2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

ත්‍රිවිධ හමුදා ලොක්කා රිමාන්ඩ්?

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 387

ඉතිහාසයේ පටන් ත්‍රිවිධ හමුදාවල ඉහළ නිලධාරීන් විවිධ අවස්ථාවල අත්අඩංගුවට ගත් අවස්ථා අනන්ත අප්‍රමාණව ඇත. ඉතිහාසගත අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ මැතිනියගේ රජය පෙරළීමට රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ සිදුකළ බවට චෝදනා ලබමිනි. එවර විශාල පිරිසක් පොලීසියට කොටු වූහ.

ඉන් පසුව රටම කැළඹු සිද්ධිය වූයේ 2010 වසරේදී හිටපු හමුදාපතිවරයා අත්අඩංගුවට ගැනීමය. එහෙත් එය සේවයේ නියුතුව සිටියදී අත්අඩංගුවට ගැනීමක් නොවීය. එහෙත් ඔහු ජනාධිපති  පොදු අපේක්ෂකයා වීම නිසා රටම කැළඹී ගියහ.

එකී සිද්ධියෙන් පසුව රටම කතාවන සිද්ධිය වන්නේ මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන අත්අඩංගුවට ගැනීමට තීරණය කිරීමේ සිද්ධියයි. ඒ බව රහස් පොලීසිය අධිකරණයට දන්වා තිබූ අතර අධිකරණය ද ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙසට දන්වා තිබුණි.

මේ අත්අඩංගුවට ගැනීම තීරණය වූයේ පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවකුට ආරක්ෂාව ලබාදීම සහ විදෙස් ගතවීමට උදව් උපකාර කළ බවට එල්ල වූ චෝදනාවකට අනුවය. මේ සැකකරු එසේ මෙසේ සැකකරුවකු නොව නාවික හමුදාවේ හිටපු ලුතිනන් කොමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් ‘නේවි සම්පත්’ය. නේවි සම්පත්ට එල්ලවී තිබූ චෝදනාව වන්නේ 2008 - 2011 අතර කාලය තුළ කප්පම් ගැනීමේ අරමුණින් දමිළ තරුණයන් 11 දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියක්ය.

කෙසේ වෙතත් මේ සැකකරු මීට පෙර 2016 වසරේදී රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන තිබුණේය. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය කිරීමේ සිද්ධියටය. ඉන් අධිකරණයෙන් ඇප ලැබූ නේවි සම්පත්ට නැවතත් නාවික හමුදාවේ සේවය හිමි විය. එවිට නාවික හමුදාපති ලෙස පත්වී තිබුණේ අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධනය.

කෙසේ වෙතත් මේ අතරතුර රහස් පොලීසිය මේ තරුණයන් අතුරුදන් කිරීමේ සිද්ධියේ පරීක්ෂණ ද ආරම්භ කළේය. එහිදී සම්පත් සන්තකයේ තිබී හමුවූ හැඳුනුම්පත් කිහිපයත් මේ අතුරුදන් වීමත් අතර යම් සම්බන්ධයක් තිබෙන නිසා ඒ පිළිබඳව ප්‍රකාශයක් ලබාදෙන්නට පැමිණෙන ලෙස දන්වා යැවීය. එහෙත් සම්පත් ප්‍රකාශය ලබාදීම මඟ හැරීයේය. කීප වතාවක් දන්වා යැව්වත් ආවේ නැත. රහස් පොලීසිය නිවසට ගියත් ඔහුගේ බිරිඳ පවසා සිටියේ සම්පත් නිවසෙහි නැති බවය.

පසුව රහස් පොලීසිය සොයා බැලීමේදී  සම්පත් නාවික හමුදා මූලස්ථානයේ සැඟවී සිටින බවට තොරතුරු ලැබුණේය. මේ පිළිබඳව තොරතුරු දැනගත් රහස් පොලීසිය නාවික හමුදාපතිවරයාට දැනුම් දී යැව්වේ හැකි ඉක්මනින් සම්පත්ව ප්‍රකාශයක් ලබාදීම සඳහා යොමුකරන ලෙසය. එහෙත් ඊට ප්‍රතිචාරයක් නොවුණු අතර සම්පත් මූලස්ථානයේ  නොමැති බව දැන්වීය.

පසුව රහස් පොලීසිය විද්‍යාත්මක පරීක්ෂණ ආරම්භ කළ අතර සම්පත්ගේ දුරකථන ජාල පරීක්ෂාවක් සිදුකළේය. එහිදී සම්පත් නාවිකා හමුදා මූලස්ථානයේ නිලධාරී නිවස්නයේ 8 වැනි නිවසේ සිටිනා බවට තහවුරු විය. එය සනාථ කරමින් ඇසින් දුටු සාක්ෂි ද ලැබුණේය. ඒ සම්පත්ගේ මිත්‍රයකු හරහාය.

