2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

වසර 12ක් සෙංකෝලය රැකගත් වේත්‍රධාරියා අනිල් පරාක්‍රම සමරසේකර

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 189

රට කරවන තැන විල මැද මැඳුරේ සෙං‌කෝලය රකින ධවල වර්ණ ඇඳුමකින් සැරසී සිටින මිනිසා ඔහුය. මේ ඔහු ගැන කතාවයි. තනතුරට සමුදී ජීවිතයේ සැඳෑසමය විශ්‍රාම  සුවයෙන් ගතකරන්නට යන මේ අපූරු මිනිසා රටක් දැක ඇත. එහෙත් බොහෝ දෙනා ඔහු පිළිබඳව තතු නොදනී. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී තනතුරේ වසර 12ක් කටයුතු කළ ඔහු නමින් අනිල් පරාක්‍රම සමරසේකරය. ගාල්ල අක්මීමන කොට්ඨාසයෙන් 1956 දී පාර්ලිමේන්තු පැමිණි පසුව නියෝජ්‍ය ඇමැතිවරයකු වූ සේනපාල සමරසේකර මහතා අනිල් සමරසේකර මහතාගේ පියාණන්ය. නාවික හමුදාවේ අධිකාරීලත් නිලධාරියෙක්ව සිට 1996 දී සහකාර වේත්‍රධාරිවරයකු ලෙස  පාර්ලිමේන්තු සේවයට ඔහු එක්වෙයි. අප ඔහු සමඟ කතාබහ එළඹෙන්නේ තනතුරට සමුදීමේ උත්සවය නිමා වූ සැඳෑවේය.

“මං නාවික හමුදාවේ ඉන්නකොට පාර්ලිමේන්තුවට බඳවාගන්න දැන්වීමක් දැකලා අයැදුම් කරා. ඊටපස්සේ සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයකට මුහුණදීලා තමා මෙතෙන්ට ආවේ. දේශපාලනයට සම්බන්ධ පවුල් පසුබිම මෙතෙන්ට එන්න හේතුවක්වත් වුණේ නෑ ඇත්තටම.”

සමරසේකර මහතා කතාවට මුලපුරන්නේ පාර්ලිමේන්තු සේවයට පැමිණි ගමන සිහිකරමිනි. සහකාර වේත්‍රධාරියකු ලෙස එදා සේවයට එක්වූ ඒ මහතා 2006 දී වේත්‍රධාරී තනතුරට පත්වෙයි. එතැන් පටන් වසර 12ක කාලයක් විශ්‍රාම යනතෙක්ම ඒ මහතා සිය සේවය මෙරට උත්තරීතරම ආයතනයේ ආරක්ෂාව මෙන්ම යහපැවැත්ම වෙනුවෙන් නොපමාව ලබා දී ඇත.

“වේත්‍රධාරියා කියන්නේ සෙංකෝලයේ බාරකරු. ඒ වගේම පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සහ උත්සව සම්බන්ධයෙන් කතානායකවරයාට වගකියන තනතුර වෙන්නෙත් වේත්‍රධාරී  තනතුර.”

අනිල් සමරසේකර මහතා එලෙස තමන් හෙබවූ තනතුර කුමක්දැයි සරලව පහදයි. එහෙත් වේත්‍රධාරී තනතුරේ ඉතිහාසය වසර 800ක් තරම් අතීතයකට දිවයයි. වේත්‍රධාරී තනතුරේ මුල්කාලීන කාර්යභාරය වූයේ සෙංකෝලය‍ දරා සිටිමින් රජුව ආරක්ෂා කිරීමය. පළමුවැනි රිචඩ් රජ සමය වනවිට වේත්‍ර‍ධාරීවරයාගේ කාර්යය සෙංකෝලය‍ සභාගැබට ගෙන ඒම සහ ඉන් පිටතට රැගෙන යාමත් මුලසුන නිකුත් කරන නියෝග ක්‍රියාත්මක කිරීමත් වූ බව පැවසේ.

