාවේද මැතිවරණ කොමිෂන් සභාව ක්‍රියාත්මක වන්නේ එවන් අදහස් මත සිටිමිනි.

කෙසේ නමුත් මෙරට ඡන්ද හිමි නාමලේඛනයට ලියාපදිංචි වන පිරිස හරි අඩකට ආසන්න ප්‍රමාණයකින් අඩුවී ඇති බව මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය පවසයි. මෙරට තරුණ ජනතාව අතර මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ පවතින උනන්දුව අඩුවීම හා දේශපාලනය කෙරෙහි තරැණ කොටස් තුළ ඇති කලකිරීම මෙයට හේතුවක් විය හැකි බව දේශපාලක විචාරකයෝ පවසති.

2015 හා 2016 වර්ෂවල එක් වසරක් සඳහා අලුතින් ඡන්ද දායකයින් තුන් ලක්ෂ පනස් දහසකට අධික ප්‍රමාණයක් ලියාපදිංචි වී සිටියද එය මෙම වසරට අදාළ ඡන්ද හිමි නාමලේඛනයට ලියාපදිංචි වීමේදී එක් ලක්ෂ හැත්තෑ පන්දහසක් දක්වා අඩු වී ඇත. සැබවින්ම මෙය කනගාටුවට කරුණකි.

දේශපාලනඥයින් කෙරේ කලකිරී මැතිවරණ ක්‍රියාවලියෙන් බැහැරව සිටීම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා හොඳ ප්‍රවණතාවයක් නොවන බව දේශපාලක විචාරකයන්ගේද පොදු අදහස වී ඇත. මේ සම්බන්ධව දැක්වූ අදහස් කිහිපයක් මෙසේය.

ඉදිරියේදී තවත් බහීවි
ඌව පළාත් සභා ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න  

ඡන්ද ලියාපදිංචිය සහ ප්‍රකාශයට පත් කිරීම කියන්නේ දෙකක්. දැන් අපිට පේනවා පහුගිය මැතිවරණය ගත්තොත් සාමාන්‍යයෙන් ලංකාවේ 65% වගේ ඡන්දය ප්‍රකාශයට පත් කළා. ඒක ඒ විදියට වුණේ මෙවර පළාත් පාලන මැතිවරණය තරගකාරීත්වය සහ අලුත් මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්වීම නිසා. ඒ වගේම ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් අපේක්ෂකයන් රට වටේ දුවලා තමයි මොවුන් මේ ඡන්ද ප්‍රතිශතය වර්ධනය කළේ. නමුත් ජනාධිපතිවරණයකදී හෝ මහ මැතිවරණයකදී මෙලෙස ඡන්දය ප්‍රකාශ කිරීමේ අඩුවක් තියේවි. ඉතින් අපි කියනවා මේ ඡන්දය ගැන සහ පවතින දේශපාලනය ගැන ජනතාවට විශේෂ කලකිරීමක් තියෙනවා. ඔය ගානට හරි මිනිස්සු ඡන්දය ප්‍රකාශ කරන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න. තමන්ගේ අයිතියක් තියෙනවට වඩා යම් යම් බහුතරයක් දේශපාලන පක්ෂ කරන යම් යම් අල්ලස් ලබාදීලා. ඒ නිසා මේ රටේ ජනතාව රටේ දේශපාලනය ගැන සක්‍රීය මට්ටමෙන්. හොඳ දැනුවත් මට්ටමකින් ඡන්දය භාවිත කරලාත් මේ තත්ත්වය මීට වඩා දුර්වල තත්ත්වයක තියෙයි කියලා තමයි අපිට හැඟෙන්නේ.


විශ්වාසය අඩුවීම හේතුවක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී 
හර්ෂණ රාජකරුණා

