2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

රස අඹ හදන කෝට්ටේ අඹ මාස්ටර්

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 960

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පළතුරු වර්ග අතරින් අඹවලටද හිමිවන්නේ සුවිශේෂී තැනකි. ඒ අතරින් තෝමස් එල්ලාවල මහතා විසින් අලුතින් හඳුන්වා දුන් TEJC අඹ වර්ගය අද වනවිට ඉහළ ඉල්ලුමක් ඇති අඹ ප්‍රභේදයක් ලෙසින් ප්‍රකටව පවතී. වර්ෂ 2000 දී තෝමස් මහතා විසින් හඳුන්වා දුන් මෙම අඹ ප්‍රභේදය රටට ඉතා හිතකර වූ අඹ ප්‍රභේදයක් ලෙසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවද එය හඳුනාගෙන තිබේ.

එම අඹ ප්‍රභේදය හඳුනාගැනීමේදී තෝමස්ට අපූරු මිතුරෙක්ද උදව් කළේය. ඔහු විදේශිකයෙකි. පිලිපීන ජාතිකයකු වූ ජුආන් කාලොස්ද ඒ වනවිට ලංකාවේ අනුරාධපුර ප්‍රදේශයේ විවිධ පර්යේෂණ කරමින් සිටි විදේශිකයෙකි. මෙම අඹ ප්‍රභේදය හඳුනා ගැනීමටත් එම ප්‍රභේදය දියුණු කරලීමටත් ජුආන් කාලොස්ගෙන් විශාල සහයෝගයක් තෝමස් එල්ලාවලට ලැබුණි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් මෙම නව අඹ ප්‍රභේදය සඳහා නමක් ලියාපදිංචි කරන විට Thom ejc ලෙසින් නම් කෙරුණි. ඒ මෙම මිතුරන් දෙදෙනාගේ නම එක් කිරීමෙනි.

අඹ ප්‍රභේදයේ විශේෂත්වයන් කිහිපයකි. අඹ වර්ගය විශේෂ රසයකින් යුක්තය. පැණි රසයකින් මෙන්ම සියුම් ඇඹුල් රසයකින් සමන්විත වන අතර එම අඹය ඉතා මිහිරි ලෙසින් දිවගට දැනේ. කහ පැහැය මෙන්ම රන්වන් තැඹිලි පැහැයකින් යුත් මෙම අඹ වර්ගය ඉදුණු විට ඉතා අපූරු සුවඳකින්ද යුක්ත වේ.

TEJC අඹ ප්‍රභේදයේ තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ අනිකුත් අඹ වර්ගවලට වඩා අවුරුද්දකට කීප වතාවක්ම මල් හටගැනීමය. සාමාන්‍යයෙන් සෑම වසරකම ජූලි මස සිට ජනවාරි හෝ පෙබරවාරි මස දක්වා අඹ ඵලදාවක් ලබාගත හැක. එය එක සමාන අස්වැන්නක් නොව අඩු වැඩිවීමක් අතර අස්වැන්නක් ලබාගත හැක. විශේෂයෙන් ඔක්තෝබර් මාසය ආරම්භයේදී වැඩි අස්වැන්නක් ලබාගත හැක. නමුත් වසර පුරාවටම TEJC අඹ වර්ගයේ මල් හටගැනීමේ ලක්ෂණය පවතී. TEJC අඹ ගස්වල මල් මෙන්ම ගැට අඹද, ඉදුණු අඹද එකවර දැකගත හැක. මෙය වෙනත් බොහෝ අඹවර්ගවල දැක ගැනීමට නොහැකි ලක්ෂණයකි.

මෙම අඹ ප්‍රභේදය ශ්‍රී ලංකාවේ ඕනෑම පළාතක වගා කළ හැකි වුවද මහා පරිමාණයෙන් අඹ වගාකරුවන් සඳහා වියළි කලාපය ඉතා සුදුසු වේ. අප රට තුළ වර්ෂාව වැඩිවීමත් කලින් කලට ඇතිවන වර්ෂාවත් හේතුවෙන් අනිකුත් පළාත්වලදී මෙම අඹ ප්‍රභේදයේ ප්‍රමිතිය පවත්වා ගැනීමට අපහසුය. මේ නිසා වියළි දේශගුණය මෙම අඹ වර්ගයට ඉතා සුදුසු වේ.

