
ව්‍යාජ මුදල් නෝට්ටු සහ මෙරට හා විදේශීය රාජ්‍ය ආයතන මගින් නිකුත් කරන සහතික පත්‍ර ව්‍යාජ ලෙස මුද්‍රණය කළ ස්ථානයක් මොරටුව ලුනාව ප්‍රදේශයේදී පසුගියදා වටලනු ලැබීය. රුපියල් පන්දහසේ නෝට්ටු තොගයක් හා ව්‍යාජ අධ්‍යාපන සහතික පත්‍ර තොගයක්ද සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙක් ඇතුළු පස්දෙනෙක් මෙහිදී අත්අඩංගුවට ගනු ලැබූහ. මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් ඉකුත් 25 වැනිදා සිදුකළ මෙහෙයුම පිළිබඳ තොරතුරු මෙසේ වාර්තා වේ.
මොරටුව අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු හෙරොයින් මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූවකු වශයෙන් ප්‍රසිද්ධය. රුපියල් පන්දහසේ නෝට්ටුවක් රැගත් ඔහු හෙරොයින් මිලදී ගැනීම සඳහා පුරුදු ස්ථානයට ගොස් සිටියේය. මුදල් නෝට්ටුව පිළිබඳ යම් සැකයක් නිසා ඔහුගේ ගනුදෙනුව වැළකී ගියේය. මොහු යළිත් වරක් වෙනත් හෙරොයින් අලෙවි කරන ස්ථානයකට ගොස් තිබුණේ පෙර කී නෝට්ටුව ලබා දී හෙරොයින් ලබාගැනීමටය. එතැනදී සිදුවූයේද පෙර පරිදි නෝට්ටුව ව්‍යාජ බව කියමින් ඔහු හරවා එවීමය.
මේ ආකාරයට ස්ථාන හතරකින් පමණ හෙරොයින් මිලට ගැනීමට උත්සාහ කළද ඔහු අත වූයේ හොර මුදල් නෝට්ටුවක් බවට සැකයෙන් හෙරොයින් ලබාදීම ප්‍රතික්ෂේප කර තිබුණි. මේ අතර මොහුගේ අතේ හොර නෝට්ටුවක් ඇති බවට කුඩු ජාවාරම සිදුකරන පිරිසේ කිහිපදෙනකු මෙන්ම ඔවුන්ගේ හිතවතුන් පිරිසක් දැන සිටියහ. ඒ අය විශ්වාස කරමින් සිටියේ කොයි මොහොතක හෝ සැකකාර පුද්ගලයා හොර නෝට්ටුව මුදල් කරනු ඇති බවටය. මේ අතර ක්‍රියාත්මක වූ අයෙක් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට තොරතුරු දන්වා තිබුණි.
ඔත්තුව අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන් පිරිස අදාළ ප්‍රදේශයේ සිදුකළ රහසිගත සෝදිසි මෙහෙයුමක් අතරතුරදී අඟුලාන පල්ලිය ප්‍රදේශයේදී පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට හැකිවිය. සැකකරු හෙරොයින් ජාවාරම්කරුවන්ගේ ව්‍යාපාරවල මුදල් එකතු කිරීම වෘත්තීය වශයෙන් කළ අයෙකි. ඔහු සතුව තිබූ රුපියල් 5000 නෝට්ටු ප්‍රමාණය අටකි. මොහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු කියා තිබුණේ තෙලවල ප්‍රදේශයේ පදිංචි සිය මස්සිනාගේ නිවෙසේ කුලියට නැවතී සිටින තරුණයකු විසින් එම මුදල් නෝට්ටු ලබාදුන් බවය. වැඩිදුරටත් කියා තිබුණේ එම තරුණයා ළඟ තවත් එවැනි නෝට්ටු තිබෙන බවය.
සැකකරුගේ තොරතුරු අනුව තෙලවල නිවසක කුලී කාමරය සොයා ගිය නිලධාරීහු එහි සිටි තරුණයාගෙන් ප්‍රශ්න කළහ. ඒ අතර ඔහු සතුව තිබූ තවත් රුපියල් 5000 නෝට්ටු 8ක්ද සොයාගැනීමට හැකිවිය. පෙර කී සැකකාර පුද්ගලයා හොර නෝට්ටු අත ඇතිව තිබීම නිසා කිහිපවිටක්ම කුඩු ජාවාරම්කරුවන්ගේ සමච්චලයට ලක්වීම නිසා ඔහු එකතු කරන මුදල්වලට එම නෝට්ටු හුවමාරු කර තිබුණේ නැත. එහෙත් තෙලවල ප්‍රදේශයේ වෙළෙඳසලකට ගොස් භාණ්ඩ කිහිපයක් මිලට ගෙන ව්‍යාජ නෝට්ටුව මාරුකරන්නටත් වෙනත් ගනුදෙනුවකදී ප්‍රදේශයේ කාන්තාවකට නෝට්ටුවක් ලබාදෙන්නටත් තරම් මේ තරුණයා සූක්ෂම වී තිබුණි.