මේ අතර රහස් පොලීසියට තවත් තොරතුරක් ආවේය. ඒ නේවි සම්පත්ගේ බිරිඳ සම්පත්ව හමුවීමට මූලස්ථානයට පැමිණෙන බවය. පසුව නැවතත් නාවික හමුදාපතිවරයාට දන්වා යැව්වේ සම්පත්ව රහස් පොලීසියට ලබාදෙන ලෙසය. එවරද නාවික හමුදාවේ ප්‍රතිචාරය වූයේ සම්පත් එහි නොමැති බවයි. පුදුමය ඒ බව දැනුම් දුන්නේ නාවික හමුදාපතිවරයාගේ පාර්ශවයෙන්මය.

මේ සියල්ල සිදුවන විට සම්පත් මෙරටින් අතුරුදන් වී තිබුණේය. රහස් පොලීසියට තොරතුර ලැබුණේ සම්පත් මැලේසියාවට පැනගොස් ඇති බවය. එපමණක් නොව ඒ සඳහා නාවික හමුදාපතිවරයා උදව් උපකාර කර ඇති බවට එක්තරා සාක්ෂියකින් තහවුරු විය. එනම් ඒ සාක්ෂිකරු පැවසුවේ දිනක් ඔහු සම්පත්ගේ කාමරයට එනවිට විශාල සල්ලි ගොඩක් ළඟ තියාගෙන සිටි බවත් එය දුටු තමන්ට සම්පත් "බලපන් ලොක්කා (නාවික හමුදාපති) මට සලකන හැටි" යැයි කියූ බවත්ය. ඉන්පසුව ඔහු දින තුනකට පසුව අතුරුදන් වූ බවත් ඔහු ප්‍රකාශ කර තිබුණේය. මේ සියල්ල රහස් පොලීසිය සාක්ෂි ලෙස තබාගෙන තිබුණේය.

දිනක් ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම අවස්ථාවේ රහස් පොලීසියේ අධ්‍යක්ෂ  ශානි අබේසේකර මහතා පවසා සිටියේ පරීක්ෂණවලට නාවික හමුදාවෙන් සහය ලබානොදෙන බවය. මෙහිදී රවීන්ද්‍ර මහතා සහ ශානි අතර වාග් හුවමාරුවක් සිදුවුණු අතර  එහිදී ශානි අබේසේකර විසින් නේවි සම්පත් නාවික හමුදා මූලස්ථානයේ රඳවා සිටි බවත් ඒ සඳාහා සාක්ෂිත්, ඊට නාවික හමුදාපතිවරයා උදව් උපකාර කළ බවත් සියලු දෙනා ඉදිරියේ කීය. එහිදී හිටපු නාවික හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියේ එය අභූත චෝදනාවක් බවය.

කෙසේ වෙතත් පසුගියදා නේවි සම්පත් කොළඹ ලෝටස් පාරේදී කොටුවීමත් සමඟ සියලු රහස් හෙළිවිය. එනම් නේවි සම්පත් නාවික හමුදා මූලස්ථානයේ සැඟවී සිටි බවත් ඒ කාලයේ සියලු පහසුකම් හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර  මහතා විසින් ලබාදී ඇති බවත්ය. එසේ සැඟවී සිටියදී ව්‍යාජ ගමන් බලපත්‍ර දෙකක් සකසා ඇති අතර ඒ සඳහා ද නිලධාරීන් කිහිපදෙනකු උදව් උපකාර කර ඇති බවත් හෙළිවිය. එසේ සකසා ගැනීමෙන් අනතුරුව ඔහු 2017 අප්‍රේල් මාසයේ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයෙන් සහ හැඳුනුම් පත යොදාගෙන මැලේසියාවට පැනගොස් ඇති බවය. ඉන් අනතුරුව ඔහු නැවතත් 2018  අප්‍රේල් මාසයේ පැමිණ ඇත.

මේ සියලු දෑ සිදුකිරීම තුළ හිටපු නාවික හමුදාපති වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා සම්බන්ධ බවට හෙළිවී ඇතැයි රහස් පොලීසිය අනාවරණය කරගෙන ඇත. මේ සියල්ල දැන් අධිකරණය පවා දැනුම්වත්ය. ඒ නිසා ඉදිරියේදී අද්මිරාල් රවීන්ද්‍ර  මහතා අත්අඩංගුවට පත්වනු ඇතැයි සඳහන් වේ. ඒ පොලීසියට අවශ්‍ය සැකකරුවකුට පැනයාමටත්, සැඟවී සිටිමටත් ආරක්ෂාව දීමේ චෝදනා යටතේය.

♦ ගයාන් ගාල්ලගේ

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:05