2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

ට්‍රැමඩෝල් බිල්ලට කොටුවූ මන්නාරමේ ධීවරයෝ

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 105

ට්‍රැමඩෝල් වර්ගයේ මත්පෙති මන්නාරම ප්‍රදේශයේ ධීවරයන්ට අලෙවි කරමින් එම ජාවාරමේ නිරත වූ පුද්ගලයෙක් හා මත්පෙති ප්‍රවාහනය වෘත්තීය වශයෙන් සිදුකරන තරුණයන් දෙදෙනෙක් එකම අවස්ථාවකදී අත්අඩංගුවට ගැනීමට මන්නාරම විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීහු පසුගියදා සමත් වූහ. රුපියල් තුන්ලක්ෂ අනූදහසක් වටිනා මත්පෙති තොගය සමඟ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම වාර්තා වන්නේ මෙසේය.

පිට පළාත්වලින් මන්නාරම වෙරළ ආශ්‍රිත ප්‍රදේශයට මත්පෙති රැගෙන එන බවත් ඒවා විශාල මුදලකට අලෙවි කරන බවටත් මන්නාරම පොලීසිය වෙත වරින් වරට තොරතුරු වාර්තා වී තිබුණි. මන්නාරම මූලස්ථාන පොලීසිය යටතේ ක්‍රියාත්මක මන්නාරම කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් මේ පිළිබඳව අවධානයෙන් සිටියද නිවැරදි හෝඩුවාවක් නොවීය. එසේ තිබියදී එම ඒකකයේ නිලධාරියකුට ලැබුණු බුද්ධි තොරතුරකි. ඔත්තුකරු තොරතුර දන්වා තිබුණේ දුරකතන ඇමැතුමක් මගිනි.

“මන්නාරම බීච් එක පැත්තේ විකුණන්න ටැබ්ලට් වගයක් අරගෙන යනවා. දැනටමත් කට්ටිය පිටත්වෙලා ඉන්නේ. වව්නියාව පැත්තෙ ඉඳලා පල්සර් බයික් එකක් එනවා. කොල්ලො දෙන්නෙක් එන කළු පාට බයික් එක අල්ලන්න බඩු පාස් කරන්නේ ඒ බයික් එකෙන්.”

ඔත්තුකරු විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරියකුට තොරතුර දන්වා තිබුණේ එසේය. ඒ සමඟම ක්‍රියාත්මක වූ නිලධාරියා මන්නාරම කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ගංගාපති ආත්තනන් මහතා වෙත තොරතුර පවසා තිබුණි. ඒ මොහොතේම නිලධාරීන් පිරිසක් සමඟ ජිප් රථයක නැගී පිටත් වූ පිරිස මන්නාරම ශාන්ත සේවියර් පිරිමි විද්‍යාලය අසල රැඳීසිටියේ ජිප් රථය නොපෙනෙන මානයක තිබියදීය.

නිලධාරීන් කිහිපදෙනෙක් මෙහෙයුම සඳහා පිටත් වුවද අවස්ථාවේ හැටියට නිලඇඳුමින් සැරසුණු නිලධාරීන් සමඟ සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීහු තිදෙනෙක් මාර්ගයට වී සිටියහ. පැය දෙකකට ආසන්න කාලයක් එසේ සිටින අතරතුර ඔත්තුකරු දැන්වූ පරිද්දෙන් කළු පැහැති පල්සර් වර්ගයේ යතුරුපැදියක් වේගයෙන් මන්නාරම නගරය දෙසට ධාවනය වෙමින් තිබිණ. නිලඇඳුමින් සැරසුණු නිලධාරියෙක් සංඥා කළ පරිදිම යතුරුපැදිය ඔවුන් ඉදිරියේ නතර කෙරුණි. එතැන් පටන් නිලධාරීන්ගේ උපදෙස් මත ඔවුහු හැසිරෙන්නට වූහ.

