
දුම්රිය යන්නේ රේල් පීලි උඩය. ළඟකදී ආරංචි වූ පරිදි සැලකිය යුතු දුම්රිය ප්‍රමාණයක් රේල් පීල්ලෙන් ගැලවී කොට උඩද ඇත. රත්මලාන දුම්රිය අංගනයේ දුම්රිය සේවකයන් මාස හතරක සිට ගෙන යන අකුරට වැඩ කිරීම නිසාවෙන් දුම්රිය එන්ජින් 33ක් බලවේග කට්ටල 28ක් කොට උඩ බව පුවත්පත් වාර්තාවල සඳහන් විය. ගෙවුණු කාල සීමාවේ නිතර නිතර පුවත් මැවූ දුම්රිය පිළිබඳව ඇසෙන අලුත්ම කතාව පිළිබඳ අපි තොරතුරු සොයා බැලුවෙමු.
දුම්රිය කොට උඩ යන කතාව සහ රත්මලානේ සේවකයන් මාස හතරක් අකුරට වැඩ කරන කතාව බරපතළ කරුණක් ලෙස පාලකයන්ට හා මගීන්ට නොදැනෙන සෙයකි. එහි ඇති බරපතළ බව ප්‍රථමයෙන් රට දැනගත යුතුව ඇත. සාමාන්‍යයෙන් දුම්රිය ගමනට පෙර කොළඹ ධාවනාගාරවලින් එන්ජින් පරීක්ෂාවක් සිදුකරයි. දුම්රිය ධාවනයෙන් පසුද පරීක්ෂාවන් සිදුකරන අතර එන්ජින්වල යම් ගැටලුවක් මතුව ඇත්නම් එම පිළිසකර කිරීම එම ධාවනාගාර තුළදී සිදුවෙයි. බරපතළ තත්ත්වයක් ඇතොත් රත්මලාන දුම්රිය අංගනය වෙත යවනු ලබයි.
මාස හතරක් පුරා අකුරට වැඩ කරන්නේ මෙම බරපතළ ආපදා යථා තත්ත්වයට ගේන දුම්රිය අංගනයේ සේවකයන්ය. පසුගිය කාලයේ බරපතළ ගැටලු මතු වූ දුම්රිය එන්ජින් රත්මලානට යවනු ලැබුවද නැවත යථා තත්ත්වයට පත්වී ධාවනයට එක් නොවෙයි. කොළඹ ධාවනාගාරවල සිදුවන අලුත්වැඩියාවන් ධාවනයේ පවතින දුම්රිය කළමනාකරණය කර ගැනීමේ හැකියාවන් හේතුවෙන් මෙය ගැටලුවක් ලෙස නොපෙනෙයි. දුම්රිය රියැදුරන්ගේ, නියාමකයන්ගේ හා ධාවනය සඳහා ඍජුව සම්බන්ධ සේවකයන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගවලින් පාලකයන්ට හා මහජනයාට ඇතිවූ අපහසුතාව වැනි යමක් මෙහි නොවීම නිසා මාස හතරක් පුරා මෙම තත්ත්වය නිහඬවම දිග්ගැසී තිබේ. මෙය තවත් ඉදිරියට පැවතුණොත් දුම්රිය සේවය කොටඋඩ යන දිනය වැඩි ඈතක නොවනු ඇත.
මෙහිදී දුම්රිය එන්ජින්වලට හානි සිදුවීමත් ක්‍රමිකව ධාවනයේ පවතින එන්ජින් හා බලවේග කට්ටල ප්‍රමාණය අඩුවීමත් හේතුවිය හැකිය. ජාතික ධනය විනාශවීම හා මගීන් අපහසුතාවයට පත්වීමද ඒ සමඟ සිදුවෙයි. ගෙවුණු දින කිහිපය හොඳින් අධ්‍යයනය කළ මගියකුට අනුව සවස කාර්යාල දුම්රිය කිහිපයක් සවස් කාලයේ ධාවනය නොවන බවට කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලදී නිවේදන නිකුත් වී තිබේ. එය දුම්රිය කොට උඩ කතාව අතර අන්තර් සම්බන්ධයක්ද තිබිය හැක.

