
විදුලිබල මණ්ඩලයට අයත් විදුලිය වංචනිකව සොරාගත් බවට ලැබුණු පැමිණිලි තුන්දහස් හයසීයක් අතුරින් දෙදහසකට අධික ප්‍රමාණයක් අධිකරණයට යොමුකිරීමෙන් අනතුරුව වරදකරුවන් වූ අයගෙන් රුපියල් කෝටි එකොළහකට වැඩියෙන් දඩ මුදල් අයකරගෙන තිබේ. විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය 2017 වර්ෂයේදී සිදුකළ වැටලීම්වලින් අත්අඩංගුවට පත්වූවන් අතර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ගණනාවක්ම සිටින බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය වාර්තා කරයි.
ලංකා විදුලිබල මණ්ඩලයෙන් මේ ආකාරයට හොර රහසේ විදුලිය ගැනීම හේතුවෙන් රැහැන් පද්ධතිය හානිවීමත් සමඟ විශාල ආර්ථික අලාභයක් සිදුවන බවත් ඒ සඳහා පෙළඹෙන හා භාවිත කරන ජනතාවට බරපතළ ජීවිත අවදානමක් පවතින බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක සංවර්ධන හා මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.
මේ අයුරින් විදුලිය වංචා කරමින් සොරාගත් පුද්ගලයෝ 114 දෙනෙක් කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූහ. එක් ස්ථානයකදී වැඩිම පිරිසක් අත්අඩංගුවට ගත් අවස්ථාව එය බව පැවසූ සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ 2009 අංක 26 දරන විදුලිබල මණ්ඩල පනත හා 2013 අංක 31 සංශෝධිත පනත යටතේ සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට හැකියාව ඇති බවය. එසේම වරදකරු වන අයකුට රුපියල් 10,000 – 50,000ත් අතර දඩයක් පැනවීමට හා බන්ධනාගාරගත කිරීමටද එමගින් බලය ඇති බවද අවධාරණය කළේය.
2016 වර්ෂයේ මෙලෙස ලැබුණු පැමිණිලි 4244කින් වැටලීම් 2617ක් සාර්ථකව සිදුකර ඔවුන් අධිකරණයට පමුණුවා රුපියල් දහතුන් කෝටි විසිලක්ෂ හතළිස් හත්දහස් නවසිය හතළිස් නවයක දඩ මුදලක් අයකරගත් බවද සඳහන්ය. ඇතැම් පිරිස් විදුලිය හොරට ලබාගැනීම හේතුවෙන් විදුලිබල මණ්ඩලයට තාක්ෂණික හා තාක්ෂණික නොවන අලාභ රැසක් සිදුවේ. ඇතැම්හු විදුලි මීටරය තාක්ෂණික ප්‍රයෝග මගින් වෙනස් කර හෝ සීල් කඩා අවභාවිත කරති. තවත් පිරිස් ආවරණය කරන ලද විදුලි කම්බි පළුඳු කරමින්ද ඇතැමුන් ප්‍රධාන විදුලි කම්බිවලට ඇමිණුමක් යොදමින්ද විදුලිය සොරාගන්නා බවට වාර්තා වී තිබේ. මෙසේ විදුලිය වංචා කිරීමේ නිරත පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය වැටලීම් සිදුකරනු ලබයි. කොළඹ ප්‍රධාන කාර්යාලයේ පිහිටුවා ඇති එම ඒකකය මගින් දිවයින පුරාම මෙහෙයුම් සිදුකරමින් සිටින අතර ප්‍රාදේශීය වශයෙන් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරු යටතේද විමර්ශන ක්‍රියාත්මකය.
එවැනි සිදුවීම් පිළිබඳව ඕනෑම අවස්ථාවක පැමිණිලි කිරීම සඳහා 0112422259 නව දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙන අතර ඕනෑම අයකුට එවැනි සිදුවීම් පිළිබඳව වාර්තා කළ හැකිය. එවැනි පැමිණිලිකරුවන්ගේ රහස්‍යභාවය සුරකිමින් අදාළ විමර්ශන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. පැමිණිලි විමර්ශනයේදී හා වැටලීමේදී ප්‍රාදේශීය වශයෙන් අදාළ පොලිස් ස්ථානයේ සහාය ලබාගැනේ. විශේෂයෙන් එම වැටලීම් මධ්‍යම රාත්‍රියේ සහ අලුයම් කාලයේ සිදුකරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
හොරෙන් විදුලිය ලබාගැනීම ජීවිත අවදානමක් සහිත අනාරක්ෂිත ක්‍රියාවකි. බියෙන් සැකයෙන් හා කලබලයෙන් සිදුකරන විදුලි සොරාගැනීම අනාරක්ෂිතය. එවැනි නීති විරෝධී ක්‍රියාවන්ගෙන් වළකින ලෙසට උපදෙස් සපයන විදුලිබල මණ්ඩලය පවසන්නේ එසේ විදුලිය සොරාගැනීම නිසා සිදුවන අධික විදුලි දහනය නිසා සාමාන්‍ය විදුලි ඒකකයක අගය ඉහළ යන බවය. එබැවින් විදුලි බිල සංශෝධනයේදී සාමාන්‍ය ජනතාවට අසාධාරණයක් සිදුවීමේ අවස්ථාවක් ඇතිවී තිබෙන බවද සඳහන්ය.
දිවයින පුරා විදුලි පාරිභෝගිකයන් ගණන මිලියන 6ක් පමණය. ඔවුන්ගේ සේවයට ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාල 62ක් ක්‍රියාත්මකය. එම ආයතන සියල්ල මගින්ද ඉහත විමර්ශන ක්‍රියාත්මකය. සාර්ථක වැටලීමකදී සැකකරුට එරෙහිව අලාභය අයකරගැනීමේ ක්‍රමවේදයක්ද පවතී. එහිදී නිවසක හෝ ආයතනයක් තුළ භාවිත කරන විදුලි උපකරණ පිළිබඳව සලකා බලා ඒවා වසරක් පුරා භාවිත කළ බවට සිතමින් දඩ මුදලක් පැනවීම සිදුකරයි.
විදුලිය සොරාගැනීමේදී වයරයට කොකු ගැසීම හෝ මීටරය වෙනස් කිරීම අවදානම් බව යළිත් කිවයුතු නොවේ. එවැනි අනතුරුවලදී මරණ වාර්තා වුවද නීතිමය තත්ත්වයන් හේතුවෙන් බොහෝ පිරිස් ඒවා යටපත් කරති.
♦ සමන්ත ප්‍රදීප් විල්තෙර