යතුරුපැදිකරු සමඟ පසුපැදිකරුවෙක්ද පැමිණ සිටියේය. පළමුව ඔවුන්ගේ රියැදුරු බලපත්‍රය හා අවශ්‍ය ලේඛන පරීක්ෂාවට ලක් කෙරුණි. පසුපැදිකරු අත වූයේ කළු පැහැති ගමන් බෑගයකි. දෙවනුව ඒ පිළිබඳ විමසන අතරතුර එය පරීක්ෂාවට ලක් කළේය. එහි වූයේ ට්‍රැමඩෝල් නම් සඳහන් කාඩ්බෝඩ් ඇසුරුම් 13 කි. මේවා යම් ඖෂධයක් බවට හඳුනාගන්නට හැකිය. එක පෙට්ටියක පෙති 100 බැගින් වූ පෙට්ටි දහතුනක අඩංගු වූ පෙති ගණන 1300 කි. ප්‍රශ්න කිරීම අතරතුරදී කියා තිබුණේ යතුරුපැදිය වව්නියාව ප්‍රදේශයේ සිට පැමිණි බවය. පෙති තොගය පිළිබඳව විමසීමේදී කියා තිබුණේ දුරකතන ඇමැතුමක් මගින් වව්නියාව පාලමක් අසල තැනක පාර්සලය තබා ඇති බවත් එය රැගෙන ගොස් මන්නාරමේ කෙනකුට බාරදෙන ලෙසට දැන්වූ බවය. ඒ අනුව මන්නාරම පුද්ගලයකුගේ දුරකතන අංකයක් ලබාදුන් බවද ඔහු හෝ පාර්සලය ලබාදුන් අයෙක් නොහඳුනන බවද කියා තිබිණ.

අනතුරුව නිලධාරීන් සැකකාර තරුණයෝ ලවා ඔවුන් සතුවූ දුරකතන අංකයට ඇමැතුමක් ලබාදී පෙති ලබාගැනීමට පැමිණෙන පුද්ගලයා කැඳවාගන්නට සමත් විය. ඔහු නගරයට පැමිණ තරුණයන් හමුවන අතරතුර අවට රැඳීසිටි නිලධාරීන් ඔහු උපක්‍රමශීලීව අත්අඩංගුවට ගනු ලැබීය. මේ අනුව අත්අඩංගුවට පත් තරුණයන් දෙදෙනා 22 හැවිරිදි වියේ පසුවන බවත් අනෙක් පුද්ගලයා 56 හැවිරිදි අයෙක් බවටත් අනාවරණය විය. තරුණයන් දෙදෙනා මත්පෙති ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සහ ඒවා බාරගැනීමට පැමිණි පුද්ගලයා ජාවාරමට අනුබල දීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය. සැකකරුවන් සැප්තැම්බර් 3 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.
සැකකරුවන් සතු ජංගම දුරකතනය හා දුරකතන අංක කිහිපයක් ඔස්සේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය. වෛද්‍ය නිර්දේශයකින් තොරව මත්පෙති වශයෙන් අලෙවි කරන පෙති රැගෙන මීට කලින් දෙවතාවකදී මෙම තරුණයන් මන්නාරමට පැමිණ ඇති බවද හෙළිවී තිබේ.

සිද්ධිය පිළිබඳව මන්නාරම කොට්ඨාස බාර පොලිස් අධිකාරී ශිරන්ත පීරිස්, මන්නාරම මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක, කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ගංගාපති ආත්තනන්, පොලිස් සැරයන්වරුන් වන 27984 වික්‍රමරත්න, 29487 සෙනෙවිරත්න, පොලිස් කොස්තාපල්වරුන් වන 49167 පතිරාජ, 6203 රූබන්, 87448 ජුගේස්, 8350 කිමෙල්සන්, 14737 කැලුම් යන අය වැඩිදුර විමර්ශන පවත්වති.

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර