2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

හදිසියේ මතුවූ “හිතුමතේ ජීවිතේ”

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 248

හිතුමතේ ජීවිතේ පටබැඳි නමකි. රංජිත් නමින් හඳුන්වන ඔහු උප්පැන්නයට අනුව බටුගහගේ දොන් සුමතිපාලය. පසුගියදා දුම්රිය රියැදුරන් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවස්ථාවේදී ඔහු රැඳීසිට ඇත්තේ කොටුව දුම්රියපොළේ තිබූ දුම්රිය මැදිරියකය. එහිදී යම් පිරිසක් විසින් ඔහුට පහරදී තිබුණි. අනතුරුව මුදල් පසුම්බිය හා ජාතික හැඳුනුම්පත තමන්ගෙන් උදුරාගත් බව එහි රැඳීසිටි විද්‍යුත් නාළිකාවක මාධ්‍යවේදීන් හමුවේ ඔහු ප්‍රකාශ කර ඇත. එම ප්‍රකාශය නම ගම සහිතව ප්‍රචාරණය වීමත් සමඟ ඔහු පොලීසිය අත්අඩංගුවට ගැනීමට සොයන සැකකරුවකු බවට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් විසින් හඳුනාගෙන තිබිණි.

මේ සිදුවීම හරහා හදිසියේම කරළියට ආ හිතුමතේ ජීවිතේ පිළිබඳ සමාජ මාධ්‍ය හරහා කතාබහක් ඇතිවී තිබේ. 1972 වර්ෂයේදී කළුතර ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයකදී අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලබා තිබුණේ හිතුමතේ ජීවිතේ නොහොත් සුමතිපාලගේ එකම නැගණිය වූ කුසුමාවතීය. දින කිහිපයකට පසුව ඇය දූෂණය කර මරාදමා තිබූ අතර එවකට කළුතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිසක් ඒ පිළිබඳ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියහ. මේ සිද්ධිය පිළිබඳව දැනගත් සුමතිපාල සිය නැගණියගේ ඝාතකයන්ගෙන් පළිගන්නට තීන්දු කරන විට ඔහුගේ වයස අවුරුදු 17 කි. ඔහු ලාබාල වියේදීම මෙසේ අසාමාන්‍ය සටනක නිරතව සිට ඇත. ඒ අනුව සුමතිපාල සැකපිට සිටි කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ගෙල කපා මරාදැමීය. ඊට වරදකරු වීමෙන් බන්ධනාගාරගත වී 1975 මැයි 7 වැනිදා එල්ලා මරාදැමීමට නියමිතව සිටියේය.

මේ ආකාරයට සිය නැගණියගේ ඝාතකයන්ගෙන් පළිගන්නට වරින්වර සිරගෙයින් මිදී පැමිණ ඔවුන් ඝාතනය කළ සුමතිපාල මරණ දණ්ඩනයට නියම වී තොණ්ඩුව ගෙලේ බැඳ සිටියදී අවසන් මිනිත්තු කිහිපයේදී ඉන් මිදී ජීවත් වන්නට වාසනාව ලැබූවෙකි. එසේ මරණ දණ්ඩනයට නියම වී සිටියදී දෙවරක් ජනාධිපති සමාව ලැබ සහ හත් වතාවක් හිරෙන් පැනගොස් සිටියදී දුම්රිය වැඩවර්ජනය පැවති දා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් නිකුත් කරන්නට ගොස් හදිසියේ අත්අඩංගුවට පත් හිතුමතේ ජීවිතේ නොහොත් සුමතිපාලට එරෙහි චෝදනාව වූයේ වසර දොළහකට ඉහතදී පොල්ගස්ඕවිට ප්‍රදේශයේ සිදුවූ බව කියන සොරකමකි.

දුම්රිය ස්ථානයේදී පහරකෑමෙන් පසුව ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය බව කියමින් උපක්‍රමශීලීව කොටුව පොලිස්ථානයට කැඳවූ “හිතුමතේ ජීවිතේ” පෙර කී වසර දොළහකට ඉහතදී වූ සොරකමක් සම්බන්ධව පිළියන්දල පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ එවකට වෛද්‍යවරයකුගේ නිවසකින් රුපියල් තුන්දහසක් පමණ වටිනා රන් ආභරණ සොරකමක් පිළිබඳවය. එහිදී කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කෙරුණු හිතුමතේ ජීවිතේට ඇප නියමකෙරුණු අතර ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙක් වූ ග_ප් කපිතන් මනම්පේරි නැමැත්තා ඉදිරිපත් වී ඔහුට ඇප ලබාදී නිදහස් කරගෙන තිබුණි. මීට කලකට ඉහතදී මනම්පේරි මහතා හිතුමතේ ජීවිතේ හඳුනාගෙන ඇති අතර ඔහු හබරණ ප්‍රදේශයේ වත්තක නවාතැන් ගැනීමට සලස්වා තිබේ. ඒ හිතවත්කම අනුව මෙවර ඔහුට ඇප ලබාදීමට ඒ මහතා කටයුතු කර ඇත.