තෝමස් එල්ලාවල මහතා සතුව පවතින ගොවිපොළේ වැඩි වශයෙන් වගා කරනු ලබන්නේ TEJC වර්ගයට අයත් අඹය. මේ වනවිට 88 වියැති තෝමස් එල්ලාවල මහතාගේ සියලු කටයුතු සොයා බලා සිදුකරනු ලබන්නේ තෝමස්ගේ දයාබර පුතු වූ සුරේෂ් එල්ලාවලය. ඔවුන් සතුව අක්කර එකසිය පනහකින් යුත් ගොවිපළත් ගල්කිරියාගම ප්‍රදේශයේ පවතී. එම ගොවිපළේ වැඩිවශයෙන්ම TEJC අඹ වගා කරනා අතර ඊට අමතරව වෙනත් බෝග කිහිපයක්ද වගා කෙරේ. අප රටේ සුපිරි වෙළෙඳසල්වලට මෙන්ම මාලදිවයින, සිංගප්පූරුව, හොංකොං ඇතුළු මැදපෙරදිග රටවල් සහ යුරෝපා රටවල් කිහිපයකටද TEJC අඹ අපනයනය කෙරේ. මෙම අඹ ප්‍රභේදය වගාකරනු ලබන ක්‍රමවේදය අනුව පාරිභෝගිකයාට සැමවිටම රසවත් මෙන්ම හිතට තෘප්තිමත් අඹයක් ලබාදීමට හැකියාව පවතී.

තෝමස් එල්ලාවලගේ මූලික අදහස වූයේ අඹ ප්‍රභේදය ලංකාවේ වියළි කලාපයට වැඩි  මේ වශයෙන් ඔබින නිසා ලංකාවේ ඒ පළාත්වල වගාකිරීමට සහය උපරිමයෙන් ලබාදීමටය. ඒ අනුව ඔහු ඇතුළු කණ්ඩායම අඹ පැළ බෝ කර එය අනිකුත් වැවිලිකරුවන්ටද ලබාදුණි. අදත් ඔහුගේ ගොවිපොළෙන් අඹ පැළ ලබා ගැනීමට හැකි අතර පැළ සිටවීම, නඩත්තු කිරීම, පොහොර යෙදීම හා අස්වැන්න නෙලීම ඇතුළු සියලු කාර්යයන් පිළිබඳව පුළුල් දැනුවත් කිරීමක්ද ගොවිපොළෙන් ලබාදේ. මේ අනුව අද වනවිට TEJC අඹ ප්‍රභේදය එල්ලාවල මහතාගේ ගොවිපොළෙන් පමණක්ම නොව කුඩා හා මහා පරිමාණයේ ගොවිපොළවලද වගා කර වෙළෙඳපොළට නිකුත් කෙරේ. TEJC අඹ ප්‍රභේදයට අමතරව ඔහුගේ ගොවිපොළේ තවත් අඹ වර්ග විසිගණනක්ද වගා කර ඇත.

මේ දිනවල සුපිරි වෙළෙඳසල්වල මෙන්ම මඟතොටේදී අපිට දකින්නට ලැබෙන අල්පොන්සු අඹ වර්ගය බොහෝවිට TEJC අඹ ප්‍රභේදයට අයත් අඹ වර්ගයකි. ලංකාවේ විකුණන අල්පොන්සු අඹ බොහෝමයක් TEJC අඹ ප්‍රභේදයෙන් යුක්ත අඹ වේ. ඇතැමුන් අල්පෝන්සු අඹ ලෙසින් හඳුන්වන්නේ ඉන්දියන් අඹ වර්ගයකටය. තෝමස් එල්ලාවල ඇතුළු කණ්ඩායම මෙම TEJC අඹ ප්‍රභේදය වෙළඳ පොළට හඳුන්වාදීමට පළමුව ඔවුන්ගේ ගොවිපළටම පැමිණ ගෙන ගිය එම අඹ ප්‍රභේදයම අල්පොන්සු අඹ ලෙසින් හැඳින්වීය. ඉන්දියාවෙන් ගෙන එනු ලබන අල්පොන්සු ලෙසින් හඳුන්වනු ලබන අඹ ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් තුන්සීයකි. නමුත් TEJC අඹ ප්‍රභේදයෙන් යුත් අඹ ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් හයසීයක් පමණ වේ. මෙම බර අනුව අඹ ප්‍රභේදය හඳුනාගත හැක.

TEJC ගොවිපළේ මේ වනවිට සේවකයින් සිය දෙනෙක් පමණ සේවයේ යෙදී සිටිති. ඔවුන් බොහෝවිට ගොවිපළ පිහිටා ඇති කලා වැවට ඉස්මත්තේ දබේවටන ප්‍රදේශයේ ජීවත්වෙන වැසියෝ වෙති. TEJC අඹ පැළයක් සිටවා අවුරුදු තුනක් ඇතුළත මල් හටගනී. එම අවුරුදු තුනෙන් පසුව පළමු අවුරුද්දේ ගෙඩි තුන හතරක් හටගත්තද ඉන්පසුව ඉතා හොඳ පළදාවක් ලබාගත හැක.

 දිශානි ජයමාලි කරුණාරත්න