
ගෙවීගිය සියවසේ අප රටට ලැබුණු මහඟුම දායාදයක් වන්නේ නිදහස් අධ්‍යාපනයයි. එය හඳුන්වා දුන් 1943 වර්ෂය හා සසඳන විට එහි වෙනස්වීම් සිදුවන්නේ ඉබි ගමනේය. මේ නිසා ඇතිවී තිබෙන ප්‍රශ්න ගණනාවකි. මීට රාජ්‍ය ප්‍රතිපත්තිවල තිබෙන අස්ථිරභාවය සහ ජන සමාජයේ තිබෙන පසුගාමී අදහස් ද බලපා තිබේ. දකුණු ආසියානු තාක්ෂණ සහ වෛද්‍ය ආයතනය නැතහොත් සයිටම් සම්බන්ධව බැලීමේදී ද මේ තත්ත්වය දකින්නට ඇත. සයිටම් යනු පෞද්ගලික විශ්වවිද්‍යාලයකි. එය ආරම්භයේ පටන් මෙරට විශාල ආන්දෝලනයක් ඇති කර තිබිණි. මීට වසර දෙක තුනකට පමණ පෙර ආරම්භ වූ මෙම සයිටම් අර්බුදය තවමත් නිමා වී නොමැත.
මෙරට තිබෙන අධ්‍යාපනය අනුව සෑම අයකුටම නිදහස් අධ්‍යාපනයක් ලැබිය හැකිය. අධ්‍යාපනය ලැබිය හැකිය. නමුත් අධ්‍යාපනය ලැබීමට හැම පාසලකම පහසුකම් එක සමානව නැත. මේ නිසා පහසුකම් සහිත පාසලකට දරුවකු දමා ගන්නට විශාල තරගයක් දීමට මව්පියන්ට සිදුවේ. එහිදී මුදල්, පරිත්‍යාග පමණක් නොව ලිංගික අල්ලස් පවා දීමට සිදුවූ අවස්ථා අපමණ ගණනක් අප අසා ඇත. එයට අමතරව හොර ලේඛන දුසිම් ගණනින් සෑදිය යුතුය. රස්තියාදු විය යුතුය. මෙලෙස හොර බොරු, වංචා විශාල ප්‍රමාණයක එකතුවකින් අවසානයේ හොඳයැයි සම්මත පාසලක සිහිනය සැබෑ වෙයි. නමුත් තත්ත්වය එතකින් නතර වන්නේ නැත. මෙම මජර ක්‍රමයෙන් පාසලක් ලබාගැනීමට, කාලය ධනය වැය කිරීමට වඩා ජාත්‍යන්තර පාසලකට දරුවා යොමු කිරීමට මව්පියෝ යොමුවෙති. එයින් කියවෙන්නේ මව්පියන්ගේ ධනවත්කම නොවේ. තම දරුවන්ට ඉහළ අධ්‍යාපනයක් ලබාදීමට ඇති ආශාවය. නමුත් මේ මව්පියෝ අධ්‍යාපනය හමාරවීමෙන් පසුවද තවත් ප්‍රශ්නයකට මුහුණ දෙති. ඒ ජාත්‍යන්තර පාසලේ ලබන ප්‍රතිඵල මත තම දරුවන්ට රජයේ විශ්වවිද්‍යාලවල දොරටු විවෘත නොවීමය. සයිටම් විශ්වවිද්‍යාලය ආරම්භ වූයේ මෙවැනි පසුබිමක් තුළය.
අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලය, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු පාර්ශව ගණනාවක් දිගින් දිගටම සයිටම් අහෝසි කළ යුතුයි යන මතයේ මුලසිටම සිටියේය. බොහෝ අවස්ථාවල විරෝධතා, උද්ඝෝෂණ දියත් කළහ. කෙසේ හෝ අවසානයේදී සයිටම් වසා දමීමට පාලන අධිකාරියට සිදුවිය. එහි සිටි සිසුන් 982 කොතලාවල ආරක්ෂක විද්‍යාලයට යොමු කරනු ලැබූහ. නමුත් මේ වනවිට එහි අධ්‍යාපනය ලැබීමට ගිය සයිටම් අධ්‍යාපනය ලැබූ සිසුන්ට තවත් ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවී ඇත. එනම් වාර්ෂිකව රුපියල් ලක්ෂ 13ක් බැගින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ගාස්තු ගෙවීමට සිදුවීමය.
සයිටම් ආයතනයේ ශිෂ්‍යත්ව පදනම මත ඉගනුම ලබමින් සිටි සිසුන් මෙන්ම සම්පූර්ණ මුදල ගෙවා අවසන්ව ඇති සිසුන්ගෙන්ද වාර්ෂිකව රුපියල් ලක්ෂ 13ක මුදලක් අයකරන බව කොතලාවල සරසවිය තමන්ට දන්වා ඇතැයි සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිට කොතලාවල වෛද්‍ය විද්‍යාලයට තේරීපත් වූ සිසුහු පවසති.
