
කඩෙන් ගත්තොත් රුපියල් පන්සීයයි, අපෙන් ගත්තොත් එකක් සීයයි, එකක් සීයයි, හැමදාම නෑ හැමතැනම නෑ ලාබ කළා ලාබ කළා... ඔෆීස් එකට, ඕනෑම තැනකට ගැලපෙන අයිටම් අපෙන් විතරයි, ලාභ කළා, ලාබ කළා අරන් යන්න හැමදාම නෑ හැමතැනම නෑ... ජෝඩුව සීයයි, ජෝඩුව සීයයි ඕන අයිටම් එකක් සීයයි. අපෙන් විතරයි කඩේට වඩා ගොඩක් අඩුවෙන්. තව ටික දෙනාටයි තව ටික දෙනාටයි... මොනවද නෝනා බලන්නේ. මේ හොඳ බඩු කඩේට වඩා ගණන් අඩුයි. බල බල යන්න එපා අරන් යන්න... මරණෙට, මඟුලට, කන්තෝරුවට, එකී නොකී ඕනෑම තැනකට...
ජෝඩුවක් කීයද?
ජෝඩුව සීයයි නෝනා හැමතැනම නෑ හැමදාම නෑ... අද විතරයි අද විතරයි ලාබ කළා ලාබ කළා...
ඇයි කඩේ ගාණට අඩුවෙන් දෙන්නේ?
නෝනා ඇයි නෝනලට පාඩුයිද?
නෑ එහෙම නෑ මම ඇහුවේ ඇයි අඩුවට කියලා?
කේවල් කරන්න එපා නෝනා ගන්නවා නම් ගන්න.
පසුගිය සති අන්තයේ ගාල්ල නගරයේ සිය පෞද්ගලික වැඩ කටයුත්තකට ගිය ලියුම්කරුට මෙම සිදුවීම නෙත ගැටුණේ අහම්බයෙනි.
පදික වේදිකාවේ ඉටි උරයක් මත තබා උගුර ලේ රහ වනතුරු කෑගහමින් කඩේ තිබෙන මිලට හතර පස් ගුණයකින් අඩුවට විකුණන මෙම පාවහන්වල පිටුපස කතන්දරය සොයා බැලීමට ලියුම්කරුට සිත් විය.
ගාල්ල නගරයට එදා දිනයේ පැමිණි පිරිසෙන් මොහොතක් හෝ එම ස්ථානයේ නතර නොවී සිය කටයුතුවල යෙදුණා නම් ඒ අතළොස්සක් පමණි.
ඒ තරම් පිරිසක් පොරකමින් එම පාවහන් මිලදී ගැනීමට උත්සුක වූයේ එහි තිබෙන මිල අඩුකම නිසා විය යුතුය. ලියුම්කරු එම ස්ථානයෙන් නික්ම ගොස් නැවතත් එම ස්ථානයට පැමිණෙන විට එම පාවහන් සියල්ලම පාහේ විකිණී අවසන්ව තිබිණි.
එම ස්ථානයේ උදේ සිටම උගුර ලේ රහ වනතුරු කෑගහමින් සිටි එම වෙළෙන්දා අසලට ලියුම්කරු කිට්ටු වූයේ ඔහුගෙන් මෙම පාවහන් පිළිබඳ දැනගැනීමටය. ඔහු මෙතරම් අඩු මිලට පාවහන් විකිණීම ගැන තොරතුරක් දැනගැනීමටය.
බිස්නස් ඉවරයි වගේ
අද ගෙනාපු කෑලි ටික ඔක්කොම දීලා දැම්මා. මෙතන තියෙන්නේ තේරිච්ච ජෝඩු පහ හයක් විතරයි. මහත්තයට මොනව හරි ගන්න ඕන නම් ආයේ සතියකින් විතර එන්න. මොකද ආයෙ සතියකින් වගේ තමයි මේ පැත්තට අපේ ලෑන්ඩ් එක තියෙන්නේ.
එහෙමද? මාර ගණන් අඩුයි නේද ස්ලිපර්ස්
කඩේ තියෙන ඒවම තමයි. අයේ කිසි වෙනසක් නෑ.
මෙච්චර අඩුවට දෙන්න පුළුවන්ද?
මහත්තයට මොනවද දැනගන්න ඕන. ඕන එකක් අහන්න. දැන් බිස්නස් එක ඉවරයිනේ.