සිය නැගණිය මරාදැමීමට දායක වූ පොලිස් පරීක්ෂකවරයා ඝාතනය කරමින් ඊට වරදකරැ වූ සුමතිපාලට මරණ දඬුවම නියම වී එය ක්‍රියාත්මක වීමට තිබුණේ 1975 මැයි 7 වැනිදාය. ඊට පෙර දින රාත්‍රියේ තමා ආහාරයට කෑම ලබාගත් පිඟාන කඩා එමගින් සිය උදරය, ගෙල ඇතුළු ශරීරය කපාගෙන බරපතළ තුවාල සිදුකරගෙන සිටීම නිසා බන්ධනාගාර රෝහලටත් අනතුරුව මහනුවර මහ රෝහලටත් ඇතුළත් කිරීමට සිදුවිය. එහෙත් බන්ධනාගාර නිලධාරීන් පසු දා පැමිණ තිබුණේ හිතුමතේ ජීවිතේ එල්ලා මැරීමට බන්ධනාගාරය වෙත රැගෙන යාමටය. නමුත් ඔහු බාරව සිටි වෛද්‍යවරයා හිතුමතේ රෝගියාව බැහැරට යැවීම ප්‍රතික්ෂේප කර තිබුණි. එහිදී දෙපිරිස අතර උද්ගත වූ අර්බුදය හේතුවෙන් එවකට ආණ්ඩුකාරයා වූ විලියම් ගොපල්ලව මහතාට කරුණු දැක්වීමට වෛද්‍යවරයා පියවරගෙන තිබුණි. ඒ අනුව මරණ දණ්ඩනයට නියම වී සිටි අවසාන මොහොතේ ඉන් ගැලවී යන්නට වාසනාව ලැබූ හිතුමතේ ජීවිතේ වරින් වරට අවස්ථා කිහිපයකදී සිරගතව සිට ඇත. ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ ඔහුගේ නැගණිය ඝාතනය කළ වරදකරුවන් එකිනෙකා ඝාතනය කිරීමය. මේ ආකාරයට ඔහු සිරගතව සිටින අතරතුර කිහිප වතාවක්ම හිරෙන් පලාගොස් සැඟවී සිටින අතරතුර නැගණියගේ ඝාතකයන් මරදමා ඔවුන්ගේ හිස කඳින් වෙන්කර හිස ඔසවාගෙන ආසන්නයේ තිබූ පොලිස් ස්ථානයකට ගොස් පෙන්වා බාරවී ඇතැයි කියති. මේ ආකාරයට හිතුමතේ පොලිස් නිලධාරියෙක්, විදුහල්පතිවරයෙක්, හෝටලයක හිමිකරුවෙක් හා මස් කඩයක හිමිකරුවෙක් ඇතුළු පුද්ගලයන් පස්දෙනකු ඝාතනය කර ඇති අයකු බවට පොලීසිය සඳහන් කරයි. මේ සියලු දෙනාම තම නැගණියගේ ඝාතනයටත් ඇය දූෂණය කිරීමටත් හවුල් වූ අය බව කියති.

මෙකී වරද හමුවේ වසර 43කට අධික කාලයක් සිරගත වී සිටි ඔහු 2014 වර්ෂයේ ජනාධිපති සමාව යටතේ නිදහස ලැබුවේය. මොහු දේශපාලන නායකයන් කිහිපදෙනකු සහ රෝහණ විජේවීර, විජය කුමාරණතුංග හා සිරිපාල නොහොත් මරුසිරා සමඟ ද හිරගෙදර කල්ගෙවා ඇති බව කියති. මොහු තම නැගණියගේ ඝාතකයන් සොයා ගොස් ඝාතනය කර ඇතත් 1978 වර්ෂයෙන් පසුව කිසිවකු හෝ ඝාතනය කිරීමට පෙළඹී නැත. සිරගත වී නමුත් තමුන්ට රිසි සේ කල් ගෙවන්නට හුරුවී උන් සුමතිපාල නොහොත් රංජිත් හිතූමනාපයට වැඩ කරන නිසාම ඔහු සිය පපුවේ පච්චයක් කොටාගෙන තිබුණේ “හිතුමතේ ජීවිතේ” නමිනි. එසේම සිය නැගණියට තිබූ ආදරය නිසා එක් අතක බාහුවේ “කුසුමා” නම් වූ ඇගේ නම පච්චයක් ලෙස සටහන් කරගෙන සිටියේය.

පපුවේ වූ පච්චය නිසා හිතුමතේ ජීවිතේ ලෙස හඳුන්වන්නට හා ආමන්ත්‍රණය කරන්නට හිතවතුන් පියවර ගෙන තිබෙන අතර ඔහුගේ ජීවිත කතාව අළලා ලිපිලේඛන, කවි, සිනමාපට පවා නිර්මාණය වී තිබේ. 

♦ සමන්ත විල්තෙර