
පාතාලය වූ කලි අලුයට ගිනිපුපුරු හා සමානය. එළියට නොපෙනුණත් කොයිවෙලේ හෝ නැවත දුම්දමා ඇවිලෙන්නට පටන්ගනු ඇත. ලෙයට ලෙයක් ගැනීම පාතාලයේ න්‍යාය නිසා අද රජ වූවෝ හෙට බලු වෙති. මේ නිසා පාතාලයට සම්බන්ධ වූවන්ට ගෞරවනීය ජීවිතයකුත් ගෞරවපූර්ව මරණයකුත් උරුම වන්නේ නැත.
මේ කියන්නට යන්නේ තවත් පාතාලයේ සිද්ධි කිහිපයක් ගැනය. පසුගිය දවසක මහර ප්‍රදේශයේ පදිංචි මෙන්ඩිස් නැමති අයකු වෙඩි තබා ඝාතනය කළේය. මෙම ඝාතනයට ඔහුගෙන් වෙන්ව සිටි විවාහක බිරිඳ ඇතුළු පුද්ගලයන් කිහිපදෙනෙකු අත්අඩංගුව ගත්තේ මෙම ඝාතනයට ඔවුන් සම්බන්ධ බවට ලැබුණු සාක්ෂි නිසාය. එම ඝාතනය සිදුවූයේ පසුගිය වසරේ දෙසැම්බර් 11 වැනිදාය.
මෙම පිරිස අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත වූ අතර පසුගිය මාසයේ ඔවුන් ඇප ලබා පැමිණියෝය. එසේ ඇප ලබා පැමිණි කාන්තාව පසුගිය 08 වැනිදා අධිකරණයේ විභාග වන නඩුවට ඉදිරිපත් වී නැවත නිවස බලා සිය යතුරැපැදියෙන් යමින් සිටියදී නාඳුනන තුවක්කුකරැවකුගේ වෙඩිපහරින් ඝාතනය විය. ඒ කඩවත ඇල්පිටිය ප්‍රදේශයේදීය.
එම ඝාතනයත් සමඟ පරීක්ෂණ පොලීසිය විසින් ආරම්භ කළ අතර එහිදී අනාවරණය වුණේ මෙම ඝාතනය පිටුපස මීට පෙර ඝාතනය වූ මෙන්ඩිස්ගේ වැඩිමහල් සහෝදරිය සිටිනා බවය. එහෙත් එයට සාක්ෂි නොමැති වූ අතර තව තවත් පරීක්ෂණ සිදුකිරීමේදී මෙම වෙඩි තැබීම සඳහා පැමිණි සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවිය. ඔහු අවුරැදු 23ක තරුණයකි.
එම පුද්ගලයාගෙන් ප්‍රශ්න කරන විට මෙම ඝාතනය සිදුකළේ කොන්ත්‍රාත්තුවක් මත බව කියවිණි. එසේම එම කොන්ත්‍රාත්තුව ලබාදුන්නේ මෙරට පාතාලයේ තවත් අලුගෝසුවකු වන මාකිලංගමුවේ සංජීව බව කියවිණි. ඔහු සහ ඔහුගේ මිතුරකු වන මහර බන්ධනාගාරයේ සිටින ගොත අසංක යන දෙදෙනාට ලද කොන්ත්‍රාත්තුවකට අනුව මෙය සිදුකර ඇති බව අනාවරණය විය. මේ සඳහා වූ කොන්ත්‍රාත්තුව ලක්ෂ 30ක් බවද අනාවරණය විය. එය සංජීවට ලබාදී තිබිණි. එහෙත් කොන්ත්‍රාත්තුව ලක්ෂ 30ක් වුණත් වෙඩික්කරුට ලබාදී ඇත්තේ රුපියල් 50000ක් පමණක් බවද තහවුරු විය. මෙම වෙඩික්කරු මීට පෙර කිසිඳු අපරාධයකට පොලීසියට කොටුවී නොමැති අයකු වූ අතර එහෙත් ඔහු සංජීවගේ හෙරොයින් ව්‍යාපාරයේ මුදල් එක්රැස්කරන්නා බව හෙළිවී ඇත.