අනතුරැව ලියුම්කරු තමා කවුදැයි හදුන්වාදීමෙන් පසුව ඔහු හා කතාවට එළැඹුණේය. ඔහු ද අන් අය මෙන් ලියුම්කරැගෙන් ඉල්ලා සිටියේ තමන්ගේ අනන්‍යතාවය හෙළි නොකරන ලෙසටය.
කොහෙන්ද මේ බඩු ගේන්නේ?
මේවා අපිට බියගමින් හම්බවෙන්නේ. සබ් කරන ඩයල් එකක් තමයි බඩු සප්ලයි කරන්නේ... ලොට් එකටම පොඩි ගාණක් යන්නේ. ඌට ඉතින් මේවා නිකම්නේ හම්බවෙන්නේ.
ඒ කොහොමද මේවා නිකම්ම හම්බවෙන්නේ?
මේ බඩු ඩැමේජ් වෙච්ච ඒවා. හැබැයි ඒව පිටට පේන්නේ නැහැ ඩැමේජ් කියලා.
ඒ කියන්නේ කොටුවේ තියෙන බඩු වගේද?
ඊටත් වඩා පොඩ්ඩක් ඩැමේජ් තියෙනවා. මේ වගේ මේ ස්ලිපස් සතිය දාපු ගමන් බහිනවා. කැඩෙනවා. ගොඩක් කල් දාන්න බැහැ. උපරිම සතියයි. එහෙම නැත්නම් දවස් තුනයි. ඔය වගේ සමහර ඒවා තියෙනවා. ඒව නම් මාසයක් විතර දාන්න පුළුවන්. එත් එහෙම ඒවා තියෙන්නේ දාහකට එකක් වගේ.
ඔක්කොම එක තැනකින්ද ගන්නේ?
නැහැ. තැන් ගාණකින් අපි බඩු ගන්නවා. ඒවා පිට යන්නේ නැහැ. අපේ මාර්ගයෙන් තමයි හැමතැනටම ලයින් වෙන්නේ. අනික ඉතින් රුපියල් සීයයිනේ. ලොකු ගාණක් නෙවෙයිනේ. කඩේකින් කොහොමත් මේ දෙකක් රුපියල් පන්සීයකට දාහකට මෙහා විකුණගන්න බැහැනේ. ඒ ජාතියම ඒ විදියම බැලූබැල්මට තියෙන බඩු ගන්න කොයි මිනිහද අකමැති වෙන්නේ. කවුරුත් ඒ දේට කැමතියිනේ... දැක්කනේ සීයයි කිව්වම බඩු ගියේ කොහොමද කියලා. ඕන ජරාවක් අඩුවට දෙනව නම් ගන්නවනේ අපේ මිනිස්සු. අද මම මෙතන බිස්නස් කළාට හෙට වෙන තැනක විකුණන්නේ. ඉතින් අවුලක් නැහැනේ මල්ලී. මොනව හරි කරන්න එපැයි ජීවත් වෙන්න. අනික ඉස්සර මිනිස්සුන්ට සීයක් ලොකු ගාණක් වුණාට දැන් මිනිස්සුන්ට එහෙම නැහැ. අඩුවට තියෙනව නම් ඕනම දෙයක් අරන් යනවා. අපි කරන්නේ ඉතින් ඉල්ලුමට සැපයුම දෙන එක විතරයි. වෙන මොනවත් කරන්නේ නැහැ. අනික අපි බල කරලා කියන්නේ නැහැනේ. ඕන නම් ගන්න පුළුවන්. බැහැ නම් යන්න පුළුවන්. වැඳ වැඳ ගන්න කියන්නේ නැහැනේ. විස්තරේ දැනගත්තනේ මල්ලි. එහෙනම් අපි කැපුණා. මොකද හෙට දවසේ අත මහන්සි කළොත් තමයි කට හොල්ලන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව බැහැ.
එසේ පැවසූ ඔහු ඉතිරි පාවහන් ජෝඩු කිහිපය අතැතිව මාතර සිට කොළඹ බලා ධාවනය වන බස් රථයකට ගොඩ විය.
සැබැවින්ම මිනිසුන් විවිධාකාරය. ඉස්සර කොළඹට පමණක් සීමා වී තිබූ මෙවැනි බිස්නස් මේ වන විට කොළඹින් පිට ගම්මාන නගරද ආක්‍රමණය කර ඇත. එවැන්නන් දුටු සැණින් අඳුනාගෙන ඉන් ආරක්ෂා වීම ජනතාව සතුය.
හසිත් අංජන