2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

ප්‍රශ්න හතර

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 90

1. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා අත්අඩංගුවට ගන්න බව ඩී.සී.අයි.ඩීය උසාවියට දැනුම් දී තිබෙනවා. මෙවැනි අත්අඩංගුවට ගැනීම් ඒකාබද්ධ විපක්ෂය දකින්නේ රණවිරුවන් අත්අඩංගුවට ගැනීමක් හැටියට. මේක නීතිය ක්‍රියාත්මක කිරීමක්ද? එහෙම නැත්නම් රණවිරුවන් අත්අඩංගුවට ගැනීමක්ද?

2. ලබන සැප්තැම්බර් 05 වැනිදාට කොළඹට ජන ගඟක් ගේනවා කියලා ඒකාබද්ධ විපක්ෂය කියනවා. ඇත්තටම මේක සැබෑ ජනමතය පෙන්වීමක්ද නැත්නම් විපක්ෂය තමන්ගේ ශක්තිය පෙන්වීමට යාමක්ද?

3. ආණ්ඩුව “ගම්පෙරළිය” - “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” වැනි වැඩසටහන්වලට විශාල ප්‍රසිද්ධියක් දෙනවා. එය විශාල සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස හඳුන්වනවා. ඇත්තටම එය සංවර්ධන වැඩ පිළිවළක්ද? එහෙම නැත්නම් දේශපාලන උප්පරවැට්ටියක්ද?

4. ශ්‍රී ලංකා - සිංගප්පූරු ගිවිසුම සම්බන්ධව තවමත් දැඩි විවේචන එල්ල වෙනවා විවිධ පාර්ශවවලින්. තත්ත්වය එහෙම වුණත් ආණ්ඩුව ඒ ගිවිසුමට ආදාළව කටයුතු ආරම්භ කර අවසන්. ඇත්තටම මේකට විරුද්ධව කරන වැඩවලින් වැඩක් වෙයිද?

බත් පැකට් - බස් දීලා මිනිස්සු ගෙනාවට ආණ්ඩුව වට්ටන්න බෑ
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ

1. ඇත්තවශයෙන්ම මේ රණවිරුවන් අත්අඩංගුවට ගන්න මේ ආණ්ඩුවේ ඉන්න දේශපාලකයන්ට උවමනාවක් නැහැ. මේ රටේ යුද්ධය වෙනුවෙන් කැපවීම් කරපු යුධ ජයග්‍රහණය අත්පත් කර දෙන්න කැපවුණු රණවිරුවන් වෙනුවෙන් කළ හැකි උපරිම දෙයක් කරන්න රජයක් විදිහටත් අපි සූදානම්. හැබැයි යුද්ධයට දායකත්වය දුන්න පමණින් ඒ පුද්ගලයන් මේ රටේ නීතියට යම් වරදක් කරලා තියෙනවනම් ඒ නීතියට අනුව කටයුතු කිරීම රණවිරුවන් දඩයම් කිරීමක් නෙවෙයි.

2. ඇත්තටම අපි ආණ්ඩුවක් ලෙස ඒවට ප්‍රතිචාර දක්වන්න ඕන නැහැනේ. මේ රටේ අද ඕනම කෙනෙක්ට නිදහස තියෙනවා ඕනෑම දේශපාලන මතයක් ඉදිරිපත් කරන්න. පෙළපාලි යන්න. මහින්ද මහත්තයා එක්ක ඒ කාලෙත් පිරිසක් හිටියනේ ඔය කෑම දීලා, බස් දීලා මිනිස්සු කොළඹට ගෙන්න ගන්න පුළුවන්. හෙට අනිද්දා කරන එක විතරක් නෙවෙයි ඊට කලින් පවා කළානේ. එහෙම කළා කියලා මේ ආණ්ඩුව වෙනස් වුණේ නැහැ. ඒ නිසා අපි දන්නවා පසුගිය කාලේ හොරකම් කරපු සල්ලි, බත් පැකට්වලට ආණ්ඩුවට දෙන්න එපැයි ඒ නිසා ඒවා වියදම් කරලා මිනිස්සු එක දවසක් හරි සන්තෝස කරන එක හොඳයි කියලා අපි හිතනවා.