තෙලවල බෝඩිං කාමරයක සිටි තරුණයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී හෙළිවී තිබුණේ ඔහු සිය මිතුරකු සමඟ එක්වී හොර නෝට්ටු මුද්‍රණය කළ බවය. ඊට අමතරව දෙස් විදෙස් රාජ්‍ය ආයතන මගින් නිකුත් කරන සහතික ව්‍යාජ ලෙස මුද්‍රණය කළ බවද ඔහු හෙළිකර ඇත. ඔහු වැඩිදුරටත් පාපොච්චාරණය කර තිබුණේ සිය මිතුරා සමඟ හොර නෝට්ටු මුද්‍රණය කර කුඩු පානයට ඇබ්බැහි වූ අයකු ලවා එම නෝට්ටු මාරුකරන්නට කටයුතු කළ බවය. එම තරුණයාගේ බෝඩිං කාමරයේ තිබී ලැප්ටොප් පරිගණකයක් සමඟ මුද්‍රණ යන්ත්‍රයක්ද සොයාගෙන තිබුණි. ඒ අතර ව්‍යාජ ලෙස මුද්‍රණය කළ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ අධ්‍යාපන සහතික, විශ්වවිද්‍යාල කිහිපයක උපාධි සහතික, ආදායම් බදු ලේඛන සහ ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ සහතික ඇතුළු ලේඛන රැසක්ද සොයාගෙන තිබිණි.
මොහුගේ මිතුරා බව කී පුද්ගලයා ලුනාව ප්‍රදේශයේ අයෙකි. ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ව්‍යාජ ලෙස මුද්‍රණය කළ රුපියල් 5000 නෝට්ටු 6ක් ඔහු සන්තකයේ තිබී සොයාගෙන ඇත. ඒ අතර ස්ක්‍රින් ප්‍රින්ටින් සඳහා භාවිත කරන උපකරණ, රන් පැහැති කොළ කිහිපයක්ද හමුවී ඇත. මෙම සැකකරු එගොඩඋයන ප්‍රදේශයේ පදිංචි අයකු වන අතර එම නිවෙසේ තිබියදී බැංකු කළමනාකරුවන්, විදුහල්පතිවරුන්, නීතිඥවරුන් හා රාජ්‍ය ආයතන රැසක හොර නිලමුද්‍රා තොගයක් සොයාගෙන තිබුණි. ඒවා සියල්ල මරදාන ප්‍රදේශයේ අජිත් නැමැත්තකු ලවා කරවාගෙන තිබූ බවට හෙළිවිය. තමන් දෙදෙනා එක්ව අවස්ථා කිහිපයකදී මේ නෝට්ටු මුද්‍රණය කර ඇති බවත් ඒවා වැරදීම නිසා ගිනි තැබූ බවත් ඔවුන් හෙළිකර තිබේ. මෙම සැකකරුගෙන් එක් අයෙක් කලක් විදේශගතව සිට පැමිණි අයෙකි. අනෙක් පුද්ගලයා මහරගම විදේශ රැකියා ආයතනයක සේවය කළ අයෙකි. ගණිකා සේවයේ නිරතවූ කාන්තාවකට මෙම හොර නෝට්ටුවක් ලබාදී තිබෙන අතර ඇය විසින් ඒ පිළිබඳව පොලීසියේ පැමිණිලි කර තිබෙන බවද වාර්තා වේ.
ජාවාරමේ ප්‍රධාන සැකකරු බෝඩිමේ ජීවත්වන පුද්ගලයාය. ඔහු පළමු විවාහයෙන් වෙන්වී වෙනත් කාන්තාවක් සමඟ එහි වාසය කරමින් සිට ඇත. කුඩු ජාවාරමේ නිරත වූවන් ලවා සිය හොර නෝට්ටු මුදාහැරීම ඔහු කරගෙන ගොස් තිබේ. මේ ආකාරයට නෝට්ටු කිහිපයක් දැනටමත් සංසරණය වෙමින් තිබෙන බවට වාර්තා වේ. එම ව්‍යාජ නෝට්ටුවේ වම්පස කුරුල්ලෙකුගේ දිය සටහන පමණක් මුද්‍රණය වී නැති බව පොලීසිය පවසන අතර ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බවද අවධාරණය කරයි. මේ වනවිට සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 5 දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර අවසන්ය.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත වික්‍රමසිංහ, පොලිස් අධිකාරී ප්‍රසාද් රණසිංහ මහත්වරුන්ගේ උපදෙස් මත මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ජයන්ත පෙරේරාගේ අධීක්ෂණයෙන් උප පොලිස් පරීක්ෂක කුමාර නලවංශ, කොස්තාපල්වරුන් වන 37238 ජයසිංහ, 44753 ෆයිසර්, 72979 චමින්ද, 60161 වසන්ත, 86225 වීරසිංහ, 88901 මධුශංක, 89138 හර්ෂණ යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
♦ විල්තෙර