රත්මලාන දුම්රිය අංගනයේ සේවකයන් අකුරට වැඩකරන්නේ ඇයි කියා අපි සොයා බැලුවෙමු. රත්මලානේ දුම්රිය තාක්ෂණික කළමනාකරණ සහකාර නිලධාරී සංගමය මෙම අකුරට වැඩ කිරීමේ නිරතව සිටියි. ආයතනික කාලවේලාවන් සම්බන්ධ ගැටලුවක් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය පිටුපස තිබෙන බව අපට තහවුරු විය. අපට දැනගන්නට ලැබුණු පරිදි එය මෙසේය. රාජ්‍ය සේවයේ ආයතනික කාලවේලාවන් වෙන්කර දක්වා ඇති “රාජ්‍ය පරිපාලන චක්‍රලේඛනය නවය 2006”ට අනුව සේවය ආරම්භ කරන හා අවසන් කරන කාලවේලාවන් තමන්ට ලබාදෙන ලෙස මෙම පිරිස ඉල්ලයි. තම ගැටලුවට බලධාරීන් නිසි විසඳුමක් ලබා නොදීම හේතුවෙන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග මෙතරම් දිග්ගැසුණු බව ඔවුහු කියති. පසුගිය කාලයේ දුම්රිය සේවයේ අනුකම්පා විරහිත මහජන පීඩන වර්ජන සිදුකළ ඇතැම් ඉල්ලීම් කෙසේ හෝ දිනාගන්නේ බලධාරීන් තැතිගන්වා බව අපට මෙයින් අවබෝධ වෙයි.
උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව තොරතුරු දැනගැනීමට අප දුම්රිය තාක්ෂණික කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමයේ කමල් පීරිස් මහතා සම්බන්ධ කර ගතිමු. ඒ මහතාට අනුව පසුගිය දිනවල තොරතුරු වාර්තා වූ තරම් බලවේග කට්ටල හා එන්ජින් ප්‍රමාණයන් නැතත් සැලකිය යුතු ප්‍රමාණයක් කොට උඩ ඇත.
“දුම්රිය නියාමකයන් රියදුරන් වර්ජනය කළ විට දුම්රිය එන්ජින් නවතිනවා. වර්ජනය නිම වූ පසුව එම එන්ජින් නැවත පණගන්වාගෙන ඔවුන්ට යා හැකියි. අපි වෘත්තීය ක්‍රියාමාර්ග ගත්තම එහෙම නැහැ. ඒක රටට ජනතාවට එකපාරට දැනෙන්නේ නෑ. බලධාරීන් එය තේරුම් ගත යුතුයි. නමුත් මෙයින් හානිය වෙන්නේ මේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදල්වලට. එන්ජින්වලට හානිවුණාම නැවත ඒවා ගොඩගැනීමට විශාල මුදලක් වියදම් කළයුතු වෙනවා. අපි ඉල්ලන්නේ ආයතනික වශයෙන් වෙන්වෙලා තියෙන චක්‍රලේඛනයේ අණපනත්වලට අයිති දේවල්. නමුත් එකපාරට දුම්රිය නවත්වන්න බැරි නිසා ජනතාවට දැනෙන්නේ නැති නිසා අපිට ඇහුම්කන් දෙනවා අඩුයි. බලධාරීන් කටයුතු කරන්නේ ඉල්ලීමේ සාධාරණ අසාධාරණ බව අනුව නෙවෙයි. මහජනතාවට සිදුවන හානිය අනුව.”
සියල්ල මෙලෙස සිදුවෙමින් පවතින අතර දිගින් දිගටම මහජනයාට අවබෝධ වන එක් කරුණකි. මෙරට දුම්රිය සේවය මහා වියවුල් ගොඩක් බවය. තාක්ෂණික නිලධාරීන් සිටියදී අලුත්වැඩියා කිරීමට අංගන තිබුණද හිටි හැටියේම දුම්රිය එන්ජින් මග නගර වෙයි. මැදිරිවල පහසුකම් එන්න එන්නම අවම වනවා මිසක වැඩි නොවේ. දිනෙන් දින ගමනාගමනය සඳහා දුම්රිය භාවිත කරන මගීන් සංඛ්‍යාවද වැඩිවෙමින් තිබේ. ගැටලු නොවිසඳුණොත් දුම්රිය හෙට අනිද්දාම පීලි උඩ නොව කොට උඩම යනු ඇත.
♦ චමිඳු නිසල් ද සිල්වා