3. ඇත්තටම අද රටට ඕන වෙලා තියෙන්නේ මොකද්ද? ඇයි අද මේ ඩොලරය ඉහළ ගිහින් රුපියල අවප්‍රමාණය වෙන්නේ. එහෙම වෙන්නේ මේ අවුරුදු 3 ඇතුළත සිදුවුණ ක්‍රියාකාරකම් නිසා නෙවෙයි. රටේ අපනයන ආදායම අඩු වීම සහ ආනයන වියදම වැඩි වීම නිසා. ඉතිං රටට අවශ්‍ය වන්නේ මොකද්ද? රටේ අපනයනය වැඩි කරන්න ඕන. විදේශ ආයෝජකයන් ගෙන්න ඕන. කුඩා ව්‍යවසායකයන් ඇති කරන්න වගේ දේවල්. දැන් මේ රජය කරන්නේ කුඩා ව්‍යවසායකයන් නිර්මාණය කරන එක. එහෙම කරාම තමයි රට දියුණු වෙන්නේ. 2025 විතර වෙනකොට මේ රටේ ආර්ථිකය කොහොමද තියෙන්නෙ කියලා ආණ්ඩුවේ දැක්මක් තියනවා. ඒක තමයි අපි මේ කරගෙන යන්නේ.

4. දැන් සිංගප්පූරු ගිවිසුම අත්සන් කළේ ඇත්තවශයෙන්ම අපේ රට ලෝකයට එකතු කරන්න ගන්න උත්සාහයේ පියවරක් විදිහට. මේ සම්බන්ධයෙන් විවිධ පැතිවලින් විවිධ අදහස් මතු වුණ නිසා රාජ්‍ය නායකයා ජනාධිපතිවරයා මේ වෙනුවෙන් විද්වත් කමිටුවක් පත් කරලා තියෙනවා. ඉතිං එහෙම කමිටුවක් පත් කරපු එකත් හොඳයි. ඒක ගැන දැන් විමර්ශනයක් කෙරෙනවා. ඉතිං එහි ඔය කියනවා වගේ බරපතළ තත්ත්වයක් තියනවානම් ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා හැටියට යම් පියවරක් ගනියි. නමුත් අපි ආයෝජකයන් ගෙන්වන්නේ නැතුව අලුතෙන් ව්‍යවසායකයන් බිහි කරන්නේ නැතුව මේ තත්ත්වයෙන් ගොඩ එන්න අමාරුයි.

පුපුරන්න හදන ජනතා පීඩනය තමයි කොළඹට එන්නේ
ඒකාබද්ධ විපක්ෂය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා 

1. මෙහෙමයි. අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන හැටි අපි දකිනවා. උදාහරණයක් විදිහට මහ බැංකුව කොල්ල කාපු මිනිහා කිසි ප්‍රශ්නයක් නැතුව නිරුපද්‍රිතව රටෙන් එළියට යනවා. මේක පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරපු වෙලාවක අග්‍රාමාත්‍යවරයා කියනවා ඕනෑම වෙලාවක ගෙනත් දෙන්නම් කියලා. නමුත් ගෙන්න ගන්න බැරිවුණා. ඇත්තටම මේ කරන්නේ බටහිර ගැති කුමන්ත්‍රණයක්. ඒ අය සතුටු කරන්නනම් මේ විදිහේ දේවල් කරන්න ඕන. ඒක තමයි දැන් මේ අය කරන්නේ මේ විදිහට.