නුතනයේදී පාර්ලිමේන්තුවේ ආරක්ෂාව, පරිපාලනය ඇතුළු සමස්ත අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය සම්බන්ධව වගකීම් රාශියක් උසුලන තනතුරක් බවට වේත්‍රධාරී තනතුර පත්ව තිබේ. මෙය දෙවෙනි වන්නේ පාර්ලිමේන්තු මහලේකම් ධූරයට පමණකි. 1947 මෙරට පළමුවන වේත්‍රධාරීයා ලෙස ලෙස එම්. ඉස්මයිල් මහතා පත්ව තිබේ. එතැන් පටන් මෙම ධුරය හෙබවූ වේත්‍රධාරීන් අතරින් 5 වැන්නා අනිල් සමරසේකර මහතාය.

අරගල ගැටුම්වලින් පිරුණු පසුගිය දශයකට වැඩි කාලයක් තුළ පාර්ලිමේන්තුවේ දී තමන් ලැබූ අමතක නොවන අත්දැකීම් කිහිපයක් සමරසේකර මහතා අප සමඟ බෙදා ගනී. 

“එක වතාවකදී කතානායකතුමා තෝරන අවස්ථාවක දී ලොකු අරගලයක් සිද්ධවුණා. මන්ත්‍රී ධූරයක් දැරූ කොලොන්නාවේ සුමංගල හාමුදුරුවන්ට එහෙම කරදර කරපු සිදුවීම. එතනදී කතානායකතුමාගෙ ආසනය පිටිපස්සෙත් මන්ත්‍රීවරු ගහගත්තා. ඒ වෙලාවෙ මං කළේ සෙංකෝලය සහ කතානායකතුමාව ආරක්ෂා කිරීම. ඒක තමයි මූලිකම දේ.”

තවත් විටකදී සමරසේකර මහතාට සිදුවන්නේ කතානායකවරයාගේ නියෝග පරිදි තාවකාලිකව ඇතැම් මන්ත්‍රීවරුන් උත්තරීතර සභාවෙන් ඉවත් කිරීමටයි. එවිට අදාළ මන්ත්‍රීවරයා සමඟ හොඳින් කතාබහ කර එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරයි. පොලීසිය සභාව තුළට ගෙන්වා නොගෙන පාර්ලිමේන්තුවේ ගෞරවය රැකගෙන එවන් ගැටලු විසඳීමට ඔහු උත්සුක වෙයි. 

“මීට අවුරුදු තුන හතරකට කලින් සිදුවීමක් වුණා. එක මන්ත්‍රීවරයෙක් ඉවත් කරන්න බැරිවුණා. අන්තිමට පොලීසිය කැඳවන්නත් අපට සිදුවුණා. මං නම් එදා ඒ සිදුවීම දැක්කේ පොඩි මාධ්‍ය සංදර්ශනක් විදිහට.”

මෙවන් විවිධ සිදුවීම් රැසකට තම සේවාකාලය තුළදී ඔහු මුහුණදී ඇත. පාර්ලිමේන්තුවේ ඇතිවන ගැටුම් හා කලබලකාරී අවස්ථාවල සෙංකෝලය පැහැර ගන්නට සැරසෙන මන්ත්‍රීවරුන් පිරිසක් නූතනයේ බිහිව සිටිති. එවන් විටකදී සෙංකෝලය රැක ගැනීම සිය පළමු රාජකාරිය වන වේත්‍රධාරී තැන පත්වන්නේ විශාල අපහසුතාවයකටය. ඒ පිළිබඳ මතකයන්ද සමරසේකර මහතා අප සමඟ බෙදාගනී. 

“දෙපැත්තේම ඉන්නවා සෙංකෝලයේ වටිනාකම දන්න මන්ත්‍රීවරු. නොදන්න අයත් ඉන්නවා. මම කියන්නේ නෑ ඔක්කොම කියලා. සෙංකෝලයේ වටිනාකම දන්න බොහෝදෙනා ඒ වගේ වෙලාවට සෙංකෝලය ආරක්ෂා කරගන්න සහය දෙනවා. ඒ අතරේ පිරිසක් උදුරගන්නත් එනවා.”