මම හිතන හැටියට මේකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ අලුත් පරම්පරාව මේ ඡන්දය කෙරෙහි තියෙන විශ්වාසය අඩුවීම. දේශපාලනය අවශ්‍ය නැහැ කියන මතයේ මේ තරුණ පරම්පරාව සිටීම. කෙසේ වෙතත් මම ඉල්ලීමක් කරනවා මේ තරුණ පරම්පරාවෙන් අපේ අයිතිවාසිකම් හැටියට ඡන්දයට ලියාපදිංචි වී ඡන්දය ලබාදෙන්න කියලා. මොකද මේ රටේ පාලනය ගැන තීරණයක් තැනීමේ අයිතියක් තියෙන්නේ. ඔවුන් හැමෝම හිතුවට දේශපාලනය වැඩක් නැහැ කියලා. මිනිසුන්ට ඒ දේශපාලනය විනකරන අවස්ථාත් එනවා. එනිසා මිනිහගේ මූලික අයිතිවාසිකමක් වූ මෙම ඡන්දය නැතිකර ගන්න හොඳ නැහැ. ඇතැම් රටවල එලෙස ඡන්දය ලියාපදිංචි කරලා ඡන්දය දාන්න ගියේ නැති වුණාම දඩ ගහන ක්‍රමයක් තියෙනවා. නමුත් අපේ රටේ එවැනි තත්ත්වයක් නැහැ. ඒ වගේම රටේ ජනතාව ලෙස ඡන්දය දෙන එක සහ ලියාපදිංචි කරගැනීම ජනතාවගේ පරමාධිපත්‍යය අයිතියක් විදියට තමයි අපි දකින්නේ.

යන විදියට තරුණයන් කැමති නෑ
ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර 

මම හිතන්නේ මේකට පළවෙනි කාරණාව තමයි මේ රටේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව පිළිබඳව ජනතාව තුළ තිබෙන විශ්වාසය අද බිඳ වැටිලා තිබීම. එක පැත්තකින් කොමිසමේ සභාපතිවරයාම කියනවා දිනයක් පිළිබඳ දැනුවත් කිරීමක් කරන්න බැහැ සහ එවැනි තවත් දේවල් ඒ වගේම ජනතාව මෙලෙස මැතිවරණයට ලියාපදිංචි වෙන්නේ නැත්තේ මැතිවරණ කල්දැමීම නිසාද යන්න සැකයකුත් තියෙනවා. ඒ වගේම මේ රටේ තරුණයන් නව දේශපාලන රටාව සහ දේශපාලනඥයන් පිළිබඳ තියෙන අවිශ්වාසය නිසා සමහර වෙලාවට තමන්ගේ ඡන්ද බලය පාවිච්චි කිරීමට දැඩි අකමැත්තක් දක්වනවා ඇති. ඒ වගේම මෙවර පළාත් පාලන මැතිවරණයේදී මෙතෙක් කල් තරුණයන් වෙනුවෙන් තිබුණු නියෝජනය මෙවර පළාත් පාලන මැතිවරණ සංශෝධන පනතෙන් ඉවත් වුණා. මේ කාරණයත් ඉවහල් වෙන්න ඇති මේ සිදුවීම්වලට.

මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයෙන් මේ පිළිබඳව විමසූ විට එහි ප්‍රකාශකයෙක් මෙසේ කීය.

“මේ වනවිට ඡන්ද හිමි නාමලේඛනයට ලියාපදිංචි වන පිරිස හරි අඩකට ආසන්න ප්‍රමාණයකින් අඩවෙලා තියෙනවා. 2015, 2016 වසරවලදී එම ප්‍රමාණය තුන් ලක්ෂ පනස්දහසක් විතර ප්‍රමාණයක් වුණා. නමුත් මේ වසරට සාපේක්ෂව එය එක් ලක්ෂ හැත්තෑ පන් දහසකින් විතර අඩුවෙලා තියෙනවා. තරුණ වියේ සහ මැදිවියේ සිටින අයගේ තමයි මේ විදියට ඡන්ද ලියාපදිංචියේ අඩුවක් තියෙන්නේ.”

මෙරට සර්වජන ඡන්ද බලය හඳුන්වාදුන් පළමු රටවල් අතරින් එකක් වන අතර එවන් පසුබිමක මෙරට ජනතාව දේශපාලනික වශයෙන් අවදිව සිටීම වැදගත්ය. මේ පිළිබඳ වටිනා උපදෙසක් 2017 සැප්තැම්බර් 24 පැවති ජර්මන් මහ මැතිවරණයට දිනකට පෙර එරට ජනාධිපති අපේක්ෂක ෆ්‍රෑන්ක් වෝල්ටර් - ස්ටයින් මෙයර් සිය ජනතාවට ලබාදුන්නේය.

“ඡන්ද පොළට ගොස් ඡන්දය පාවිච්චි කරන්න. ඔබ ඡන්දය පාවිච්චි නොකළොත් එයින් අදහස් වෙන්නේ ඔබේ අනාතය ගැන වෙනත් අයට තීරණ ගැනීමට ඔබ ඉඩ නොදෙන බවයි.”

හසිත් අංජන