2. බලපුළුවන්කාර පෙන්වීමක් නෙවෙයි. මේක ජනතාවගේ පීඩනය එළියට දාන්න ජනතාවට ලැබුණ අවස්ථාවක්. දැන් බලන්න ගොවියන්, ධීවරයන්, කිරි ගොවියන්, රාජ්‍ය සේවයකයන් තනි තනිවම උද්ඝෝෂණ කරනවා. ජාතික සම්පත්, රටේ සම්පත් විකුණනවාට ජනතාවගේ කලකිරීමක් තියනවා. ඉතිං මේ ටික එක තැනකට ගොනු කිරීමක් තමයි අපි මේ කරලා තියෙන්නේ. වෙන මොනවත් නෙවෙයි. හැබැයි ලෝකේ ආණ්ඩු කරන්න බැරි වුණාම මිනිස්සු පාරට බැහැලා ආණ්ඩුවට ගෙදර යන්න කියලා කියනවා. ඉතිං ඒවගේ තත්ත්වයක් උදාවෙන්නත් පුළුවන්.

3. මෙයාලා ගම්පෙරළිය කියලා ඔය වගේ එකක් කරන්න පටන්ගත්තේ මෙයාලා ළඟ මොනවත් සංවර්ධන වැඩපිළිවෙළක් තිබුණේ නැහැනේ. ඒ නිසා ඒක හරියට අටුව කඩලා පුටුව හැදුවා වගේ වැඩක්. මොකද වරාය විකුණලා තමයි මොවුන් මේ සංවර්ධන වැඩ කරන්නේ. නමුත් ඔයිට වඩා විශාල වැඩසටහන් ගොඩක් අපි කළා. ඒ වැඩසටහන් එක්ක ගත්තම මේ ගම්පෙරළිය කියන්නේ පොඩි එකක්.

4. ඔය ගිවිසුම මම දකින්නේ කෙල්ලයි කොල්ලයි පැනලා ගියාට පස්සේ කසාද බැන්දුවා වගේ වැඩක්. ඒ වගේම ඔය ගිවිසුම අත්සන් කළේ කැබිනට් පත්‍රිකාවක් දාන්නේ නැතුව. දැනුවත් කරන්නේ නැතුව. මේවා නීත්‍යානුකූල නැහැ. මේවා හොර ගිවිසුම්. අපේ ආණ්ඩුවක් ආපු කාලෙක අපි වෙනස් කරනවා. මේ ගිවිසුම්වලට සම්බන්ධ අයට නඩු පවරනවා අපේ රජයක් යටතේ.

ඒකාබද්දය කොළඹට ගේන්නෙ බත්පැකට් බලකාය
ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක

1. ඇත්තටම නීතිය ක්‍රියාත්මක කිරීම් හැම එකකදීම අපිට රණවිරුවන් කියලා හරි දේශපාලකයන් කියලා හරි නැතිනම් ආගමික නායකයෝ කියලා හරි කියන්න ගියොත් රටක නීතියක් ක්‍රියාත්මක කරන්න බැහැ. පොදුවේ ගත්තොත් අධිකරණය අසාධාරණ ලෙස කටයුතු කරපු අවස්ථා නැතුව නෙවෙයි. නමුත් පැහැදිලිව ගත්තොත් ලංකාවේ අධිකරණය දේශපාලන වශයෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගන්නවා. දඩයම් කරනවා කියලා සමාජයීය වශයෙන් බරපතළ චෝදනාවක් නැහැ. ඒ නිසා අධිකරණයට දේශපාලන වශයෙන් චෝදනාවක් නැති කාලවකවානුවකදී වැරදි කරන ඕනම අයෙක් අත්අඩංගුවට ගත යුතුයි. මේ රටේ තියන ප්‍රශ්නය තමයි අධිකරණය සහ දූෂණ මර්දන ඒකකය ධනවත්, බලවත් පුද්ගලයන් අත්අඩංගුවට ගන්නේ නැති එක.