එමෙන්ම මෙම හේතුව නිසා සයිටම් ආයතනයට සම්පූර්ණ පාඨමාලාවට ගාස්තු ගෙවා අවසන් කර ඇති සිසුන් මුදල් ලබාදී ඇති බැවින් යළි මුදල් ගෙවීම ගැටලුවක් වී ඇති බවද ඔවුහු කියති. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සයිටම් සිට කොතලාවලට ගිය සිසුන් පිරිසක් ජනාධිපතිවරයාට පසුගිය 20 වැනිදා සන්දේශයක් බාරදුන්හ. සන්දේශය බාරදීමෙන් පසුව සයිටම් සිසුවෙකු වූ යොහාන් ගමගේ මාධ්‍යයට මෙලෙසින් අදහස් පළකළේය.
“වසර ගණනාවක් තිස්සේ ඇදී ආපු මේ ප්‍රශ්නයට සියලුම පාර්ශවයන් එක්කාසුකර ගනිමින් විසඳුමක් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ඇතුළු සියලුම පාර්ශවයන්ට අපි ස්තූතිය පුද කරනවා. සයිටම් ආයතනයේ සිසුන් 980ක් ඉන්නවා. අපේ බැච් 14ක් තියනවා. ඒකෙන් එක බැච් එකක් මේ වනවිට කොතලාවල වෛද්‍යය පීඨයට ඇතුළත් කරගෙන තියනවා. එම සිසුන් අතර තම සියලු වාරික ගෙවා අවසන් කළ සිසුන් සිටිනවා. මෙයට අමතරව සයිටම් ආයතනයෙන් සහ රජයෙන් ශිෂ්‍යත්ව ලබා පැමිණ සිටින සිසුන් සිටිනවා. ඔවුන්ගේ ඉගෙනීම් කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය නම් වාර්ෂිකව ලක්ෂ 13ක් වැනි මුදලක් ගෙවන ලෙසට මේ සියලුම සිසුන්ට දන්වලා තියනවා. වාර්ෂිකව ලක්ෂ 13ක් වැනි විශාල මුදලක් ඇත්තටම අපිට ගෙවන්න අපහසුයි. වෛද්‍ය සිහිනය තියාගෙන ආපු මේ ශිෂ්‍යයන්ට මහපාරට බැහැලා ඒ සිහිනය අහිමි කරන්න දෙන්න එපා කියලා අපි බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.
මේ සම්බන්ධව අපි මාලබේ පෞද්ගලික වෛද්‍යය විද්‍යාලයීය දෙමව්පිය සංසදයේ සභාපති ගැමුණු විජේරත්න මහතාගෙන්ද විමසීමක් කළෙමු.
කොතලාවල වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කිරීමේදී මුදල් අයකිරීම සම්බන්ධව අපි කිසිදු ආකාරයේ මැදිහත් වීමක් සිද්ධ කරන්නේ නැහැ. මුදල් ගෙවලා හරි මේ අවස්ථාව අපිට ලබාදීම ගැන අපි සතුටුවෙනවා. නමුත් මෙතැන යම් ගැටලුවක් ඇත්නම් ඒ ගැන සොයා බලන්නැයි මම අග්‍රාමාත්‍යයතුමාව දැනුවත් කළා. ඒ වගේම අපේ ශිෂ්‍ය කණ්ඩායමක් ගිහින් අග්‍රමාත්‍යවරයා ද හමුවී මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා අවශ්‍ය ණය පහසුකමක් සකසා දෙන ලෙසට ඉල්ලීමක් කළා. බොහෝ දුරට අග්‍රාමාත්‍යවරයා ඒකට අහුම්කන් දෙයි කියලා මම හිතනවා. ඒ නිසා පාලන අධිකාරියෙන් මේකට සහයක් දෙනවනම් අපිට ඒදේ ඉක්මනටම කරගන්න පුළුවන් වෙයි. ඇත්තටම මුදල් ප්‍රශ්නත් බලපානව තමයි. ඒ වුණාට තාමත් ඇතැම් දරුවන් ගෙවල්වල ඉන්නේ. මේ බලධාරින් මැදිහත් වෙලා මේක ඉක්මනට කරලා දෙනවා නම් හොඳයි.
බොහෝ දෙනකු බලාසිටි අයුරින් මේ වනවිට සයිටම් අර්බුදය විසඳී ඇත. එහෙත් තවත් පැතිකඩක් එනම් වසරකට ලක්ෂ 13ක් ගෙවීමට සිදුවීම හෙණයක් වී ඇත. මෙම අර්බුදය විසඳීමට පාලකයන් හැකි ඉක්මනින් පියවර ගත යුතුය. ඒ කුමක් නිසාවත් නොව තවත් මෙයට කල් ගතවුවහොත් ඔවුනගේ අධ්‍යාපනය තවත් වසරකින් පමාවට යන නිසාවෙනි.
හසිත්