කෙසේ වෙතත් අවසානයේ මේ ඝාතනයට මෙන්ඩිස්ගේ සහෝදරියත් 23 හැවිරිදි තරුණයාත් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
මේ අතර සංජීව සහ ගම්පහ ඔස්මන් අතර පවතින ආරෝවේ තවත් දිගුවක් ලෙස සංජීව විසින් ඔස්මන්ගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ මෙහෙයුමක් ද සූදානම් කර තිබී ඇත. සංජීව කිහිප වතාවක් ඔස්මන් ඝාතනය සඳහා උත්සහ ගත්තත් අවසානයේ එය සාර්ථක වූයේ නැත. පසුව ඔස්මන්ගේ බිරිඳ අධිකරණයට පැමිණෙන අවස්ථාවේ ඝාතනය කිරීම සඳහා පිඹුරැපත් සැකසුවේය. ඒ පිළිබඳව ලද තොරතුරු නිසා අධිකරණයට පවා ඒ පිළිබඳව දැනුම් දෙනු ලැබීය.
සංජීව සහ කොස්ගම තාරක විසින් ගත් තවත් කොන්ත්‍රාත්තුවක් ද පසුගියදා හෙළිදරව් විය. ඒ මෝටර් රථ ධාවක ඩිලන්ත මාලගමුව ඝාතනය කිරීමේ සිද්ධියය. කැලණිය ප්‍රදේශයේ දේශපාලනඥයකුගේ කොන්ත්‍රාත්තුවකට අනුව එම ඝාතනය කිරීමට පිඹුරැපත් සැකසුවේය. අවසානයේ එයද හෙළිවිය. ඒ තාරක සහ සංජීවගේ හොඳම ගෝලයා වූ චාමර එකතුව මාතර රන් භාණ්ඩ හලක් කොල්ල කෑමට ගොස් පොලීසියට කොටු වූ අවස්ථාවේදීය. එහිදී මේ කොන්ත්‍රාත්තුව පිළිබඳ සියල්ල හෙළි කළේය.
මේ ආකාරයෙන් සංජීව සිය සගයන් සමඟ කොන්ත්‍රාත්තුවට මිනී මැරීමේ ක්‍රමවේදය ආරම්භ කර ඇත. සියළු ආරක්ෂාව බන්ධනාගරයෙන් ලැබෙන අතර මෙම කොන්ත්‍රාත්තු සිදුකිරීම සඳහා දුරකථන ද ඇති තරමට සංජීවට බන්ධනාගාර නිලධාරින් හරහා ලැබී ඇත. සංජීවට මැගසින් බන්ධනාගාරය හිරගෙයක් නොව නිවසක් බවට පත්වී ඇත.
මේ අතර මාලිගාවත්ත ප්‍රදේශයේ පාතාලය ද නැවත ක්‍රියාත්මක වන්නට පටන්ගෙන ඇත. කොළඹ පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙස සිටි මාමාස්මී මිය යාමත් සමඟ කොළඹ පාතාලය නිමා වූවායැයි සිතුනේය. එහෙත් පසුගියදා නැවත ඒ පාතාලයේ හිස ඔසවන්නට විය. ඒ මාමාස්මීගේ ඥාති සහෝදරයකු වෙඩි තබා තුවාල කිරීම හරහාය. එම වෙඩි තැබීම මාලිගාවත්තා ජුම්මා හන්දියේ සිදුරකර තිබුණු අතර ඒ පසුගිය 30 වැනිදාය. ඊට දින හතරකට පෙර එනම් 26 වැනිදා එම ස්ථානයේම කාන්තාවක් වෙඩි තබා ඝාතනය කළේය. එසේම කොළඹ ජම්පටා වීදියේ දී පසුගිය ජූනි 21 දින පුද්ගලයකුට වෙඩි තබා තුවාල කළ අතර ඉන් දින කිහිපයකට පසුව අඹුසැමි යුවළක් එම ස්ථානයේම ඝාතනය කර දැම්මේය. එසේම ජූලි 09 වැනිදා කොළඹ නාගරික මන්ත්‍රීවරයකු ඝාතනය වන්නේද කොළඹ පාතාලය නිසාය. එසේම පසුගිය 03 වැනිදා මෝදර මතුවැල්ල ප්‍රදේශයේදී පාතාල සාමාජිකයකුගේ පියකු වෙඩි තබාද ඝාතනය කළේය. මේ සියල්ල පාතාලයේ වැඩය. එසේම මේ මිනිස් ජීවිතය. එකී ජීවිත තිරිසන් සතුන් ලෙස මහමඟ ඝාතනය වන්නේ නම් රටේ ආරක්ෂාව ගැන සැකයක් ඇත.
කෙතරම් මර්දන ගර්ජණ කළත් අදටත් කිසිදු ආණ්ඩුවකට පාතාලය සම්පූර්ණයෙන් ඉවත් කරන්නට හැකි වූයේ නැත. එයට හේතුව පාතාලයන් සැතපුණේ දේශපාලනඥයන්ගේ ඔඩොක්කුවේ වීම නිසාය.
අසංක කළුබෝවිල