2. අපි දකින්නේ මෙහෙමයි මහින්ද රාජපක්ෂ මහතාට යම් ජන බලයක් තියනවා. අපි ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් ඔය කොළඹට ගෙන්නේ බත් පැකට් බලකායක්. එතන 25000ක් විතර ඉන්නවා. ඒ අය එතුමාගේ සියලු දේ වෙනුවෙන් පෙනී සිටිනවා. මෙහි ජනමතය නියෝජනය කිරීමක් නැහැ. අපි පැහැදිලිව කියන්න ඕන මේ ආණ්ඩුව කරන අපරාධ, මේ ආණ්ඩුව කරන රට ආර්ථික වශයෙන් පවාදෙන දේවල් නිසා රාජපක්ෂගේ බත් පැකට් බලකාය කරන දේවල් නිවැරදි වෙන්නේ නැහැ.

3. ඇත්තටම ගත්තොත් ආණ්ඩුව මම හිතන්නේ ඔය ගම්පෙරළිය කියන වැඩේට ප්‍රයෝගික වශයෙන් වෙන්කරන මුදල වගේ දෙගුණයක් ඒකේ මාධ්‍ය ප්‍රචාරණයට වෙන්කරලා තියනවා. හැම ආණ්ඩුවක්ම ගමේ තමන්ගේ හෙන්චයින්ට හම්බකරන් කන්න මුදල් ප්‍රමාණයක් වෙන් කරනවා. ඉතින් ඒ තත්ත්වය තුළ යම් පාරක් දෙකක් හැදෙන්නත් පුළුවන්. අපි දකින්නේ පසුගිය කාලයේ කරපු දෙයක් විදියටම තමයි මේක කරන්නේ.

4. ජනතාව අරගලයට කැඳවීම, ජනතාව අවදිකිරීම, ජනතාව පාලකයන්ට එරෙහිව පෙළගැස්සවීම කිසි වැරැද්දක් නෑ. ඒක හැමවිටම හොඳ ප්‍රයෝජනයක්. එවෙලට ප්‍රතිඵල නොදුන්නත් ඒක පසුවට ප්‍රතිඵල ලැබෙන දෙයක්. සිංගප්පූරු ගිවිසුම ගත්තොත් එය ලංකාවේ අත්සන් කරපු පළවෙනි පවාදීමේ ආර්ථික ගිවිසුම නෙවෙයි. ඊට කළින් ඉන්දියාව එක්ක චන්ද්‍රිකා මැතිනියගේ කාලයේ අත්සන් කළ ගිවිසුම මීට කළින් මේ අයම සිපා ගිවිසුම අත්සන් කරන්න ගියා. ඒක වැළකුණා උද්ඝෝෂණය නිසා. ඉතින් මේ සිංගප්පුරැ ගිවිසුම මේ පාලකයන් අත්සන් කරලා තියනවා. එක මේ අපේ රටේ ආර්ථික ස්වායිරීත්වය අහිමි කරගැනීමක්.

 

අධිකරණයේ වැඩට ඇඟිලි ගහන්න කාටවත් බෑ
ජාතික හෙළඋරැමයේ ජාතික සංවිධායක  නිශාන්ත ශ්‍රී වර්ණසිංහ

1. මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගන්න කියලා අධිකරණ නියෝගයක් කියනවා. මේකට හේතුව තමයි පිරිසක් අතුරුදන් කිරීම පිළිබඳ චෝදනා එල්ල වූ නේවි සම්පත් කියන පුද්ගලයට රැකවරණය දීමක්. ඉතින් ඒ නේවි සම්පත් සඟවා තැබීම පිළිබඳව මාණ්ඩලික ප්‍රධානීවරයාට චෝදනාවක් එල්ලවෙලා තියනවා. ඒ නිසා තමයි ඔහු අත්අඩංගුවට ගන්න කියලා නියෝග කරලා තියෙන්නේ. අධිකරණයට විරුද්ධවෙන්න අපි කාටවත් බැහැ. මේ සිදුවීම ගැන රටේ ආරක්ෂක අංශවලට යම්කිසි ආකාරයකට ඇතිකරන මානසික බලපෑම් පිළිබඳව විමසා බැලිය යුතුයි.