කෙසේ හෝ සමරසේකර මහතා සිය සේවා කාලය තුළ සෙංකෝලය ආරක්ෂා කර ගැනීමට සමත් විය. මෙරට මහජන නියෝජිතයන් පසුගිය කාලයේ හැසිරුණු ආකාරය අනුව එය ලෙහෙසි පහසු කාරණාවක් නොවන බව ඔහු නොකීවත් රටම දනී. රටේ මහජන නියෝජිතයන්ගේ පාර්ලිමේන්තු හැසිරීම පිළිබඳව අප ඔහුගෙන් විමසූ විට සිනහවකින් යුතුව ඒ පිළිබඳව තමන් කතාකිරීම සුදුසු නැති බව ඔහු සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීන් සියලුදෙනාම පාහේ සමරසේකර මහතාට හිතවත්ය. ඔහු තුළ වන නිහතමානී ගති පැවතුම් නිසාවෙන් මේ හිතවත්කම ගොඩනැගී තිබේ. 

“මම හැම වෙලාවෙම කිසිම පක්ෂයක් ගත්තේ නෑ. අපක්ෂපාතීව කටයුතු කළා. ඒකෙන් මට හරි පහසු වුණා මගේ රාජකාරි වැඩකටයුතු කරන්න. තාත්තා පාර්ලිමේන්තුව නියෝජනය කළාට මං එහෙම පක්ෂපාතී වුණේ නෑ. ආණ්ඩුව මාරු වුණත් මගේ රාජකාරිවලට කිසි බාධාවක් නොවුණේ ඒ නිසා.”

පාර්ලිමේන්තුව තුළ මිත්‍රත්වයෙන් යුතුව ඔහු ඇසුරු කරන බොහෝ දෙනා වෙති. ඊට පක්ෂ විපක්ෂ භේදයක් නැත. ඔහු ඒ බොහෝ දෙනා අතරින් නම් කිහිපයක් අපට සිහිපත් කරයි.

“වජිරු ඇමැතිතුමා, ගයන්ත ඇමැතිතුමා, කබීර් හෂීම් ඇමැතිතුමා, තලතා ඇමැතිතුමිය වගේ අණ්ඩු පක්ෂයේ අය ඉන්නවා. විපක්ෂ පාර්ශවයෙන් ඩලස් මන්ත්‍රීතුමා, දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා, වාසුදේව මන්ත්‍රීතුමා එහෙම මාත් එක්ක බොහොම හොඳයි. අපේ ඥාතිකමක් එහෙමත් තියනවා වාසුදේව මන්ත්‍රීතුමත් එක්ක. අනික් කට්ටියත් එක්කත් බොහොම හොඳයි.”

පසුපෙළ ඉදිරිපෙළ පක්ෂ විපක්ෂ කියා ඔහුට බේදයක් නැත. සෑමදෙනා සමඟ මිතුරු ලීලාවෙන් ඔහු කටයුතු කර තිබේ. පසුගිය 24 වැනිදා පාර්ලිමේන්තු විවාද අවසානයේදී ඒ හැමදෙනා අනිල් පරාක්‍රම සමරසේකර මහතාගේ සේවය අගය කරමින් විශ්‍රාම දිවියට ආශිංශන පිරිනමමින් කතා කළේ එබැවිණි. ඒ පිළිබඳව යමක් සමරසේකර මහතා සඳහන් කරයි.

“මගේ වේත්‍රධාරී රාමුව ඇතුළේ කරන්න පුළුවන් උපරිම මට්ටමෙන් මම ඒ අයට වැඩ කරලා දීලා තියනවා. සමහර වෙලාවට මට අත දිග හරින්න පුළුවන් උපරිම මට්ටමෙන් වැඩකරලා තියනවා. ඒ නිසා තමයි මෙතෙක් හිටපු වේත්‍රධාරීන් අතරින් මගේ සේවය මැති ඇමැතිවරුන් ගොඩක් අගය කළේ. ඒ අයගේ කතාවලත් ඒක සඳහන් වුණා. මං කරන්න පුළුවන් උපරිම මට්ටමෙන් සේවය කළා පක්ෂ භේදකින් තොරව. කතානායකතුමත් ඒකට මට ලොකු ශක්තියක් වුණා.”