2. ඒකාබද්ධ විපක්ෂය ඔය වගේ කළිනුත් කොළඹට ජනරු, උද්ඝෝෂණ, විරෝධතා සංවිධානය කරලා තියනවා. ඇත්ත වශයෙන්ම විපක්ෂයක් විදියට ඒවා සිදුකරන්න ඕන. නමුත් මේවගෙන් ආණ්ඩු පෙරළන්න පුළුවන් කියලා අපි දන්නේ නැහැ. මැතිවරණයක් මගින් තමයි ආණ්ඩුවක් පෙරළන්න පුළුවන්. මේ රටේ දැන් තියන ප්‍රජාත්‍රන්තවාදී නිදහස අනුව මේ ඕනම දෙයක් කරන්න පුළුවන්.

3. ආණ්ඩුවක් ලෙස රට තුළ ක්‍රියාකරන වැඩසටහනකට අදාළව මෙසේ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීමේ වරදක් තියනවා කියලා අපි දකින්නේ නෑ. මොකද ඕනම ආණ්ඩුවක් තමන් කරන සංවර්ධන වැඩසටහන් සඳහා ප්‍රචාරය කියන එක පාවිච්චි කරනවා. ඒ මඟින් තමයි ජනතාව දැනුවත් කරන්නේ. ඒක තුළින් ආණ්ඩුව තමන්ගේ ප්‍රතිරූපය මේ ප්‍රවර්ධනය කරගන්න කටයුතු කරනවා. අනෙක් පැත්තෙන් ජනතාවට මේවගේ ප්‍රතිලාභ ලබාදෙන්නත් මේක උපයෝගි කරගෙන තියනවා. ඒක සංවර්ධන වැඩසටහනක් ජනතාවට ප්‍රතිලාභ ලබාදෙන.

4. මේ ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම්වලට හෝ වෙනත් ඕනම ගිවිසුමකට එළඹීමේදී සැලකිලිමත් වෙන්න ඕන. ඒ ගිවිසුම්වලින් රටේ දේශපාලන ස්වයිරීත්වයට, දේශීය කර්මාන්තවලට, රටේ නීතියට, මොන විදියේ බලපෑමක් ඇතිවෙනවාද කියලා බලන්න ඕන. බොහෝ දෙනාගේ විවේචනයක් එල්ලවෙලා තියනවා. මේ සිංගප්පූරු ගිවිසුම යම් අසමතුලිතතාවයක් තියනවා කියලා. ඒක නිසා තමයි ජනාධිපතිවරයා මේ පිළිබඳ සොයා බලන්න කොමිසමක් පත්කරලා තියෙන්නේ.

මේ ආණ්ඩුව කවදාවත් රණවිරැවන් පාවා දී නෑ
ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සින්නතම්බි යෝගේෂ්වරන්

1. මේ වර්තමාන රජය කවදාවත් රණවිරුවන්ව පාවලා දීලා නැහැ. අපි ඒක දන්නවා. ඇතැමුන් ආණ්ඩුවට චෝදනා කරනවා රණවිරුවන්ගෙන් පළිගන්නවා කියලා. නමුත් ඒක වැරදියි. හැබැයි නිල ඇඳුමට මුවාවෙන් නීතිය කඩන වැඩ කළා කියනවනම් ඒ කාට වුණත් දඬුවම් හිමිවිය යුතුයි කියන මතයේ තමයි අපි ඉන්නේ.

2. ඒකාබද්ධයේ අය කොහොමත් ඔය වගේ දේවල් කරනවනේ. නමුත් ඒ වගේ ලොකු සාර්ථකත්වයක් අපි දැක්කේ නැහැ. දැන් විපක්ෂ නායකකම ඉල්ල ඉල්ල හිටියා. දැන් ඒ ගැන කතාවක් නෑ. මොවුන් කරන්නේ මේ ජනතාව මුලාවේ දැමීමක්. කොහොමත් මොන දේ කළත් මේ ආණ්ඩුව දැන්ම පෙරළන්න බැහැ.

3. එහෙම දේශපාලනයේ උප්පරවැට්ටි තිබුණේ ගිය ආණ්ඩුව කාලයේ. මේ රජය බලයට පත් වුණාට පස්සේ තමයි මේ විදිහට හරි ජනතාවට සංවර්ධනය දකින්න පුළුවන් වුණේ. ගිය ආණ්ඩුව කාලයේ කළේ රට සංවර්ධනය කරනවා කියලා ණය ගන්න එක. ඒ නිසා තමයි තාමත් මේකෙන් මේ රටට ගොඩ එන්න බැරි.

4. ඒ ගිවිසුම හොඳයි. ඒකෙ ඇති වරදක් මම දකින්නේ නැහැ. ඊට වඩා දෙයක් කියන්න දන්නේ නැහැ.

 

වෙළෙඳ ගිවිසුම් රටකට ඉතාම වැදගත්
ශ්‍රී ලංකා මුස්ලිම් ක්‍රොංග්‍රස් මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීසෙයියඩ් අලී සහීර් මවුලානා

1. මේක රණවිරැවන් දඩයම් කිරීමක් ලෙස කවුරු හරි කෙනෙක් හඳුන්වනවා නම් ඒක වැරදියි. නමුත් කවුරු හෝ කෙනෙකු යම් වැරැද්දක් කරලා කියනවා නම් තමන්ගේ රාජකාරියට මුවාවෙලා ඒ අයට දඬුවම් පැමිණිය යුතුයි. එය තරාතිරමක් නොබලා මේ රජය කටයුතු කරයි. ජනතාව ඒ ගැන බිය වියු යුතු නැහැ. වැරදි කරලා නැත්නම් කවුරුත් බයවෙන්න ඕනත් නැහැ.

2. ඒ අය කාලෙන් කාලයට ඔය වගේ ප්‍රකාශ සිදුකරනවා. ඒවා ඒ තරම් අපි සැලකිය යුතු දේවල් නෙවෙයි. කොහොමත් ඔවුන්ට ඡන්ද පදනමක් තියනවා. නමුත් රටේ බලය ගන්න තරම් ඔවුනට බලයක් නැහැ. කොහොමත් තව වසර දෙකක් මේ ආණ්ඩුව පවතිනවා.

3. මේක සම්පූර්ණයෙන් සිදුකරන සංවර්ධන වැඩපිළිවළක්. මේක ලංකාවේ තියන සියලු දිස්ත්‍රිකවලට ගෙනයාමට බලාපොරොත්තුවෙන් සිටින මේ රජය සමහර උදවිය මේ වැඩසටහනට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. විපක්ෂයේ නමුත් මේ රට දැන් ණය උගුලෙන් බේරගෙන මේ විදියට සංවර්ධන කටයුතු කෙරෙන එක ගැන ඇත්තටම රටක ජනතාවක් ලෙසට සතුටු විය යුතුයි.

4. මෙම ගිවිසුමෙන් රටට අහිතකර කිසිවක් වෙන්නේ නැහැ. ජාත්‍යන්තරය එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න මේ ගිවිසුම ඉතාම වැදගත්. නිතරම විපක්ෂය කියන්නේ ජාතික සම්පත් පිටරටට විකුණනවා කියලා. නමුත් මෙම ගිවිසුම එහෙම එකක් නෙවෙයි ජාත්‍යන්තරය එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්න කියන අවස්ථාවක්.