තම සේවා කාලයේදී සමරසේකර මහතා පාර්ලිමේන්තු කටයුතුවල විශේෂ වෙනස්කම් කිහිපයක් සිදුකර තිබේ. අප ඒ පිළිබඳව සිහිපත් කරමු. 

“මුල්කාලීනව පොලීසියේ නිල ඇඳුමට සමාන ඇඳුමක් තමයි ඇඳලා තිබුණේ. පස්සේ යුධ හමුවේ එක්තරා අංශයක නිල ඇඳුමට සමාන ඇඳුමක් ඇඳලා තියනවා. මම ඇවිල්ලා ඒක සම්පූර්ණයෙන්ම වෙනස් කළා. දැන් අපි අඳින්නේ වෙනම ඩිසයින් කරපු ඇඳුමක්. මොකද පාර්ලිමේන්තුව උත්තරීතරයි කිව්වාම වෙන හමුදාවකට සමාන ඇඳුමක් අඳින එක නොසුදුසුයි කියලා මට හිතුණා. දැන් අපි පාර්ලිමේන්තුවට සුදුසු විදිහට ඇඳුම වෙනස් කරලා අඳිනවා.”

නිල ඇඳුම සම්බන්ධ මෙලෙස වෙනස්කම් සිදුකර ඇති ඒ මහතා, යුද්ධය නිමාවීමෙන් පසු මහජනයාට පාර්ලිමේන්තුවට නිදහසේ පිවිසීමේ හා දැකබලා ගැනීමේ අවස්ථාව විවර කර දීමටද පෙරමුණ ගත්තේය. එමෙන්ම ත්‍රස්ත උවදුර පැවති කාලයේ දැඩි අභියෝග මැද විධි විධාන යොදවමින් උත්තරීතරම ආයතනය රැක ගැනීමට මෙරට ආරක්ෂක අංශ සමඟ එක් වී සමරසේකර මහතා සිදුකළ මෙහෙය වෙසෙසින්ම අගය කළයුත්තකි. 

අපි ඒ මහතාගෙන් පවුලේ තතු පිළිබඳව ද විමසුවෙමු. ඔහු දෙදරු පියකි. බිරිඳද සේවය කරන්නේ පාර්ලිමේන්තුවේය. තමන්ට වැඩිමල් සොහොයුරකු හා සහෝදරියන් දෙදෙනකු සිටින බව පැවසූ ඒ මහතා සිය 93 වැනි වියෙහි පසුවන තම ආදරණීය මවද තමන් සමඟ සිටින බව අපට පැවසුවේය.

විශ්‍රාම ගැනීමෙන් පසුව නව තනතුරක් ලැබීමට යන බවට අපට වූ ආරංචියක් පිළිබඳව ද අපි ඒ මහතාගෙන් විමසුවෙමු. 

“ගරු කතානායකතුමාට අවශ්‍යතාවක් තියෙනවා මාව උපදේශක කෙනෙක් විදිහට නැවතත් පාර්ලිමේන්තුවට සම්බන්ධ කරගන්න. ඒ අනුව පාර්ලිමේන්තු මහ ලේකම්තුමාගේ කාර්යය මණ්ඩලයට ඇතුළත් වෙන්න වෙයි. විශ්‍රාම සුවය උපරිමගෙන් භූක්ති විඳින්න තව වසරක් දෙකක් ගතවෙයි.”

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව හසල දැනුමක් ඇති මේ අපූරු මිනිසා මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීමට කළ කාර්යභාරය අනුපමේයය. එහෙත් එහි බොහෝ නිහඬ බොහෝ දෙනා නොදත් සිදුවීම්වලින් පිරී ඇත. මෙරට පාර්ලිමේන්තුවේ රාජකීය නිලධාරීයා වූ වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතාට අපිද අවසානයේ විශ්‍රාම දිවියට සුබපැතුම් පිරිනමමින් මේ සටහන නිමාකරමු. 

►චමිඳු නිසල් ද සිල්වා